ප්‍රත්‍යයන් ගේ විනිශ්චය

star_outline

ධම්මතො කාලතො චෙ ව නානාප්පකාර භෙදතො,

පච්චයුප්පන්නතො චෙ ව විඤ්ඤා තබ්බො විනිච්ඡයො.

යනුවෙන් දැක්වෙන පරිදි ප්‍රත්‍යය පිළිබඳ වූ ඥානය පිරිසිදු වනු පිණිස ධර්‍ම වශයෙන් ද, කාල වශයෙන් ද, නානාප්‍රකාර භේදයෙන් ද, ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් ද, ප්‍රත්‍යයන් ගේ විනිශ්චය දත යුතු ය.

එහි ධර්‍ම වශයෙන් විනිශ්චය මෙසේ ය:- සූවිසි දෙනෙක් වූ ප්‍රත්‍යයන් අතුරෙන් හේතු ප්‍රත්‍යය නාමරූපධර්‍මයන් අතුරෙන් නාම ධර්‍මයන් ගෙන් එක් කොටසකි. ආරම්මණප්‍රත්‍ය්‍ය ප්‍රඥප්තිය හා අභාවයත් සමග සකල නාමරූපධර්‍මයෝ ය. අධිපතිප්‍රත්‍යයෙහි සහජාතාධිපතිය නාමධර්‍මෙකදේශයකි. කර්‍ම, ධ්‍යාන මාර්‍ග ප්‍රත්‍යයෝ ද නාමධර්‍මෙකදේශයෝ ය. ආරම්මණාධිපති ප්‍රත්‍යය ගරු කළ යුතු සකල නාමරූප ධර්‍මයෝ ය. අනන්තර ය, සමනන්තර ය, පච්ඡාජාත ය, ආසේවන ය, විපාක ය, සම්පයුත්ත ය, නත්‍ථි ය, විගත ය යන මේ ප්‍රත්‍යයෝ නාමධර්‍මයෝ ය. ඒ ප්‍රත්‍යයන්ට නිර්‍වාණය නො ගැනෙන බැවින් නාමධර්‍මෙකදේශයෝ ය යි ද කිය යුතු ය. පුරේජාත ප්‍රත්‍යය රූපේකදේශයෙකි. අවශේෂ ප්‍රත්‍යයෝ නාම රූපයෝ ය.

ප්‍රත්‍යයන්ගේ කාල වශයෙන් විනිශ්චය මෙසේ ය:-

පච්චුප්පන්නා ව හොන්තෙත්‍ථ පච්චයා දස පඤ්ච ච

අතීතා එම පඤ්චෙ කො තෙ කාලෙ ද්වෙ පි නිස්සිතො

තයො තිකාලිකා චෙ ව විමුත්තා පි ච කාලතො

සූවිසි ප්‍රත්‍යයන් අතුරෙන් හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, පුරේජාත, පච්ඡාජාත, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන මේ ප්‍රත්‍යයෝ පසළොස් දෙන ප්‍රත්‍යුත්පනකාලිකයෝ ය. අනන්තර, සමනන්තර, ආසේවන, නත්‍ථි විගත යන ප්‍රත්‍යයෝ පස් දෙන අතීත කාලිකයෝ ය. කර්‍මප්‍රත්‍යය සහජාත කර්‍මප්‍රත්‍යයාගේ වශයෙන් වර්‍තමාන කාලික ද නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යයා ගේ වශයෙන් අතීත කාලික ද වේ. ආරම්මණ, අධිපති, උපනිස්සය යන ප්‍රත්‍යයෝ තිදෙන ත්‍රිකාලිකයෝ ද වෙති. නිර්‍වාණ ප්‍රඥප්තීන් ගේ වශයෙන් කාලමුක්තයෝ ද වෙති. ප්‍රත්‍යයන් ගේ නානාප්‍රකාර භේදය හා ප්‍රත්‍යයෝත්පන්නයෝ ද ත්‍රිරාශියෙන් හා යට දැක්වුණු ප්‍රත්‍යය විස්තරයෙන් ද දත යුතු ය.

තවද අනේක ධර්‍මයන් ගේ ඒක ප්‍රත්‍යය භාවය ය, එක් ධර්‍මයක්හුගේ අනේක ප්‍රත්‍යය භාවය ය, එක් ප්‍රත්‍යයක ගේ අනේක ප්‍රත්‍යය භාවය ය, ප්‍රත්‍යයන් ගේ සභාග භාවය ය, ප්‍රත්‍යයන් ගේ විසභාග භාවය ය, ප්‍රත්‍යයන් ගේ යුගල භාවය ය, ජනකාජනක භාවය ය, සර්‍වස්ථානිකාසර්‍වස්ථානික භාවය ය, රූපය රූපයට ප්‍රත්‍යය වීම යනාදි විභාගය ය, භවභේදය ය යන මේ කරුණු දසය පිළිබඳ විනිශ්චය ද දත යුතු ය.

