සත්ත්‍වයා ගේ චිත්තය ඒ ඒ අවස්ථාවල දී කුශලකර්‍මාභිමුඛ ව ද අකුශලකර්‍මාභිමුඛව ද දුර්‍ගත්‍යාභිමුඛ ද සුගත්‍යාභිමුඛ ව ද නිර්‍වාණාභිමුඛව ද පවත්නේ ය. චිත්තය කුශලාකුශල කර්‍මාදි ඒ ඒ දිශාවන්ට හැරෙන්නේ එයට උපාය වන සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි, මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්ප, මිච්ඡාවායාම, මිච්ඡාසමාධි යන ධර්‍මයන් නිසා ය. සිතට ඒ ඒ දිශාවට හැරීමට උපාය යන බැවින් ඔව්හු මග්ග නම් වෙති. මෙහි මග්ගයන්නෙහි තේරුම උපාය ය යනු යි. සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පාදිය නිසා සිත කුශල කර්‍මාභිමුඛ වෙයි. කුශලකර්‍මාභිමුඛවීම් වශයෙන් සුගතියට හෝ නිර්‍වාණයට හෝ අභිමුඛ ද වෙයි. මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පාදිය නිසා සිත පාපක්‍ෂයට අභිමුඛ වෙයි. පාපක්‍රියාභිමුඛ වීම් වශයෙන් ම දුර්‍ගත්‍යාභිමුඛද වේ. මෙහි චිත්තය යි කියන ලදුයේ ශුද්ධචිත්තයට නො ව සම්ප්‍රයුක්තධර්‍ම සහිත වූ චිත්තයට ය. සම්ප්‍රයුක්ත ධර්‍මසහිත වූ චිත්තයට ඒ ඒ දිශාවට අභිමුඛ ව ඉපදීමට පැවැත්මට උපකාරක වන බැවින් සම්මාදිට්ඨි ආදි ධර්‍මයෝ දොළොස් දෙන මාර්‍ග ප්‍රත්‍යය නම් වෙති.
ත්‍රිරාශියෙහි මාර්‍ගප්‍රත්‍යය වශයෙන් ධර්‍ම නවයක් දක්වා ඇත්තේ සම්මාසංකප්ප මිච්ඡාසංකප්ප දෙක ධර්‍ම වශයෙන් එක ම විතර්‍ක චෛතසිකය ද, සම්මාවායාම මිච්ඡාවායාම දෙක එක ම වීර්‍ය්‍ය චෛතසිකය ද, සම්මාසමාධි මිච්ඡාසමාධි දෙක එක ම ඒකාග්‍රතාචෛතසිකය ද වන බැවිනි.
අහේතුක චිත්තයෝ හේතු විරහිතත්‍වයෙන් දුබලයෝ ය. එ බැවින් ඒ චිත්තයන්හි කල්‍යාණකර්‍ම පාපකර්‍මාදීන්ට මාර්‍ග නො වෙති. එ බැවින් ත්‍රිරාශියෙහි සහේතුක චිත්තයන්හි ලැබෙන මාර්‍ගාඞ්ගයන් පමණක් මාර්‍ගප්‍රත්‍යය භාවයෙන් දක්වා තිබේ.
සූත්‍රධර්‍මයන්හි මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජීව මිච්ඡාසති යන මේවා ද මාර්‍ගාඞ්ග වශයෙන් දක්වා තිබේ. ඒවා ඒ ආකාරයෙන් පවත්නා අකුශල චිත්තෝපාදයන් මිස වෙන් වූ චෛතසික ධර්‍ම නො වන බැවින් මාර්‍ග ප්‍රත්‍යය වශයෙන් නො ගන්නා ලදි.
පට්ඨාන අටුවාවෙහි මාර්‍ග ප්‍රත්‍යය නිර්‍දෙශ වර්‍ණනාවෙහි ඇතැම් පිටපත්වල “අහෙතුක චිත්තුප්පාද වජ්ජෙසු සෙස චිත්තෙසු උප්පන්නානි පඤ්ඤා, විතක්කො, සම්මාවාචා, සම්මාකම්මන්තාජීවා, විරියං, සති, සමාධි, මිච්ඡාදිට්ඨි මිච්ඡාවාචා කම්මන්තාජීවා ති ඉමානි ද්වාදසඞ්ගානි” යනුවෙන් මාර්‍ගාඞ්ග දක්වා තිබේ. ඇතැම් පිටපත් වල “පඤ්ඤා, විතක්කො, සම්මාවාචා, සම්මාකම්මන්තාජීවා, විරියං, සති, සමාධි, මිච්ඡාදිට්ඨි, මිච්ඡා සඞ්කප්පො, මිච්ඡාවායාමො, මිච්ඡා සමාධි” යි මාර්‍ගාඞ්ග දොළොස දක්වා තිබේ. පට්ඨානපකරණයෙහි මාර්‍ගාඞ්ගයෝ කොතෙක් ද කවරහු ද යන බව දක්වා නැත. ධම්මසඞ්ගණියෙහි අකුශල චිත්තයන්හි මාර්‍ගාඞ්ග වශයෙන් උදුරා දක්වා තිබෙන්නේ මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්ප, මිච්ඡාවායාම, මිච්ඡාසමාධි යන සතර ය. එබැවින් පසු ව දැක්වුණු පට්ඨාන අටුවාපාඨය ම ශුද්ධපාඨය සැටියට සැලකිය යුතු ය.
