බුදුරැස් විහිදීම

star_outline

තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පර්‍ය්‍යඞ්කයෙහි වැඩහිඳ සම්‍යක් සම්බෝධි සමධිගමය කොට “මේ ධර්‍මය සොයන්නට පටන් ගත් මා හට චතුරසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් ඉක්ම ගියේ ය. මම මේ පර්‍ය්‍යඞ්කයෙහි හිඳ මතු කිසිකලෙක හිස ඔසවා නො එන පරිදි එක් දහස් පන්සියයක් කෙලෙස් සතුරන් පරදවා පළවා හැර එතෙක් කල් සොයමින් සිටි ධර්‍මය ප්‍රතිවේධ කෙළෙමි”යි මහත් සොම්නසට පැමිණ ලොවුතුරා බුදු වුවද එම අස්නෙන් නො නැඟී සම්‍යක් සම්බෝධිය පිණිස බැඳගත් පර්‍ය්‍යඞ්කය නොබිඳ අනේක සමවත්වලට සමවදිමින් දහම් රස විඳිමින් නිවන් සුව විඳිමින් සතියක් ඒ අසුනෙහිම වැඩහුන් සේක. බුදුවීමෙන් අට වන දිනයෙහි ඒ අසුනෙන් නැඟිට එයින් මඳක් ඈත්ව “මෙය මා විසින් සාරාසඞ්ඛ්‍යකල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුශලයන් ගේ ඵල ලැබූ තැනය” යි වැඩහුන් තැනට හා මහබෝරුකටත් ගරුකිරීමක් වශයෙන් එදෙස බලාගත් වනම ඇසිපිය නොහෙලාම සතියක් සිටගෙන ම හුන්සේක. පර්‍ය්‍යඞ්කයට උතුරු දිග වූ ඒ ස්ථානය අනිමිස චේතිය නම් විය. ඉක්බිති ඒ සිටිතැනටත් පර්‍ය්‍යඞ්කයටත් අතරෙහි නැගෙනහිරට හා බස්නාහිරට දික්ව පිහිටි රුවන් සක්මනෙහි සක්මන් කරමින් සතියක් කල් යැවූ සේක.

දින එක් විස්සක් ඉක්ම ගියේ ය. ඒ එක් දිනකදීවත් තථාගත ශරීරයෙන් රැස් නොවිහිදිණ. සතරවන සතිය පැමිණි කල්හි මහබෝමැඩින් බස්නාහිර උතුරු දෙදිගට අතර රතනඝරයෙහි වැඩහිඳ අභිධර්‍මය මෙනෙහි කරන්නට පටන්ගත් සේක. උන්වහන්සේ ධම්මසඞ්ගණී විභඞ්ග ධාතුකථා පුග්ගලපඤ්ඤත්ති කථා වත්‍ථු යමක යන ප්‍රකරණ සය පිළිවෙළින් මෙනෙහි කොට පට්ඨාන මහාපකරණයට බැස “හෙතුපච්චයො ආරම්මණ පච්චයො අධිපති පච්චයො” යනාදීන් ධර්‍මය මෙනෙහි කරන්නට පටන්ගත් සේක. උන්වහන්සේ විසින් පළමුව මෙනෙහි කළ ප්‍රකරණ සය කුඩා බැවින් සර්‍වඥතාඥානය රිසිසේ පවත්වන්නට ඒ ප්‍රකරණ ප්‍රමාණ නො වී ය. අනන්ත ක්‍රම ඇති අති විශාල වූ පට්ඨාන මහාපකරණය තථාගතයන් වහන්සේට තමන්වහන්සේ ගේ සර්‍වඥතාඥානය හැසිර වීමට ඉඩ ඇති ස්ථානය විය. පට්ඨාන ප්‍රකරණයට අයත් ඉමක් කොණක් නැති පරම සූක්‍ෂම ධර්‍මයන්හි රිසි සේ සර්‍වඥතාඥානය හසුරුවන්නට තථාගතයන් වහන්සේගේ සිත අතිශයින් පහන් විය. ඒ ප්‍රශන්න සිතින් උපදවන රූපද ඒවා නිසා තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ද පැහැපත් විය. තථාගතයන් වහන්සේගේ කෙස් ලොම්වලින් හා නේත්‍රයන්ගෙන් ද

නිල්වන් රැස් දහර නික්මෙන්නට විය. එකෙනෙහි ඒ රශ්මීන් නිසා අහස නිල් මල් නිල් කොඩි නිල් වියන්වලින් වැසීගියාක් මෙන් විය. සමින් හා ඇස්වල ඇතැම් තැනකින් ද රන්වන් රැස් දහර නික්මෙන්නට විය. ඒ රැස් නිසා ලෝක කුහරය රන්මල් රන්සුණු රන්වන් මල් විසුරුවා හැරි කලෙක මෙන් කහ පැහැයෙන් බබලන්නට විය. ලේමස්වලින් හා ඇස්වල රතු තැන්වලින් රතු රැස්දහර නික්මෙන්නට විය. ඒවායින් ලෝක ධාතුව රත්පැහැයෙන් බබලන්නට විය. ඇටවලින් හා දත්වලින් ද ඇස්වල සුදු තැන්වලින් ද සුදු රැස් දහර නික්මෙන්නට විය. එයින් ලෝකධාතුව සුදු පැහැයෙන් බබලන්නට විය. ශ්‍රී ශරීරයේ ඒ ඒ තැන්වලින් මාඤ්ජිෂ්ඨක ප්‍රභාෂ්වර රශ්මීහු ද නික්මෙන්නට වූහ. පට්ඨාන මහාපකරණයා ගේ විශිෂ්ටත්වය මේ බුදු රැස් විහිදීමෙන් ද තේරුම් ගත හැකි ය.