9. උපනිඃශ්‍රය ප්‍රත්‍යය

star_outline

චිත්ත චෛතසිකයන් ඇති වීමට එක් විය යුතු වූ ලැබිය යුතු වූ අනේක ප්‍රත්‍යය ධර්‍මයන් අතුරෙන් ඒ ඒ චිත්ත චෛතසිකයන් ඇති වීමට අතිශයින් උපකාර වූ බලවත් හේතුවට උපනිඃශ්‍රය ප්‍රත්‍යය ය යි කියනු ලැබේ. එය කම්කරුවන්ට වැටුප් දී ගෙයක් කරවන ගෙහිමියකු මෙන් දත යුතු ය. ගෙහිමියා ය කම්කරුවෝ ය යන සියල්ලෝම ගෙය ඇති කරන්නෝ ය. එහෙත් කම්කරුවන් ගෙන් ඇතමෙක් නැත ද ගෙය තැනීම සිදුවන්නේ ය. කම්කරුවන්ට වැටුප් දෙන කර්‍මාන්තයට ද්‍රව්‍ය සපයන ගෙහිමියා නැතහොත් ගෙය නො තැනෙන්නේ ය. ගෙය ඇතිවීමට ප්‍රධාන උපකාරකයා ගෙහිමියා ය. කම්කරුවෝ ගෙය ඇතිවීමෙහි අප්‍රධාන හේතූහු ය. චිත්තචෛතසිකයන් හට ගැනීමට ඇත්තා වූ හේතූන් අතුරෙන් උපනිඃශ්‍රය ප්‍රත්‍යයෙන් අන්‍ය ප්‍රත්‍යයෝ ගෙය තනන කම්කරුවන් මෙන් දත යුත්තාහු ය. උපනිඃශ්‍රය ප්‍රත්‍යය ගෙහිමියා මෙන් දත යුතු ය. යම්කිසිවක උපනිඃශ්‍රයයෙන් ඇති විය යුතු චිත්ත චෛතසික ධර්‍මයෝ ඒ දෙයෙහි උපනිඃශ්‍රයභාවය නො ලද හොත් හේත්‍වාරම්මණාදි අන්‍ය ප්‍රත්‍යයන් නිසා පමණක් නූපදනාහ. හේත්‍වාදි ප්‍රත්‍යයෝ උපනිඃශ්‍රය ප්‍රත්‍යයා ගේ සහායත්‍වය නො ලැබ ඒ ධර්‍මය ඉපදවීමට නො සමත් වන්නාහ. මේ උපනිඃශ්‍රය ප්‍රත්‍යය සාමාන්‍යයෙන් එකක් වුව ද ප්‍රභේද වශයෙන් ආරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය, අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍ය ය, ප්‍රකෘතෝප නිඃශ්‍රය ප්‍රත්‍යය යි ත්‍රිවිධ වේ.

ලෝකයා විසින් උසස් කොට සලකනු ලබන ගරු කරනු ලබන අරමුණු ආරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය. ආරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වන ගරු කළ යුතු අරමුණු නම් ආරම්මණාධිපති ප්‍රත්‍යය වශයෙන් දැක් වූ ධර්‍මයෝ ම ය. ගරු කළ යුතු ධර්‍මයෝ බොහෝ චිත්ත චෛතසිකයන් ගේ උත්පත්තියට හේතු වෙති. ඒවායේ ගරු කළ යුතු බව පිළිබඳ දතයුතු කරුණු ආරම්මණාධිපති ප්‍රත්‍යය විස්තරයේ දැක්විණ. රුවන්වැලි මහසෑය ලෝකයා ගරු කරන වස්තුවකි. එ බැවින් එය දැකීමට හා එයට වැඳුම් පිදුම් කිරීමට බොහෝ ජනයෝ යෙති. එසේ යන්නවුන් කෙරෙහි එය සඳහා උපදනා චිත්ත චෛතසිකයෝ ඉතා බොහෝ ය. රුවන්වැලි මහසෑය සම්බන්‍ධයෙන් ඒ මනුෂ්‍යයන් තුළ ඇති වන චිත්ත චෛතසිකයන් ඇති වීමට තවත් බොහෝ ධර්‍ම ප්‍රත්‍යය වන්නේ වී නමුත් රුවන්වැලි මහසෑය නමැති ගරු කළ යුතු වස්තුව නැති නම් ඒ සිත් නූපදනාහ. ගරු කළ යුතු ආරම්මණයන් නිසා බොහෝ සිත් උපදනා සැටි රුවන්වැලි මහසෑය නිසා වන චිත්තචෛතසිකයන් ගේ ඉපදීම අනුව තේරුම් ගත යුතු ය.

දන් දී සිල්රැක පෙහෙවස් වැස තවත් නොයෙක් පින්කම් කොට ඒවා ගරු කොට මෙනෙහි කිරීම් වශයෙන් උපදනා කුසල් සිත්වලට ද ධ්‍යාන ලබා ධ්‍යානය ගරුකොට මෙනෙහි කිරීම් වශයෙන් උපදනා කුසල් සිත්වලට ද තම තමන් ගේ ලෝකෝත්තර මාර්‍ග ඵලයන් ගරු කොට මෙනෙහි කිරීම් වශයෙන් ශෛක්‍ෂයන්ට උපදනා කුසල් සිත් වලට ද කුසලය ආරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. දානාදි පින්කම් කොට ඒවා ගරු කොට තෘෂ්ණාවෙන් ආස්වාදනය කරන්නවුන් ගේ ද තෘෂ්ණාසහගත සිතින් ඒවාට සතුටු වන්නවුන් ගේ ද ඒවා ගැන දෘෂ්ටි උපදවන්නවුන් ගේ ද ඒ අකුශල සිත්වලට කුශලය ආරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. රාගය ගරු කොට ආස්වාදනය කරන්නවුන්ට ද රාගය ගැන තෘෂ්ණාසහගත චිත්තයෙන් සතුටු වන්නවුන්ට ද රාගය ගැන දෘෂ්ටි උපදවන්නවුන්ට ද ඒ ක්‍රියා සිදු කිරීම් වශයෙන් ඇති වන අකුශල චිත්තයන්ට රාගසඞ්ඛ්‍යාත අකුශලය ආරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. විස්තර පඤ්හාවාරයෙන් දත යුතු ය. එක ම ආරම්මණ ධර්‍මය එක ම ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයට එක වර ම ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණෝපනිඃශ්‍රය යන ශක්ති තුනෙන් ම ප්‍රත්‍යය වේ. ඒ ප්‍රත්‍යය ශක්ති වෙන වෙන ම කල්පනා කොට තේරුම් ගත යුතු ය.

ඒ ඒ සන්තානවල උපදනා ඒ ඒ සිතට පූර්‍වයෙන් ඉපද නිරුද්ධ වන චිත්තය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය. සිත් ඉපදීමේ හේතූන් කොතෙක් ඇත ද පවත්නා චිත්ත පරම්පරාවක සම්බන්‍ධයක් නැතිව ඒ හේතූහු සිත් ඉපදවීමට සමත් නො වෙති. සෑම සිතක් ම උපදනේ පවත්නා චිත්තපරම්පරාවක අගිනි. චිත්තපරම්පරාවේ අගින් ඉපද නිරුද්ධ වන චිත්තය එයට අනතුරු ව සිතක් ඇතිවීමට බලවත් හේතුවකි. එ බැවින් ඒ ඒ සිත්වලට පූර්‍වයෙන් ඉපද නිරුද්ධ වූ චිත්තයට අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය යි කියනු ලැබේ. එය විස්තර කළ යුත්තේ අනන්තර ප්‍රත්‍යයේ සැටියට ය. අනන්තර අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය දෙක්හි ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම වශයෙන් වෙනසක් නැත්තේ ය. වෙනස වන්නේ ශක්ති වශයෙන් පමණෙකි. පූර්‍ව පූර්‍ව චිත්තයන්හි ඇති තම තමාට අනතුරු ව චිත්තසන්නතිය නො සිඳෙනු පිණිස තැනට සුදුසු සිතක් ඉපදවීමේ ශක්තිය අනන්තර ප්‍රත්‍යය ශක්තිය ය. පූර්‍ව චිත්තයෙහි ඇති පශ්චිම චිත්තය ඉපදීමට බලවත් හේතු භාවය අනන්තරෝපනිඃශ්‍රය ශක්තිය ය. මේ ධර්‍මයේ සැටියට අභිනව සත්ත්‍වයන් පහළවීමට අවකාශයක් නැත. කුමක් හෙයින් ද යත හොත් අභිනව සත්ත්‍වයන්ට පහළ විය යුතු පළමු වන සිත පහළ වීමට අනන්තර අනන්තරෝපනිඃශ්‍රය වශයෙන් ප්‍රත්‍යය වන්නට ධර්‍මයක් නැති බැවිනි.