මාර්‍ගාඞ්ගයෝ කුශල අකුශල අව්‍යාකෘත වශයෙන් තෙවැදෑරුම් වෙති. ඔවුන්ගෙන් අකුශලමාර්‍ගාඞ්ගයෝ සම්ප්‍රයුක්තචිත්තය දුර්‍ගතියට අභිමුඛ කරවීම් වශයෙන් සත්ත්‍වයා දුර්‍ගතියට පමුණුවති. කුශල මාර්‍ගාඞ්ගයෝ සම්ප්‍රයුක්තචිත්තය සුගතියට හා නිවනට යොමුකරවීම් වශයෙන් සුගති නිර්‍වාණයන්ට පමුණුවති. අව්‍යාකෘත මාර්‍ගාඞ්ගයන්ගේ සුගති දුර්‍ගති නිර්‍වාණයන්ට පැමිණවීමක් නැත. සුගත්‍යාදියට පැමිණවීමක් නො කරන අව්‍යාකෘත මාර්‍ගාඞ්ගයන් මාර්‍ග ප්‍රත්‍යය භාවයෙන් වදාරා තිබීමේ කාරණය විශේෂයෙන් සැලකිය යුත්තකි. මාර්‍ගාඞ්ග දොළොස අතුරෙන් මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවායාම මිච්ඡාසමාධි යන සතර අකුශල පක්‍ෂයෙහි ම මිස අව්‍යාකෘත පක්‍ෂයෙහි නො ලැබේ. සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පාදි අටදෙන කුශලාව්‍යාකෘත දෙපක්‍ෂයෙහි ම ලැබෙත්. සම්මාදිට්ඨි ආදීන් ගේ නිවැරදි ලෙස දැකීමාදි යම් ලක්‍ෂණයක් වේ නම් ඒ ලක්‍ෂණ කුශලාව්‍යාකෘත දෙපක්‍ෂයට ම ගිය මාර්‍ගාඞ්ගයන් හි වෙනසක් නැති ව ඇත්තේ ය. එ බැවින් කුශලාව්‍යාකෘත දෙපක්‍ෂයෙහි ම මාර්‍ගාඞ්ග ධර්‍මයෝ සහජාත නාමරූපයනට මාර්‍ගප්‍රත්‍යය වෙති. ප්‍රත්‍යය විකලත්‍වය නිසා අව්‍යාකෘත ධර්‍මයන් ගෙන් සුගති නිර්‍වාණයන්ට පැමිණවීමේ කාර්‍ය්‍යය සිදු නො වේ.
විපාක චිත්තයෝ උත්සාහයෙන් තොර ව කර්‍මවේගයෙන් ඇති වන්නෝ ය. එබැවින් විපාක චිත්තසම්ප්‍රයුක්ත චේතනාව නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යය භාවයට නො පැමිණෙත්. මාර්‍ගාඞ්ගයන් සුගත්‍යාදියට පැමිණවීමට සමත් වන්නේ නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය වන චේතනාවක් හා බැඳී උපන් කල්හි ය. එසේ නො වන කල්හි ඔවුහු සුගත්‍යාදියට පැමිණවීමට නො සමත් වෙති. ක්‍රියා චිත්තයන් උපදනේ සුගත්‍යාදියට පැමිණීමට තිබිය යුතු අනුශයයන් නැත්තා වූ රහතුන් ගේ සන්තානයෙහි ය. එ බැවින් ක්‍රියාචිත්ත සම්ප්‍රයුක්ත මාර්‍ගාඞ්ගයෝ සුගතියට නො පමුණුවති. ඒ රහතුන් ගේ සන්තානයන්හි ප්‍රහාණය කළ යුතු ක්ලේශයක් නැති බැවින් ක්‍රියා චිත්ත සම්ප්‍රයුක්ත මාර්‍ගාඞ්ගයෝ නිවනට පැමිණ වීම ද සිදු නො කෙරෙති. මාර්‍ගාඞ්ගයන්ගේ සහජාත රූපයනට ප්‍රත්‍යය වීම ධ්‍යානප්‍රත්‍යය විස්තරයෙහි දැක් වූ පරිදි දත යුතු ය.
සුගතියා වා දුගතියා වා නිබ්බානස්ස වා අභිමුඛං මග්ගෙති පාපෙතී ති මග්ගො, යම් ධර්‍මයක් තෙමේ සුගතිය ගේ හෝ දුර්‍ගතිය ගේ හෝ නිර්‍වාණයා ගේ හෝ අභිමුඛයට සම්ප්‍රයුක්ත ධර්‍මයන් පමුණුවා ද ඒ ධර්‍මය මග්ග නම් වේ. මග්ගධාතුව කෙරෙන් කර්ත්‍රර්‍ථයෙහි අ ප්‍රත්‍යය ව මග්ග නම් වේ. මග්ග යන පදය නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරති.