පොළොවෙහි පැවැත්ම හෙවත් ඇති බව එය ඇසුරු කොට පවත්නා වෘක්‍ෂලතාවන් ගේ හටගැනීමට පැවැත්මට උපකාර වන්නාක් මෙන් උත්පාදාදි ක්‍ෂණත්‍රයට පැමිණ තිබෙන වර්‍තමාන රූපාරූපයෝ රූපාරූප ධර්‍මයන් ගේ හටගැනීමට හා බලවත් වීමට ද උපකාර වෙති. අස්තිප්‍රත්‍යය යි කියනුයේ තමන් ගේ විද්‍යමානත්‍වයෙන් අන්‍ය රූපාරූප ධර්‍මයන්ගේ උත්පත්තියට හා බලවත් වීමට උපකාර වන රූපාරූප ධර්‍මයන්ට ය. පොළොව ඇසුරුකොට පවත්නා වූ වෘක්‍ෂලතාවන්ගේ හටගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නෝ බීජයෝ ය. පොළොව එයට හේතුවන්නේ අප්‍රධාන වශයෙනි. බීජයන්ගෙන් හටගත් වෘක්‍ෂලතාවන් ගේ වැඩීමට හා පැවැත්මට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ පොළොව ය. එ මෙන් අස්තිභාවයෙන් රූපාරූප ධර්‍මයන්ට ප්‍රත්‍යය වන රූපාරූප ධර්‍මයන් අන්‍ය රූපාරූප ධර්‍මයනට ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යය වන්නේ ඒවායේ බලවත් වීමට ය. එ බැවින් අස්තිප්‍රත්‍යය උපස්තම්භනය ප්‍රධාන කොට ඇති ප්‍රත්‍යයක් සැටියට සලකනු ලැබේ. එහෙත් එහි ජනකභාවය ද සම්පූර්ණයෙන් නැත්තේ නො වේ.
සහජාතාදි අන්‍යශක්තීන් ගෙන් තොර ව අස්තිතා මාත්‍රයෙන් යම්කිසි ධර්‍මයකට ප්‍රත්‍යය වන ධර්‍මයක් නැත්තේ ය. අස්තිත්‍වයෙන් ප්‍රත්‍යය වන්නේ ද සහජාතාදී වශයෙන් ප්‍රත්‍යය වන ධර්‍මයන්ම ය. එ බැවින් අස්ති ප්‍රත්‍යය ත්‍රිරාශියෙහි සහජාත ය. වස්තු පුරේජාතය, වස්ත්‍වාරම්මණ පුරේජාත ය, ආරම්මණපුරේජාත ය, පශ්චාජ්ජාතය ආහාර ය, රූපජීවිතේන්ද්‍රිය ය යන ප්‍රත්‍යය සත ගේ වශයෙන් දැක් වේ.
ත්‍රිරාශියෙහි සත් වැදෑරුම් කොට දක්වන ලද මේ අස්තිප්‍රත්‍යය සර්‍වසඞ්ග්‍රාහික වශයෙන් සඞ්ක්‍ෂෙපයෙන් දත යුත්තේ මෙ සේ ය. උත්පාදා දි ක්‍ෂණත්‍රයට පැමිණීම් වශයෙන් වර්‍තමාන වන්නා වූ එකුන් අනූචිත්තය ය, චෛතසික දෙපනස ය. රූප අටවිස්ස ය යන මොවුහු අස්ති ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය. නිර්‍වාණය විද්‍යාමාන ධර්‍මයක් වුව ද අස්තිප්‍රත්‍යය භාවයෙන් සලකනු නො ලැබේ. අස්තිප්‍රත්‍යය වන්නේ වර්‍තමාන භාවය ලැබීමට කලින් ප්‍රත්‍යය නො වන වර්‍තමාන භාවය ලැබීම නිසා ම ප්‍රත්‍යය වන ධර්‍මයන් ය. නිර්‍වාණය එය අරමුණු කොට උපදනා චිත්තයන්ට ආරම්මණ ප්‍රත්‍යය වන්නේ කලින් වර්‍තමාන භාවය නො ලැබ සිට පසුව වර්‍තමාන භාවය ලැබීම නිසා නො වේ. නිර්‍වාණයා ගේ කාලභේදයක් ද නැත්තේ ය. එය ආරම්මණ භාවයෙන් ප්‍රත්‍යය වන්නේ අතීත වූ ද අනාගත වූ ද ආරම්මණ ප්‍රත්‍යය වන ආකාරයට සමාන වූ ආකාරයෙනි. එ බැවින් එය අස්තිප්‍රත්‍යය නො වේ. එකම ධර්‍මය අන්‍ය ධර්‍මයනට ක්‍ෂණත්‍රයට පැමිණීමෙන් අස්ති භාවයෙන් ද නිරුද්ධ වීමෙන් නාස්ති භාවයෙන් ද ප්‍රත්‍යය වේ. අස්තිප්‍රත්‍යය නාස්ති ප්‍රත්‍යයට විරුද්ධ ප්‍රත්‍යයෙකි. නිර්‍වාණයෙහි නාස්තිත්‍වයක් නො ලැබෙන බැවින් අමුතුවෙන් අස්තිත්‍වයට පැමිණීමෙන් තමන් අරමුණු කරන ධර්‍මයනට ප්‍රත්‍යය වීමක් නැත. එ බැවින් ද නිර්‍වාණය අස්ති ප්‍රත්‍යයට අයත් නො වේ.
