හේතුප්‍රත්‍යය නිර්‍දෙශයට අනතුරු ව ආරම්මණප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. එද නිර්දිශිතව්‍ය නිදර්‍ශනාකාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් නිර්දිශිතව්‍යය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත්; ආරම්මණපච්චයො ති යනුවෙනි. අනතුරු ව නිදර්‍ශනාකාරය වදාළ සේක. කෙසේ ද? යත්, රූපායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා -පෙ- ආරම්මණපච්චයෙන පච්චයො යනුවෙනි.
පදාර්‍ථ:
ආරම්මණපච්චයොති, ආරම්මණපච්චයො යන උද්දෙශයා ගේ නිර්‍දෙශය මෙ සේ ය; රූපායතනං, වර්‍තමාන රූපාරම්මණය; චක්ඛු විඤ්ඤාණධාතුයා, චක්‍ෂුර්විඥානධාතුවට ද; තංසම්පයුත්තකානං, ඒ චක්‍ෂුර්විඥානධාතුව හා සම්ප්‍රයුක්ත වූ; ධම්මානඤ්ච, සර්‍වචිත්තසාධාරණ චෛතසිකයන් සත් දෙනා හට ද; ආරම්මණපච්චයෙන, ආරම්මණ ප්‍රත්‍යය ශක්තියෙන්; පච්චයො, උපකාරක වේ.
සද්දායතනං, -පෙ-
රූපායතනං, වර්‍තමානරූපාරම්මණය ද; -පෙ- ඵොට්ඨබ්බායතනං, වර්‍තමාන ස්ප්‍රෂ්ටව්‍යාරම්මණය ද යන මොහු; මනොධාතුයා, මනෝධාතුත්‍රිකයට ද; තං සම්පයුත්තකානං, ඒ මනෝධාතුව හා සම්ප්‍රයුක්ත වූ, ධම්මානඤ්ච, ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික දශයට ද; ආරම්මණපච්චයෙන, ආරම්මණප්‍රත්‍යය ශක්තියෙන්; පච්චයො, උපකාරක වේ.
සබ්බෙ, සියලු වූ; ධම්මා, ෂඩාරම්මණධර්‍මයෝ; මනොවිඤ්ඤාණ ධාතුයා, මනෝවිඥානධාතුවට ද; තංසම්පයුත්තකානං, ඒ මනෝවිඥානධාතුව හා සම්ප්‍රයුක්ත වූ; ධම්මානඤ්ච, දෙපනස් චෛතසික ධර්‍මයන්ට ද; ආරම්මණපච්චයෙන, ආරම්මණප්‍රත්‍යය ශක්තියෙන්; පච්චයො, උපකාරක වේ.
යං යං ධම්මං, යම් යම් ප්‍රත්‍යය ධර්‍මයක්; ආරබ්භ, අරමුණු කො; යෙයෙධම්මා, යම්යම් ආරම්මණික ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම කෙනෙක්; උප්පජ්ජන්ති, උපදිත් ද; චිත්තචෙතසිකා, චිත්තචෛතසික වූ; ධම්මා, ආරම්මණික ධර්‍මයෝ වෙත් ද; තෙතෙ ධම්මා, ඒ ඒ ආරම්මණධර්‍මයෝ; තෙසංතෙසං ධම්මානං, ඒ ඒ ආරම්මණික චිත්තචෛතසික ධර්‍මයන්ට; ආරම්මණපච්චයෙන, ආරම්මණප්‍රත්‍යය ශක්තියෙන්; පච්චයො, උප කාරක වේ.
ස්වරූපාර්ථ:
“ආරම්මණපච්චයොති” යනාදි නිර්‍දෙශපාලියෙහි ආරම්මණපච්චයො ති යනුවෙන් නිර්දිශිතව්‍යධර්‍මය දැක්වූ සේක; රූපායතනං චක්ඛු විඤ්ඤාණධාතුයා යනාදීන් නිදර්‍ශනාකාරය දැක්වූ සේක.
එහි “රූපායතනං” යන කර්‍තෘපාඨයෙන් වර්‍තමාන රූපාරම්මණ සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.