එහි අනේක ධර්‍මයන් ගේ ඒකප්‍රත්‍යය භාවය පිළිබඳ විනිශ්චය මෙ සේ ය :- සූවිසි ප්‍රත්‍යයන් අතුරෙන් කර්‍මප්‍රත්‍යයෙන් අන්‍ය වූ ප්‍රත්‍යය තෙවිස්ස ම අනේක ධර්‍ම ප්‍රත්‍යයෝ ය. කර්‍මප්‍රත්‍යය එක් ධර්‍මයක් වූ චේතනාව ය. එය ඒකධර්‍ම ප්‍රත්‍යය ය.

එක් ධර්‍මයක්හු ගේ අනේක ප්‍රත්‍යය භාවය පිළිබඳ විනිශ්චය මෙ සේ ය:- හේතු ප්‍රත්‍යයට අයත් එක් ධර්‍මයක් වූ අමෝහය පුරේජාත කම්ම ආහාර ඣාන යන ප්‍රත්‍යය සතර හැර ඉතිරි ප්‍රත්‍යය විස්සට ම අයත් වේ. ඉතිරි විසි ආකාරයෙන් ම එය ප්‍රත්‍යය වේ. අලෝභය හා අදෝසය ඉන්‍ද්‍රිය මාර්‍ග ප්‍රත්‍යයභාවයට ද නො පැමිණෙති. ඉතිරි අටළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වෙති. ලෝභ මෝහයෝ විපාක ප්‍රත්‍යය භාවයට ද නො පැමිණෙති. ඉතිරි ප්‍රත්‍යය සතළොසට ඒවා අයත් වෙති. ද්වේෂය අධිපති ප්‍රත්‍යය භාවයට ද නො පැමිණේ. ඉතිරි සොළොස් ප්‍රත්‍යයන්ට අයත් වේ.

ආරම්මණප්‍රත්‍යයෙහි රූපායතනය චක්‍ෂුර්විඥානධාතුවට ආරම්මණ පුරේජාත අත්‍ථි අවිගත යන සතර ආකාරයෙන් ප්‍රත්‍යය වේ. මනෝ ධාතුවට හා අහේතුක මනෝවිඤ්ඤාණධාතුවට ද ප්‍රත්‍යය වේ. සහේතුක මනෝවිඤ්ඤාණ ධාතුවට වනාහි ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන ප්‍රත්‍යයන් ගේ වශයෙන් ද ප්‍රත්‍යය වේ. මෙසේ සකලාරම්මණ ධර්‍මයන් ගේ ම අනේක ප්‍රත්‍යය භාවය දත යුතු.

අධිපති ප්‍රත්‍යයෙහි ආරම්මණාධිපතියෙහි අනේක ප්‍රත්‍යය භාවය ආරම්මණ ප්‍රත්‍යයෙහි කී පරිද්දෙන් ම දත යුතු ය. සහජාතාධිපති ධර්‍මයන් අතුරෙන් වීමංසාධිපතිය අමෝහහේතුව සේ විසි ආකාරයකින් ප්‍රත්‍යය වේ. ඡන්‍ද හේතුපුරේජාත කම්ම ආහාර ඉන්‍ද්‍රිය ඣාන මග්ග යන ප්‍රත්‍යයෝ නො වේ. ඉතිරි සතොළොස් ප්‍රත්‍යයන්ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. චිත්තය හේතු පුරේජාත කම්ම ඣාන මග්ග යන ප්‍රත්‍යයෝ නො වේ. ඉතිරි එකුන්විසි ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. විරියය හේතු පුරේජාත කම්ම ආහාර ඣාන යන ප්‍රත්‍යයෝ නො වේ සෙසු එකුන්විසි ප්‍රත්‍යයන්ගේ වශයෙන් ප්‍රත්‍යය වේ.