සත්ත්‍ව සන්තානයෙහි උපන්නා වූ රාග ශ්‍රද්ධාදි කුශලාකුශල ධර්‍මයෝ ය, සත්ත්‍වයා විසින් සේවනය කළ පුද්ගල සෘතු ආහාරාදීහු ය, කළා වූ කුශලාකුශල ක්‍රියාවෝ ය යන මොව්හු ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය. රූපශෝභාව ඇති කාන්තාවක් දැක යම්කිසි පුරුෂයකු කෙරෙහි මෑ ලස්සන ය, හොඳ ය කියා රාගය උපන හොත් ඒ පුරුෂයා එ් කාන්තාව නැවත නැවත සිහි කරයි. ඇය දැකීමට නැවත නැවත යයි. ඇගේ සිත් ගැනීමට නොයෙක් ක්‍රියා කරයි. මෙ සේ ඒ පුරුෂයා කෙරෙහි රාගය ඇති වූ කාන්තාව සම්බන්‍ධයෙන් බොහෝ චිත්ත චෛතසිකයෝ උපදිති. ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි ඉහත කී කාන්තාව ගැන රාගය ඇති නො වී නම් අන් කොතෙක් හේතූන් ඇත ද ඇය සම්බන්‍ධයෙන් ඇති වන ඒ සිත්වලින් එකකුදු ඇති නො වේ. රාගය ඒ සිත් ඇති වීමට බලවත් හේතුව ය. ඒ රාගය ඉහත කී ස්ත්‍රිය සම්බන්‍ධයෙන් උපදනා වූ චිත්තචෛතසිකයනට ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය. ඉහත කී ශ්‍රද්ධාදි අන්‍යකාරණයන් නිසා බොහෝ චිත්තචෛතසිකයන් උපදනා සැටි උක්තානුසාරයෙන් දත යුතු ය. ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය බොහෝ කරුණු ඇත්තා වූ මහත් වූ ප්‍රත්‍යයෙකි. කුශලය කුශල අකුශල අව්‍යාකෘත තුනට ම ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. එ සේ ම අකුශලය හා අව්‍යාකෘතය ද කුශලාකුශලව්‍යාකෘත තුනට ම ප්‍රත්‍යය වේ.

ශ්‍රද්ධා ප්‍රඥා වීර්‍ය්‍ය මෛත්‍රී කරුණාදි කුශල ධර්‍මයන් නිසා දන් දීම් සිල් සමාදන්වීම් පෙහෙවස් විසීම් ධ්‍යාන ඉපදවීම් ආදියෙහිදී ශ්‍රද්ධාදි කුශල ධර්‍ම, දානාදි කුශල ධර්‍මයන්ට ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. ශ්‍රද්ධා ශීල ශ්‍රැත ත්‍යාග ප්‍රඥාදි කුසල ධර්‍මයන් නිසා තමා උසස් කොට සිතන්නවුන්ගේ ද අනුන් පහත් කොට සිතන්නවුන්ගේ ද කුශලයන්ට ඇලුම් කරන්නවුන්ගේ ද කුශලය නිසා දෘෂ්ටි ගන්නවුන්ගේ ද ඒ අකුසල සිත්වලට කුශලය උපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ.

ලෝභ ද්වේෂ මෝහ මානාදි අකුශල ධර්‍මයන් නිසා ප්‍රාණඝාතාදිය කරන්නවුන්ගේ අකුශලය අකුශලයට ම ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. ප්‍රාණඝාතාදි පාපක්‍රියා කොට, ඒවායින් ගැලවෙන්නට සිතා පින්කම් කරන්නවුන්ගේ කුශලයට අකුශලය ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. විස්තර පඤ්හාවාරයෙන් දත යුතු ය.

රූපාරූප ධර්‍ම දෙවර්‍ගය ම උපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. උපනිඃශ්‍රය ප්‍රත්‍යයෝත්පන්න වන්නේ අරූප ධර්‍මයෝ ම ය. රූපධර්‍මයෝ උපනිඃශ්‍රය ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. ශාරීරික රූපයන්ට කර්‍මය ද බලවත් හේතුවකි. වර්‍ෂාව ගස් වැල්වලට බලවත් ප්‍රත්‍යයෙකි. රූපධර්‍මයනට ප්‍රත්‍යය වන ඒ බලවත් හේතු අභිධර්‍මයෙහි උපනිඃශ්‍රය ප්‍රත්‍යය සැටියට නො දක්වනු ලැබේ. සෞත්‍රාන්තික ක්‍රමයෙන් ඒවාට ද උපනිඃශ්‍රය නාමය ව්‍යවහාර කරනු ලැබේ. “පකතුපනිස්සය” යන මෙහි “පකත” යන්නෙහි තේරුම කරන ලද්ද ය යනුයි. එහි අදහස් කරන කිරීම ස්වසන්තානයෙහි ඉපදවීම හා සේවනය කිරීම ය. උපනිඃශ්‍රය ප්‍රත්‍යය වන ශ්‍රද්ධාදීහු ඒ ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි උපන් ශ්‍රද්ධාදීහු ය. එක් අයකු ගේ සන්තානයෙහි උපන් ශ්‍රද්ධාදීහු අනෙකකු ගේ සන්තානයේ චිත්ත චෛතසිකයනට උපනිඃශ්‍රය නො වෙති. එක් අයකු සේවනය කළ ආහාරාදිය ද අනෙකකු ගේ චිත්තචෛතසිකයනට උපනිඃශ්‍රය නො වේ. රූපසන්තානය ය අරූප සන්තානය ය යි සත්ත්‍වයකු ගේ සන්තාන දෙකකි. එයින් පකත යන වචනයෙන් කියැවෙන උත්පාදන සේවන දෙක සිදුකරන්නේ අරූප සන්තානයෙනි. රූප සන්තානයෙන් ඒ දෙක නො කරනු ලැබේ. එ බැවින් උපනිඃශ්‍රය ප්‍රත්‍යය අරූප සන්තානයට පමණක් ලැබේ.

භූසො නිස්සයො උපනිස්සයො පාදි පූර්‍වපද කර්‍මධාරය සමාස විග්‍රහයි. ආරම්මණං ච තං උපනිස්සයො චා ති ආරම්මණූපනිස්සයො, අනන්තරො ච සො උපනිස්සයො චා ති අනන්තරූපනිස්සයො, කරීයිත්‍ථා ති කතො, සන්තානයෙහි උපදවන ලද්දා වූ ද සේවනය කරන ලද්දා වූ ද දෙය කත යනුවෙන් ගත යුතු ය. පකාරෙන කතො පකතො, ප්‍රකාරයෙන් කරන ලද්ද හෙවත් උත්පාදනය හා සේවනය කරන ලද්ද පකත නම් වේ. කිනම් ප්‍රකාරයකින් ද? යත් යම් ප්‍රකාරයකින් ඉපද වූ කල්හි සේවනය කළ කල්හි අනාගතයෙහි ඒ සන්තානයෙහි චිත්තචෛතසිකයෝ උපදිත් ද ඒ ප්‍රකාරයෙන් කරන ලද්ද ය. පකතො ච සො උපනිස්සයො චා ති පකතූපනිස්සයො.