“චක්ඛුවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච, ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් චක්‍ෂුර්විඥානද්වය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම සමූහය දැක්වූ සේක.
“ආරම්මණපච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර ලැබිය හැකි ආරම්මණ පුරෙජාත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර අතුරෙන් ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වීම දැක්වූ සේක. සද්දායතනං යනාදි පාඨයන් ගේ අභිධේයයෝ වුක්තානුසාරයෙන් දත යුතු.
“රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං” යන කර්‍තෘපාඨයෙන් වර්‍තමාන රූපාදිපඤ්චාරම්මණය දැක්වූ සේක. මනොධාතුයා -පෙ- නං යන සම්ප්‍රදාන පාඨයෙන් මනොධාතුත්‍රිකය ය, ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය දැක්වූ සේක.
“ආරම්මණපච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර ලැබෙන ආරම්මණ, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති සතර අතුරෙන් ආරම්මණප්‍රත්‍යයශක්තියෙන් ප්‍රත්‍යය වීම දැක්වූ සේක.
“සබ්බෙධම්මා” යන කර්‍තෘපාඨයෙන් එකුන්අනූ චිත්තය ය චෛතසික දෙපනස ය, රූපඅටවිස්ස ය, නිර්වාණයය, ප්‍රඥප්තිය යන ෂඩාරම්මණ ප්‍රත්‍යයධර්‍මය දැක්වූ සේක.
“මනොවිඤ්ඤාණධාතුයා -පෙ- යන සම්ප්‍රදානපාඨයෙන් සසැත්තෑ වැදෑරුම් වැදෑරුම් මනෝවිඤ්ඤාණධාතුව ය, චෛතසික දෙපනසය යන ප්‍රත්‍යයෝත්පන්නධර්‍ම සමූහය දැක්වූ සේක.
තවත් ක්‍රමයකින් කියත හොත් මෙසේ ය. තදාරම්මණ එකොළොස ය, හසිතුප්පාදය යන මොවුන්ට ප්‍රත්‍යය වන කාමසිත් සිවු පනස ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය යන ෂඩාරම්මණ ධර්‍මයෝ ය.
අකුසල් සිත් දොළොස ය, මහාකුශල මනාක්‍රියා ඥානවිප්‍රයුක්ත සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ලෞකික සිත් එක් අසූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය යන ෂඩාරම්මණධර්‍මයෝ ය.
මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත් අසූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, නිර්‍වාණය ය, ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණ ධර්‍මයෝ ය.
මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය, මනොද්වාරාවර්ජනය ය යන මොවුන්ට ප්‍රත්‍යය වන එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය, නිර්‍වාණය ය, ප්‍රඥප්තියය යන ෂඩාරම්මණ ධර්‍මයෝ ය.
දිව්‍යචක්‍ෂුස්කුශලාභිඥාවට ප්‍රත්‍යය වන දූර ප්‍රච්ඡන්න සණ්හ සූක්‍ෂම වර්‍තමාන රූපාරම්මණ ය ය,
දිව්‍යශ්‍රෝත්‍ර කුශලාභිඥාවට ප්‍රත්‍යය වන දූර ප්‍රච්ඡන්න සණ්හ සූක්‍ෂම වර්‍තමාන ශබ්දාරම්මණය ය,
සෘද්ධිවිධ කුශලාභිඥාවට ප්‍රත්‍යය වන පාදක වූ රූපාවචර කුශල පඤ්චමධ්‍යානය ය සතසහස්‍රාදි නිර්මිතරූපයෝ ය යන ෂඩාරම්මණය ය,