අනන්තර ප්‍රත්‍යයෙහි චක්ඛුවිඤ්ඤාණධාතු යනාදීන් පාලියෙහි දැක්වෙන චතුස්කන්‍ධයන් අතුරෙන් වේදනාස්කන්‍ධය හේතු පුරේජාත කර්‍මාහාර මාර්‍ග ප්‍රත්‍යයෝ නො වේ. සෙසු එකුන්විසි ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. සංඥාස්කන්‍ධය ඉන්‍ද්‍රිය ධ්‍යාන ප්‍රත්‍යයෝ ද නො වේ. සෙසු සතොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. සංස්කාරස්කන්‍ධයෙහි හේතූහු හේතුප්‍රත්‍යයෙහි කී පරිද්දෙන් ද ඡන්‍ද වීර්‍ය්‍යයෝ අධිපතිප්‍රත්‍යයෙහි කී පරිද්දෙන් ද ප්‍රත්‍යය වෙති. ස්පර්‍ශය හේතුපුරේජාත කර්‍මෙන්‍ද්‍රිය ධ්‍යාන මාර්‍ග ප්‍රත්‍යයෝ නො වේ. සෙසු අටොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. චේතනාව හේතු පුරේජාතේන්‍ද්‍රිය ධ්‍යාන මාර්‍ග ප්‍රත්‍යයෝ නො වේ. සෙසු එකුන්විසි ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. විතර්‍කය හේතු පුරේජාත කර්‍මාහාර ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයෝ නො වේ. සෙසු එකුන්විසි ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. විචාරය මාර්‍ග ප්‍රත්‍යය ද නො වේ. එය සෙසු අටොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රීතිය ද ඒ ප්‍රත්‍යයන්ගේ වශයෙන් ම ප්‍රත්‍යය වේ. චිත්තෙකග්ගතාව හේතු පුරේජාත කර්‍මාහාර ප්‍රත්‍යයෝ නො වේ. ඉතිරි විසි ප්‍රත්‍යයන්ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. ශ්‍රද්ධාව හේතු පුරේජාත කර්‍මාහාර ඣාන මාර්‍ග ප්‍රත්‍යයෝ නොවේ. සෙසු අටොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. ස්මෘතිය ඒ අටොළොස් ප්‍රත්‍යයෝ ය, මාර්‍ගප්‍රත්‍යය ය යන එකුන්විසි ප්‍රත්‍ය්‍යන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. ජීවිතේන්‍ද්‍රියය ශ්‍රද්ධාවට කී අටොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. හිරිය හා ඔත්තප්පය එයින් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය හැර සෙසු සතොළොස් ප්‍රත්‍යයන්ගේ වශයෙන් ප්‍රත්‍යය වෙති. කායපස්සද්ධාදි යුගලයෝ ද එ සේ ම ය. යේවාපනක ධර්‍මයන්ට අයත් වූ අධිමොක්ඛ මනස්කාර තත්‍රමජ්ඣත්තතා කරුණා මුදිතා යන මොවුන්ගේ ප්‍රත්‍යය භාවය ද එසේ ම ය. විරතීහු වනාහි ඉහත කී ප්‍රත්‍යයෝ ය. මාර්‍ගප්‍රත්‍යය ය යන අටොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වෙති. දෘෂ්ටිය එයින් විපාක ප්‍රත්‍යය හැර සෙසු සතොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජීවයෝ ඒ ප්‍රත්‍යයෝ ය. කර්‍මාහාර ප්‍රත්‍යය දෙකය යන එකුන්විසි ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. අහිරික අනොත්තප්ප මාන ථීනමිද්ධ උද්ධච්ච යන මොහු හේතු පුරේජාත කම්ම විපාක ආහාර ඉන්‍ද්‍රිය ඣාන මග්ග යන ප්‍රත්‍යයෝ නො වෙති. ඉතිරි සොළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වෙති. විචිකිච්ඡා ඉස්සා මච්ඡරිය කුක්කුච්ච යන මොහු ඒවායින් අධිපති ප්‍රත්‍යය හැර සෙසු පසළොස් ප්‍රත්‍යයන් ගේ වශයෙන් ප්‍රත්‍යය වෙති. විඥානස්කන්‍ධයා ගේ අනේක ප්‍රත්‍යය භාවය අධිපති ප්‍රත්‍යයෙහි කී පරිදි දත යුතු ය.

සහජාත ප්‍රත්‍යයට අයත් නාමධර්‍මයන් ගේ අනේකප්‍රත්‍යය භාවය කියන ලද පරිදි දත යුතු ය. රූපධර්‍මයන් අතුරෙන් මහා භූතයෝ සතර දෙන ආරම්මණ ආරම්මණාධිපති සහජාත අඤ්ඤ මඤ්ඤ නිස්සය උපනිස්සය පුරේජාත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය නවදෙනාගේ වශයෙන් අනේකප්‍රත්‍යය භාවයට පැමිණෙති. හෘදය වස්තුව ඒ ප්‍රත්‍යයන් ගේ හා විප්‍රයුක්ත ප්‍රත්‍යයා ගේ ද වශයෙන් දශාකාරයකින් ප්‍රත්‍යය වේ.

