16. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

ඉන්‍ද්‍රිය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුසලයන්හි ඇති ජීවිත, චිත්ත, වේදනා, සද්ධා, විරිය, සති, ඒකග්ගතා, පඤ්ඤා යන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුශල නාමස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් ඉන්‍ද්‍රිය ශක්තිය ලැබේ.

කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්සෙහි නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුශලචිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් ඉහත කී ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් ඉන්‍ද්‍රිය ශක්තිය ලැබේ. (සම්ප්‍රයුක්තය හැර විප්‍රයුක්තය ඇතුළු කොට ප්‍රත්‍යය ශක්ති දොළොස ගත යුතු ය.)

කුසලෙන කුසලාබ්‍යාකතවාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන කුසලචිත්තයන්හි ඇති නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් ඉහත කී ප්‍රත්‍යශක්ති දොළොසෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත ශක්ති දෙනෙක් අන්‍ය වූ ශක්ති දශය අතුරෙන් ඉන්‍ද්‍රිය ශක්තිය ලැබේ. අකුශලපදයේ වාර තුන ද කුශලපදානුසාරයෙන් විස්තර කරනු. ජීවිත චිත්ත වේදනා විරිය ඒකග්ගතා යන ඉන්‍ද්‍රිය පස එහි ඇත්තේ ය.

අබ්‍යාකතපදවාරයෙහි නාමේන්‍ද්‍රියයන්ගේ වශයෙන් ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත්සතිස ය, ක්‍රියා සිත් විස්ස ය චෛතසික අටතිස ය යන ධර්‍මයන්හි ඇති නාමේන්‍ද්‍රිය ධර්‍ම අට ලැබේ. සම්ප්‍රදාන පාඨයෙන් විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්ස ය චෛතසික අටතිස ය යන නාමස්කන්‍ධයන් හා චිත්තජ රූප ද වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ඉහත කී ප්‍රත්‍යය ශක්ති දොළොස ය විපාක විප්‍රයුක්ත ශක්ති දෙක ය යන ප්‍රත්‍යය ශක්ති තුදුස අතුරෙන් ඉන්‍ද්‍රිය ශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධ කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය චෛතසික පන්තිසය යන මොවුන් කෙරෙහි ඇති නාමේන්‍ද්‍රිය ධර්‍ම අට ලැබේ. සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය, චෛතසික පන්තිස ය යන නාමස්කන්‍ධ වූ ද කෘතත්‍වාත් රූප වූ ද ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ඉහත කී ප්‍රත්‍යශක්ති තුදුස අතුරෙන් ඉන්‍ද්‍රිය ශක්තිය ලැබේ.

පුරේජාතින්‍ද්‍රියෙහි කර්‍තෘපාඨයෙන් චක්‍ෂුර්විඥානද්වයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක චක්‍ෂුඃප්‍රසාදය ය. -පෙ- කායවිඥානද්වයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක කායප්‍රසාදය ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදාන පාඨයෙන් ද්විපඤ්චවිඤ්ඤාණය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් එක්වර ලැබෙන නිස්සය, පුරෙජාත, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් ඉන්‍ද්‍රිය ශක්තිය ලැබේ.

රූපජීවිතේන්‍ද්‍රියයෙහි කර්‍තෘපාඨයෙන් කර්‍මජකලාපවල ඉතිරි රූපයන්ට ප්‍රත්‍යය වන රූපජීවිතේන්‍ද්‍රිය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කර්‍මජ කලාපයන්හි රූපජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය රූපයෝ ලැබෙත්. කරණ පාඨයෙන් ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගත යන ශක්ති තුන අතුරෙන් ඉන්‍ද්‍රිය සඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ.

ඉන්‍ද්‍රිය විභඞ්ගය නිමි.