චෙතෝපරියකුශලාභිඥාවට ප්‍රත්‍යය වන ඉකුත් වූ සත්දින පටන් අනාගත සත්දින දක්වා කාලත්‍රයට අයත් වූ අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත අන්‍යයන් ගේ සිත් සත් අසූව ය, චෛතසික දෙපනස ය යන ධර්‍මාරම්මණය ය,
පූර්‍වෙනිවාසානුස්මෘති කුශලාභිඥාවට ප්‍රත්‍යය වන පූර්‍වභවයන්ට අයත් වූ අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත්අසූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය යන පඤ්චස්කන්‍ධය අනුව දත යුතු වූ නිර්‍වාණය, නාමගෝත්‍රාදි ප්‍රඥප්තීහු ය යන ෂඩාරම්මණය ය,
යථාකර්මූපග කුශලාභිඥාවට ප්‍රත්‍යය වන අතීත ලෞකික කුශලාකුශල සඞ්ඛ්‍යාත ධර්‍මාරම්මණය ය,
අනාගතංශ කුශලාභිඥාවට ප්‍රත්‍යය වන අනාගත වූ අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත් අසූවය ය. චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය යන පඤ්චස්කන්‍ධය ය, ඒ පඤ්චස්කන්‍ධානුසාරයෙන් දත යුතු වූ නිර්‍වාණය ය, නාමගෝත්‍රාදී ප්‍රඥප්තීහු ය යන ෂඩාරම්මණය ය,
දිව්‍ය චක්‍ෂුස් ක්‍රියාභිඥාවට ප්‍රත්‍යය වන දූරප්‍රච්ඡන්න සණ්හ සූක්‍ෂම වර්‍තමාන රූපාරම්මණය ය,
දිව්‍යශ්‍රෝත ක්‍රියාභිඥාවට ප්‍රත්‍යය වන දූර ප්‍රච්ඡන්න සණ්හ සූක්‍ෂම වර්‍තමාන ශබ්දාරම්මණය ය,
සෘද්ධිවිධ ක්‍රියාභිඥාවට ප්‍රත්‍යය වන පාදක වූ රූපාවචර ක්‍රියා පඤ්චමධ්‍යානය ය ශතසහස්‍රාදි නිර්මිත රූපයෝ ය යන ෂඩාරම්මණය ය,
චෙතෝපරියක්‍රියාභිඥාවට ප්‍රත්‍යය වන ඉකුත් වූ සත්දිනයෙහි පටන් අනාගත සත්දිනය දක්වා කාලත්‍රයෙහි වූ අන්‍යයන් ගේ එකුන් අනූ චිත්තය වූ ධර්‍මාරම්මණය ය.
පූර්‍වෙනිවාසානුස්මෘති ක්‍රියාභිඥාවට ප්‍රත්‍යය වන පූර්‍වභවයන්ට අයත් වූ එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, අටවිසි රූපය ය යන පඤ්චස්කන්‍ධය ය, ඒ පඤ්චස්කන්‍ධය අනුව දත යුතු වූ නිර්‍වාණය ය, නාමගෝත්‍රාදි ප්‍රඥප්තීහු ය යන ෂඩාරම්මණය ය,
යථාකර්මූපග ක්‍රියාභිඥාවට ප්‍රත්‍යය වන අතීත ලෞකික කුශලාකුශල කර්‍මසඞ්ඛ්‍යාත ධර්‍මාරම්මණය ය,
අනාගතංශ ක්‍රියාභිඥාවට ප්‍රත්‍යය වන එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය යන පඤ්චස්කන්‍ධය ය, ඒ පඤ්චස්කන්‍ධය අනුව දත යුතු වූ නිර්‍වාණය ය, නාමගෝත්‍රාදි ප්‍රඥප්තීහු ය යන ෂඩාරම්මණය ය,
රූපාවචර ප්‍රථමධ්‍යාන සිත් තුනට ප්‍රත්‍යය වන කසිණ ප්‍රඥප්ති දශය ය, අශුභ ප්‍රඥප්ති දශය ය, කායගතාසතියට අරමුණු වන කේශාදි කොට්ඨාශ ප්‍රඥප්තිය ය, ආනාපානස්සතියට අරමුණු වන ආශ්වාසප්‍රශ්වාස ප්‍රඥප්තිය ය, මෙත්තා කරුණා මුදිතාවන්ට අරමුණු වන අප්‍රමාණ සත්ත්‍වප්‍රඥප්තියය යන ප්‍රඥප්ති පස්විස්ස වූ ධම්මාරම්මණය ය,
රූපාවචර ද්විතීයධ්‍යාන සිත් තුන ය, තෘතීයධ්‍යාන සිත් තුන ය, චතුර්‍ථධ්‍යාන සිත් තුන ය යන මොවුන්ට ප්‍රත්‍යය වන කසිණ ප්‍රඥප්ති දශය ය, ආනාපානස්සතියට අරමුණු වන ආශ්වාස ප්‍රශ්වාස ප්‍රඥප්තිය ය, මෙත්තා කරුණා මුදිතා යන බ්‍රහ්මවිහාරයන්ට අරමුණු වන අප්‍රමාණ සත්ත්‍ව ප්‍රඥප්තිය ය යන ප්‍රඥප්ති තුදුස වූ ධම්මාරම්මණය ය,