අන්‍යෝන්‍යප්‍රත්‍යයෙහි පෙර නො කියවුණු ධර්‍මයක් නැත්තේ ය. නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි චක්ඛායතනාදීහු ආරම්මණ ආරම්මණාධිපති නිස්සය උපනිස්සය පුරේජාත ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් නවකාරයෙන් ප්‍රත්‍යය වෙති.

උපනිඃශ්‍රයප්‍රත්‍යයෙහි ද නො කියවුණු ධර්‍මයක් නැත්තේ ය. පුරේජාත ප්‍රත්‍යයෙහි රූප ශබ්ද ගන්‍ධ රසායතනයෝ ආරම්මණ ආරම්මණාධිපති උපනිස්සය පුරේජාත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය සය ගේ වශයෙන් ප්‍රත්‍යය වෙති. මෙහි පෙර නො කියවුණු දෙයක් ඇත්තේ මෙපමණ ය. පශ්චාජ්ජාතාදිහෙි ද නො කියවුණු ධර්‍මයක් නැත්තේ ය.

ආහාර ප්‍රත්‍යයෙහි කබලිංකාරාහාරය ආරම්මණ ආරම්මණාධිපති උපනිස්සය ආහාර අත්‍ථි අවිගත යන සයාකාරයෙන් ප්‍රත්‍යය වේ. ඉන්‍ද්‍රියප්‍රත්‍යයාදියෙහි ද නො කියවුණු ධර්‍මයක් නැත්තේ ය.

එක් ප්‍රත්‍යයක ගේ අනේක ප්‍රත්‍යය භාවය මෙසේ ය:- හේත්‍වාදි ප්‍රත්‍යයන්ට අයත් ධර්‍මයන් ගෙන් එක් එක් ධර්‍මයක් ස්වකීය ප්‍රත්‍යයෝත්පන්නයන්ට හේත්‍වාදි වශයෙන් ප්‍රත්‍යය වෙමින් එකෙණෙහි ම ඒ ධර්‍මයන්ට ම අන්‍යාකාරයන්ගෙන් ද ප්‍රත්‍යය වෙති. එය එක් ප්‍රත්‍යයක ගේ අනේක ප්‍රත්‍යය භාවය ය. ඒ අනේක ප්‍රත්‍යය භාවය පිළිබඳ විනිශ්චය මෙසේ ය.

අමෝහය හේතුප්‍රත්‍යය ය, එය තමා ගේ හේතුප්‍රත්‍යය භාවය නොහරිමින් ම අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත අත්‍ථි අවිගත යන අන්‍ය වූ ආකාර එකොළොසකින් ද ප්‍රත්‍ය වේ හෙවත් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. අලෝභාදෝසයෝ දෙදෙන ඒවායින් අධිපති ඉන්‍ද්‍රිය මග්ග යන ප්‍රත්‍යය තුන හැර සෙසු ප්‍රත්‍යයන්ගේ වශයෙන් අනේකප්‍රත්‍යය භාවයට පැමිණෙති. මේ විපාක හේතූන් ප්‍රත්‍යය වීමේ ක්‍රමය ය. කුශලක්‍රියා හේතූන්ට විපාක ප්‍රත්‍යය භාවය නො ලැබේ. ලෝභදෝස මෝහයෝ ඒ ප්‍රත්‍යය තුන හා විපාක ප්‍රත්‍යය ද හැර සෙසු ප්‍රත්‍යයන් ගේ වශයෙන් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණෙති.

ආරම්මණ ප්‍රත්‍යය තමා ගේ ආරම්මණ ප්‍රත්‍යය භාවය නො හරිමින් ම ආරම්මණාධිපති නිස්සය උපනිස්සය පුරේජාත විප්පයුක්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යයන් ගේ වශයෙන් අන්‍ය වූ සත් ආකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. මේ උත්කෘෂ්ට වශයෙන් ලැබෙන ප්‍රත්‍යය ගණනය. අතීතානාගත අරූප ධර්‍මයන් හා රූප ධර්‍මයන් ආරම්මණ ප්‍රත්‍යය වන කල්හි ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන මොවුන් ගේ වශයෙන් පමණක් අනේක ප්‍රත්‍යය භාවය ලැබේ.

අධිපති ප්‍රත්‍යයෙහි වීමංසය අමෝහය මෙනි. ඡන්‍දාධිපතිය, අධිපති ප්‍රත්‍යය භාවය නොහරිමින් ම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත විප්පයුත්ත අත්‍ථි අවිගත යන අන්‍ය වූ අටාකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ. වීර්‍ය්‍යය ඒ ප්‍රත්‍යයන් අටදෙනා ගේ හා ඉන්‍ද්‍රිය මාර්‍ග ප්‍රත්‍යය දෙදෙනාගේ ද යන දස දෙනෙක් වූ ප්‍රත්‍යයන් ගේ වශයෙන් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. චිත්තය ඒ ප්‍රත්‍යයන්ගෙන් මාර්‍ග ප්‍රත්‍යය හැර ආහාර ප්‍රත්‍යය ඇතුළු කොට ලැබෙන ප්‍රත්‍යය දස දෙනා ගේ වශයෙන් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. ආරම්මණාධිපති ප්‍රත්‍යයා ගේ අනේක ප්‍රත්‍යය භාවය ඉහත ආරම්මණ ප්‍රත්‍යයෙහි කී පරිදි දත යුතු ය.