අස්ති ප්‍රත්‍යය ධර්‍මයන් ගෙන් නාම ධර්‍මයෝ සහජාත පශ්චාජ්ජාත වශයෙන් ද රූපයෝ සහජාත පුරේජාත වශයෙන් ද ප්‍රත්‍යය වෙති. ආහාරය හා රූපජීවිතේන්ද්‍රිය ය තමන් ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් සමග ද ඒවාට පෙර ද පසුව ද ලැබෙන්නේ වී නමුත් අස්ති භාවයෙන් මිස සහජාතාදි ප්‍රත්‍යය භාවයෙන් නො සලකනු ලැබේ. අස්ති ප්‍රත්‍යය ධර්‍මයන් ගේ ප්‍රත්‍යය වීමේ පිළිවෙල මෙසේ ය.:-
පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ කුශලස්කන්‍ධයෝ ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ද චතුවෝකාර භූමියෙහි උපදනා කුශලස්කන්‍ධයෝ ඔවුනොවුන්ට ද සහජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති. අකුශලස්කන්‍ධයන් ප්‍රත්‍යය වන්නේ ද එසේ ය. පඤ්චවෝකාරභාවයෙහි පශ්චාජ්ජාත කුශලාකුශලයෝ පූර්‍වයෙහි හටගත් චතුසමුට්ඨානික තිසමුට්ඨානික කායයන්ට පශ්චාජ්ජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති.
කාමාවචර රූපාවචර විපාකස්කන්‍ධයෝ ප්‍රතිසන්‍ධියෙහි දී ඔවුනොවුන්ට හා කර්‍මජ රූපයන්ට ද ප්‍රවෘත්ති කාලයෙහි ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ද සහජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති. ප්‍රවෘත්තිකාලයෙහි ස්ථිතිප්‍රාප්ත චතුසමුට්ඨානික තිසමුට්ඨානික කායයන්ට ද පශ්චාජ්ජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති. අරූපාවචර විපාකස්කන්‍ධයන් හා අරූපලෝකයෙහි උපදනා ලෝකෝත්තර විපාකස්කන්‍ධයෝ ද ඔවුනොවුන්ට සහජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති. පඤ්චවෝකාර භවයෙහි ලෝකෝත්තර විපාකයෝ ඔවුනොවුන්ට හා චිත්තජරූපයනට සහජාතාස්ති භාවයෙන් ද පූර්‍වයෙහි උපන් තිජ චතුජකායයන්ට පශ්චාජ්ජාතාස්ති භාවයෙන් ද ප්‍රත්‍යය වෙති.
රූපාවචර ක්‍රියානාමස්කන්‍ධයෝ සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට සහජාතාස්ති භාවයෙන් ද පුරේජාත තිජ චතුජ රූපයන්ට පශ්චාජ්ජාස්ති භාවයෙන් ද ප්‍රත්‍යය වෙති. කාමාවචරාරූපාවචර ක්‍රියා නාමස්කන්‍ධයෝ රූප ලෝකයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද පඤ්චවෝකාරයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ද සහජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති.
රූපාස්තිප්‍රත්‍යය සහජාත පුරේජාත ආහාර රූපජීවිතේන්‍ද්‍රිය වශයෙන් සිව්වැදෑරුම් වේ. සහජාත රූපාස්තිප්‍රත්‍යය කර්‍මාදි හේතූන් ගේ වශයෙන් සිව්වැදෑරුම් වේ. එයින් කර්‍මජ භූත රූපයෝ ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ද සහජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි හෘදයරූපය කාමාවචර රූපාවචර විපාකස්කන්‍ධයන්ට සහජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වේ. චිත්තජ සෘතුජ ආහාරජ භූතයෝ ද ඔවුනොවුන්ට හා උපාදාය රූපයනට සහජාතාස්ති භාවයෙන් ප්‍රත්‍යය වෙති.
පුරේජාතාස්තිප්‍රත්‍යය වනාහි වස්තුපුරේජාත ආරම්මණ පුරේජාත වශයෙන් දෙවැදෑරුම් වේ. එය ත්‍රිරාශියෙහි දැක්වූ පරිද්දෙන් දත යුතු ය. රූපජීවිතේන්‍ද්‍රියස්තිප්‍රත්‍යය ද ත්‍රිරාශියෙහි කී පරිද්දෙන් දත යුතු ය. මෙහි කුශලාදී ධර්‍මයන් ගේ ඔවුනොවුන්ට ප්‍රත්‍යය වීම කියන ලදුයේ එකට උපදනා චිත්තචෛතසිකයන් ගැන ය, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වීම ය යි කියන ලදුයේ ද එය ම ය. මහා භූතයන් ගේ ඔවුනොවුන්ට ප්‍රත්‍යය වීම කියන ලදුයේ ද එක් එක් කලාපයක භූතයන් ගේ වශයෙනි. අත්‍ථි (අස්ති) යනු විග්‍රහ නො කළ හැකි නිපාත පදයෙකි