රූපාවචරපඤ්චමධ්‍යාන සිත් තුනට ප්‍රත්‍යය වන කසිණ ප්‍රඥප්ති දශය ය, ආශ්වාස ප්‍රශ්වාස ප්‍රඥප්තිය ය, උපෙක්‍ෂාබ්‍රහ්ම විහාරයට අරමුණු වන අප්‍රමාණ සත්ත්‍ව ප්‍රඥප්තිය ය යන ප්‍රඥප්ති දොළොස වූ ධර්‍මාරම්මණය ය,
ආකාසානඤ්චායතන ධ්‍යාන සිත් තුනට ප්‍රත්‍යය වන ආකාස කසිණයෙන් අන්‍ය වූ කසිණ නවය අතුරෙන් යම්කිසි කසිණයක් උගුළුවා ලබන ලද ආකාශ ප්‍රඥප්තිය වූ ධර්‍මාරම්මණය ය,
විඤ්ඤාණඤ්චායතන කුසලයට ප්‍රත්‍යය වන අතීතභවයෙහි හෝ වර්‍තමානභවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි හටගත් ආකාසානඤ්චායතන කුශල සඞ්ඛ්‍යාත ධර්‍මාරම්මණය ය,
විඤ්ඤාණඤ්චායතන විපාකයට ප්‍රත්‍යය වන අතීතභවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි හටගත්තා වූ ආකාසානඤ්චායතන කුසලය වූ ධර්‍මාරම්මණය ය,
විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තයට ප්‍රත්‍යය වන වර්‍තමාන භවයේ ආධ්‍යාත්මික සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන ක්‍රියා චිත්තය හා අතීතභවයෙහි හා වර්‍තමානභවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුශලචිත්තය ය යන ධර්‍මාරම්මණය ය,
ආකිඤ්චඤ්ඤායතන සිත් තුනට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසලක්‍රියාවන් ගේ අභාවය වූ ධර්‍මාරම්මණය ය,
නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලයට ප්‍රත්‍යය වන වර්‍තමානාතිත භවයන්හි ආධ්‍යාත්මික සන්තානයෙහි හටගත් ආකිඤ්චඤ්ඤායතන කුසලය වූ ධර්‍මාරම්මණය ය.
නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාකචිත්තයට ප්‍රත්‍යය වන පූර්‍ව භවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි හටගත් ආකිඤ්චඤ්ඤායතන කුසලචිත්තය වූ ධර්‍මාරම්මණය ය,
නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියාචිත්තයට ප්‍රත්‍යය වන වර්‍තමාන භවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි හටගත් ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා චිත්තය ය, අතීතභවයෙහි හෝ වර්‍තමාන භවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි හටගත් ආකිඤ්චඤ්ඤායතන කුසලය ය යන ධර්‍මාරම්මණය ය,
ලෝකෝත්තර සිත් අටට ප්‍රත්‍යය වන නිර්‍වාණ සඞ්ඛ්‍යාත ධර්‍මාරම්මණය ය යන මේ ෂඩාරම්මණ ධර්‍මයන් “සබ්බෙ ධම්මා” යන කර්‍තෘපාඨයෙන් දැක් වූ සේක.
“මනොවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං” යන සම්ප්‍රදානපාඨයෙන් සසැත්තෑවැදෑරුම් මනෝවිඤ්ඤාණධාතුව ය චෛතසික දෙපනස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක් වූ සේක.
“ආරම්මණපච්චයෙන” යන කරණ පාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබිය හැකි වූ ආරම්මණ, අධිපති, නිස්සය, උපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් ආරම්මණ ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.