අනන්තර සමනන්තර ප්‍රත්‍යයෝ දෙදෙන අනන්තර සමනන්තර භාවය නොහරිමින් ම උපනිස්සය කම්ම ආසේවන නත්‍ථි විගත යන මොවුන් ගේ වශයෙන් පස් ආකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණෙති. එහි කර්‍මප්‍රත්‍යය භාවය ලබන්නේ ආර්‍ය්‍ය මාර්‍ග චේතනාව ය. සෙස්සෝ එය නො ලබති.

සහජාතප්‍රත්‍යය තමා ගේ සහජාත ප්‍රත්‍යය භාවය නො හරිමින් ම හේතු අධිපති අඤ්ඤමඤ්ඤ නිස්සය කම්ම විපාක ආහාර ඉන්‍ද්‍රිය ඣාන මග්ග සම්පයුත්ත විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යයන් ගේ වශයෙන් තුදුස් ආකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. මෙය ද උත්කෘෂ්ට පරිච්ඡේදය ය. හෘදයවස්තුව සහජාත ප්‍රත්‍යය වන කල්හි හේතුප්‍රත්‍යාදිය නො ලැබේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙහි ක්‍රමය ද එසේ ම ය.

නිඃශ්‍රය ප්‍රත්‍යය තමා ගේ නිඃශ්‍රයප්‍රත්‍යය භාවය නො හැර ම සූවිසි ප්‍රත්‍ය්‍යන් අතුරෙන් තමා ගේ නිඃශ්‍රය ප්‍රත්‍යය භාවය හා අනන්තර සමනන්තර පච්ඡාජාත ආසේවන නත්‍ථි විගත යන ප්‍රත්‍යය සය ද හැර අවශේෂ ප්‍රත්‍යයන් ගේ වශයෙන් සතළොස් ආකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. මෙය ද උත්කෘෂ්ට පරිච්ඡේදය ය. නිඃශ්‍රය ප්‍රත්‍යය වන හෘදයවස්ත්‍වාදියට හේතුප්‍රත්‍යාදිය නො ලැබේ.

උපනිඃශ්‍රය ප්‍රත්‍යයෙහි ආරම්මණූපනිඃශ්‍රය ආරම්මණාධිපති ප්‍රත්‍යය මෙනි. අනන්තරූප නිඃශ්‍රයය අනන්තරූපනිඃශ්‍රයය ප්‍රත්‍යය භාවය නො හැර ම අනන්තර සමනන්තර කම්ම ආසේවන නත්‍ථි විගත යන මොවුන් ගේ වශයෙන් සයාකාරයකින් ද අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. මෙහි කර්‍ම ප්‍රත්‍යය භාවය ලබන්නේ ආර්‍ය්‍ය මාර්‍ග චේතනාව පමණෙකි. ප්‍රකෘතෝපනිඃශ්‍රයය ප්‍රකෘතෝපනිඃශ්‍රය වශයෙන් ම ප්‍රත්‍යය වේ. නානාක්‍ෂණික කර්‍මය කර්‍මාදි වශයෙන් ද ප්‍රත්‍යය වේ.

පුරේජාතප්‍රත්‍යය තමා ගේ පුරේජාත භාවය නො හරිමින් ම ආරම්මණ ආරම්මණාධිපති නිස්සය උපනිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ අෂ්ටාකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. මෙය ද උත්කෘෂ්ට පරිච්ඡේදය ය. ආරම්මණ පුරේජාතයෙහි නිඃශ්‍රය ඉන්‍ද්‍රිය විප්‍රයුක්ත ප්‍රත්‍යය භාවයෝ නො ලැබෙති.

පශ්චාජ්ජාත ප්‍රත්‍යය තමා ගේ පශ්චාජ්ජාත භාවය නො හරිමින් ම විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද තුන් ආකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ.

ආසේවනප්‍රත්‍යය ආසේවනප්‍රත්‍යය භාවය නො හරිමින් ම අනන්තර සමනන්තර උපනිස්සය නත්‍ථි විගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද පඤ්චාකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ.

කර්‍මප්‍රත්‍යයෙහි සහජාතකර්‍මය තමා ගේ කර්‍ම ප්‍රත්‍යය භාවය නො හරිමින් ම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර සම්පයුත්ත විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද නවාකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය උපනිස්සය අනන්තර සමනන්තර නත්‍ථි විගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද පඤ්චාකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ.

විපාකප්‍රත්‍යය තමා ගේ විපාකප්‍රත්‍යය භාවය නො හරිමින් ම හේතු අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය කම්ම ආහාර ඉන්‍ද්‍රිය ඣාන මග්ග සම්පයුත්ත විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද තුදුස් ආකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ.

ආහාර ප්‍රත්‍යයෙහි කබලිංකාරාහාරය ආහාර ප්‍රත්‍යය භාවය නො හරිමින් ම අත්‍ථි අවිගත යන දෙයාකාරයෙන් ද අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. ඉතිරි ආහාරයෝ තිදෙන ආහාර ප්‍රත්‍යය භාවය නො හරිමින් ම සුදුසු පරිදි අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය කම්ම විපාක ඉන්‍ද්‍රිය සම්පයුක්ත විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද එකොළොස් ආකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ.

ඉන්‍ද්‍රියප්‍රත්‍යයෙහි රූපේන්‍ද්‍රියයෝ පස්දෙන ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය භාවය නොහරිමින් ම නිස්සය පුරේජාත විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද පස් ආකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. රූපජීවිතේන්‍ද්‍රිය ය ද ඉන්‍ද්‍රියප්‍රත්‍යයභාවය නො හරිමින් ම අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද දොයාකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණේ. අරූපේන්‍ද්‍රියයෝ ද සුදුසු පරිදි ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයභාවය නො හරිමින් ම හේතු අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර ඣාන මග්ග සම්පයුත්ත විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද තෙළෙස් ආකාරයකින් අනේක ප්‍රත්‍යය භාවයට පැමිණෙති.

ධ්‍යානප්‍රත්‍යය තමා ගේ ධ්‍යාන ප්‍රත්‍යය භාවය නො හරිමින් ම සුදුසු පරිදි සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත විප්පයුත්ත අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද දසාකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ.

මාර්‍ගප්‍රත්‍යය තමා ගේ මාර්‍ගප්‍රත්‍යයභාවය නො හරිමින් ම යථානුරූප වශයෙන් ධ්‍යානප්‍රත්‍යයෙහි කී ප්‍රත්‍යය දශය ය, හේතු අධිපති ප්‍රත්‍යය දෙකය යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද ද්වාදසාකාරයකින් අනේක ප්‍රත්‍ය්‍ය භාවයට පැමිණේ.

සම්ප්‍රයුක්තප්‍රත්‍යය සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයභාවය නොහරිමින් ම යථානුරූප පරිද්දෙන් හේතු අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය කම්ම විපාක ආහාර ඣාන මග්ග අත්‍ථි අවිගත යන මොවුන් ගේ වශයෙන් අන්‍ය වූ ද තෙළෙස් ආකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ.

විප්‍රයුක්තප්‍රත්‍යය විප්‍රයුක්තප්‍රත්‍යය භාවය නො හරිමින් ම අනන්තර සමනන්තර ආසේවන නත්‍ථි විගත යන ප්‍රත්‍යය පස හැර ඉතිරි ප්‍රත්‍යයන් ගේ වශයෙන් යෙදෙන පරිදි අන්‍ය වූ ද අටළොස් ආකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ.

අස්තිප්‍රත්‍යය අස්තිප්‍රත්‍යය භාවය නො හරිමින් ම අනන්තර සමනන්තර ආසේවන නත්‍ථි විගත යන ප්‍රත්‍යය පස හැර ඉතිරි ප්‍රත්‍යයන් ගේ වශයෙන් යෙදෙන පරිදි අන්‍ය වූ ද අටළොස් ආකාරයකින් අනේකප්‍රත්‍යය භාවයට පැමිණේ.

නාස්ති විගත ප්‍රත්‍යයෝ අනන්තර ප්‍රත්‍යය මෙනි. අවිගත ප්‍රත්‍යය අස්තිප්‍රත්‍යය මෙනි. මේ එක් ප්‍රත්‍යයක්හු ගේ අනේක ප්‍රත්‍යභාවය ය පිළිබඳ විනිශ්චය ය.

ප්‍රත්‍ය්‍යන් ගේ සභාගත්‍වය පිළිබඳ වූ විනිශ්චය මෙ සේ ය :- සූවිසි ප්‍රත්‍යයන් අතුරෙන් අනන්තර සමනන්තර අනන්තරූපනිස්සය ආසේවන නත්‍ථි විගත යන මේ ප්‍රත්‍යයෝ සභාගයෝ ය. එ සේ ම ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය ප්‍රත්‍යයෝ ද සභාගයෝ ය. මේ ක්‍රමයෙන් ප්‍රත්‍යයන් ගේ සභාගත්‍වය සලකා ගත යුතු ය.

ප්‍රත්‍යයන් ගේ විසභාගත්‍වය පිළිබඳ විනිශ්චය මෙ සේ ය :- පුරේජාත ප්‍රත්‍යය පශ්චාජ්ජාත ප්‍රත්‍යය හා විසභාග ය. සම්ප්‍රයුක්තප්‍රත්‍යය විප්‍රයුක්තප්‍රත්‍යය හා විසභාග ය. අස්තිප්‍රත්‍යය නාස්තිප්‍රත්‍යය හා විසභාග ය. විගතප්‍රත්‍යය අවිගතප්‍රත්‍යය හා විසභාග ය. මේ ක්‍රමයෙන් ප්‍රත්‍යයන් ගේ සභාග විසභාග භාවය සලකාගත යුතු ය.

යුගල වශයෙන් විනිශ්චය මෙ සේ ය:- අර්‍ථයා ගේ සමාන භාවයෙන් ද ශබ්දයා ගේ සමාන භාවයේ ද කාලප්‍රතිපක්‍ෂතාවෙන් ද හේතු ඵල භාවයෙන් ද අන්‍යෝන්‍ය විරුද්ධ භාවයෙන් ද ප්‍රත්‍යය යුගලයෝ වෙති. අනන්තර සමනන්තර ප්‍රත්‍යය දෙක අර්‍ථ සමානත්‍වයෙන් එක් ප්‍රත්‍යය යුගළයෙකි. නිඃශ්‍රය උපනිඃශ්‍රය ප්‍රත්‍යය දෙක ශබ්දසමානත්‍වයෙන් එක් යුගළයෙකි. පුරේජාත පශ්චාජ්ජාත ප්‍රත්‍යය දෙක කාලප්‍රතිපක්‍ෂත්‍වයෙන් එක් යුගළයෙකි. කර්‍මප්‍රත්‍යය විපාකප්‍රත්‍යය දෙක හේතුඵල භාවයෙන් එක් යුගළයෙකි. සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත ප්‍රත්‍යය දෙක අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ භාවයෙන් එක් යුගළයෙකි. අස්ති නාස්ති විගතාවිගත ප්‍රත්‍යයෝ ද අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ යුගළයෝ ය.

ජනකාජනක වශයෙන් විනිශ්චය මෙ සේ ය :- සූවිසි ප්‍රත්‍යයන් අතුරෙන් අනන්තර සමනන්තර අනන්තරූපනිස්සය පකතූපනිස්සය ආසේවන නානක්ඛණිකකම්ම නත්‍ථි විගත යන මේ ප්‍රත්‍යයෝ ජනක ප්‍රත්‍යයෝ ය. පශ්චාජ්ජාත ප්‍රත්‍යය උපස්තම්භක ප්‍රත්‍යයෙකි. සෙස්සෝ ජනකයෝ ද උපස්තම්භකයෝ ද වෙති.

සර්‍වස්ථානිකාසර්‍වස්ථානික වශයෙන් විනිශ්චය මෙ සේ ය:- ප්‍රත්‍යයන් අතුරෙන් සහජාත නිස්සය අත්‍ථි අවිගත යන මේ ප්‍රත්‍යයෝ සර්‍වස්ථානිකයෝ ය. සර්‍වස්ථානික යන්නෙහි තේරුම සකල රූපාරූප ධර්‍මයන්ට ම ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය යනුයි. සහජාතාදී ප්‍රත්‍යය සතර නො ලැබ උපදනා එක් ධර්‍මයකුදු නැත්තේ ය. ආරම්මණ ආරම්මණාධිපති අනන්තර සමනන්තර අනන්තරූපනිස්සය පකතූපනිස්සය ආසේවන සම්පයුත්ත නත්‍ථි විගත යන ප්‍රත්‍යයෝ අසර්‍වස්ථානිකයෝ ය. ඇතැම් රූපාරූප ධර්‍මයන්ට මිස සකල රූපාරූප ධර්‍මයන්ට ම ප්‍රත්‍යය නො වන්නෝ ය. ඔව්හු අරූපස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන්නෝ ය. ඒ ප්‍රත්‍යයන් නිසා අරූප ධර්‍ම මිස රූපධර්‍මයෝ නූපදනාහ. පුරේජාත පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝ දෙදෙන ද අසර්‍වස්ථානිකයෝ ය. පුරේජාත ප්‍රත්‍යය වන්නේ නාම ධර්‍මයන්ට පමණෙකි. පශ්චාජ්ජාත ප්‍රත්‍යය වන්නේ රූප ධර්‍මයන්ට පමණකි. කියන ලද ප්‍රත්‍යයන්ගෙන් අන්‍ය ප්‍රත්‍යයෝ ද රූපාරූපධර්‍මයන් ගෙන් යම්කිසි කොටසකට පමණක් ප්‍රත්‍යය වන බැවින් අසර්‍වස්ථානිකයෝ ය.

රූපය රූපයට ම ප්‍රත්‍යවීමය යනාදි විනිශ්චය මෙ සේ ය:- සූවිසි ප්‍රත්‍යයන් අතුරෙන් රූපයම ප්‍රත්‍යය වී රූපය ම ප්‍රත්‍යයෝත්පන්න ද වන ප්‍රත්‍යයක් නැත්තේ ය. ප්‍රත්‍යය රූප වී ප්‍රත්‍යයෝත්පන්නයන් අරූපයන් ම වන එක් ප්‍රත්‍යයක් ඇත්තේ ය. එනම් පුරේජාත ප්‍රත්‍යය ය. ප්‍රත්‍යය ඒකාන්තයෙන් රූප වී රූපාරූප දෙකට ප්‍රත්‍යය වන ප්‍රත්‍යයක් ද නැත්තේ ය. ප්‍රත්‍යය ඒකාන්තයෙන් අරූපධර්‍ම වී අරූපධර්‍මයන්ට ම ප්‍රත්‍යය වන ප්‍රත්‍යයෝ ඇතහ. ඔව්හු නම් අනන්තර සමනන්තර ආසේවන සම්පයුත්ත නත්‍ථි විගත යන ප්‍රත්‍යයෝ ය. ප්‍රත්‍යය ය ඒකාන්තයෙන් අරූප වී රූපයන්ට ම ප්‍රත්‍යය වන ප්‍රත්‍යයක් ඇත්තේ ය. එනම් පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය. ප්‍රත්‍යය ඒකාන්තයෙන් අරූපධර්‍ම වී රූපාරූප දෙකට ම ප්‍රත්‍යය වන ප්‍රත්‍යයෝ ද ඇතහ. ඔවුහු හේතු, කම්ම, මග්ග, විපාක, ඣාන යන ප්‍රත්‍යයෝ ය. ප්‍රත්‍යය ඒකාන්තයෙන් රූපාරූප දෙක ම වී රූපයට ම ප්‍රත්‍යය වන ප්‍රත්‍යයක් ද නැත්තේ ය. ප්‍රත්‍යය රූපාරූප දෙක ම වී අරූපයන්ට පමණක් ප්‍රත්‍යය වන ප්‍රත්‍යයෝ ඇතහ. ඔව්හු නම ආරම්මණ උපනිස්සය යන ප්‍රත්‍යයෝ ය. ප්‍රත්‍යය ඒකාන්තයෙන් රූපාරූප දෙක ම වී රූපාරූප දෙකට ම ප්‍රත්‍යය වන ප්‍රත්‍යයෝ ද ඇතහ. ඔව්හු නම් අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ආහාර ඉන්ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගත යන මේ ප්‍රත්‍යයෝ ය.

භවභේදයා ගේ වශයෙන් විනිශ්චය මෙ සේ ය:- ප්‍රත්‍යයෝ සූවිසි දෙන ම පඤ්චවෝකාර භවයෙහි ලැබෙත්. චතුවෝකාර භවයෙහි පුරේජාත පශ්චාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයන් හැර ඉතිරි ප්‍රත්‍යයෝ එක්විසි දෙන ලැබෙත්. එකවෝකාර භවයෙහි සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය කම්ම ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගත යන ප්‍රත්‍යයෝ සත්දෙන පමණක් ලැබෙත්. බාහිර අනින්‍ද්‍රියබද්ධ රූපයන්හි සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය පස පමණක් ලැබේ.

ඉමෙසු පඤ්චවොකාරෙ සබ්බෙ පි පච්චයා සියුං,

පුරෙ පච්ඡා විප්පයුත්තෙ විනා රූපෙකවීසති

සහජ ඤ්ඤොඤ්ඤ නිස්සය කම්ම ඉන්‍ද්‍රිය අත්‍ථි ච,

අවිගතා ති සත්තෙ ව අසඤ්ඤෙ උපලබ්භරෙ

බාහිරෙ නින්‍ද්‍රියෙ රූපෙ සහජ ඤ්ඤොඤ්ඤ නිස්සය,

අත්‍ථි අවිගතා චෙ ති ලබ්භරෙ පඤ්ච පච්චයා