(විස්තර ක්‍රමය)
යංයං ධම්මං යන පාඨයෙන් අනියමින් ෂඩාරම්මණ සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. යෙයෙ ධම්මා යන පාඨයෙන් ආරම්මණික ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය අනියම වශයෙන් දැක්වූ සේක. චිත්තචෙතසිකා ධම්මා යන පාඨයෙන් ආරම්මණික ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් ස්වරූප වශයෙන් දැක්වූ සේක. තෙතෙ ධම්මා යන පාඨයෙන් යංයං ධම්මං යන පාඨයෙන් අනියමින් දැක්වූ ෂඩාරම්මණ ප්‍රත්‍යය ධර්‍මයන් නියම වශයෙන් දැක්වූ සේක. තෙසංතෙසං ධම්මානං යන පාඨයෙන් යෙයෙ ධම්මා යන පාඨයෙන් දැක්වුණු ආරම්මණික ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක. ආරම්මණ පච්චයෙන යන කරණපාඨයෙන් -
ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අට ය, මහා කුශල සිත් අට ය, මහා ක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ඉෂ්ටනිෂ්පන්නරූප අටොළොස ය ද්වේෂමූල මෝහමූල දුඃඛසහගතකාය විඥාන වර්ජිත සිත් අසූඅසූව ය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය වර්ජිත චෛතසික සත්සාළිස ය, නිර්‍වාණය ය යන ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ නම් ආරම්මණ, අධිපති, උපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් ආරම්මණ සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් ප්‍රත්‍යය වීමද,
කාමසිත් සිවුපනස ය අභිඥා දෙසිත ය යන මොවුන්ට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වේ නම් ආරම්මණ, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍ය ශක්ති සතර අතුරෙන් ආරම්මණ ශක්තිවිශේෂයෙන් ප්‍රත්‍යයවීම ද,
මනෝද්වාරාවර්ජනය ය, මරණාසන්නජවන පස ය තදාරම්මණ එකොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් පූර්‍වයෙහි සතොළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තුරූපය වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය වේ නම් ආරම්මණ, පුරේජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් ආරම්මණ සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් ප්‍රත්‍යය වීම ද,
ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරුකොට අරමුණු කළයුතු ඉෂ්ටනිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වේ නම් ආරම්මණ, පුරේජාත, අධිපති, උපනිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති සය අතුරෙන් ආරම්මණ සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් ප්‍රත්‍යය වීම ද,
ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය වේ නම්, ආරම්මණ, පුරේජාත, අධිපති, නිස්සය, උපනිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් ආරම්මණ සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් ප්‍රත්‍යය වීම ද දැක් වූ සේක.
විශේෂ කරුණු:
“රූපායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා” යනාදියෙහි පටන් සබ්බෙ ධම්මා මනොවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං ආරම්මණ පච්චයෙන පච්චයො” යන්න දක්වා ඇති දේශනයෙන් ආරම්මණ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න විභාගය සම්පූර්‍ණ වතුදු “යංයං ධම්මං ආරබ්භ යෙයෙ ධම්මා උප්පජ්ජන්ති, චිත්තචෙතසිකා ධම්මා, තෙතෙ ධම්මා තෙසංතෙසං ධම්මානං ආරම්මණපච්චයෙන” යනු වදාරන ලදුයේ රූපාදි අරමුණු සය සප්තවිඤ්ඤාණධාතූන්ට ප්‍රත්‍යය වන්නේ ඒවා අරමුණු කර උපදනා අවස්ථාවෙහි පමණක් බවත් එසේ ප්‍රත්‍යයවීම ඒ ඒ ධර්‍මය අරමුණු කරන චිත්තයන්ට පමණක් බවත් දැක්වීම පිණිස ය.
“යංයං ධම්මං ආරබ්භා ති ඉමිනා යෙ තෙ එතාසං සත්තන්නං විඤ්ඤාණධාතූනං ආරම්මණ ධම්මා වුත්තා තෙ තාසං ධාතූනං ආරම්මණං කත්‍වා උප්පජ්ජනක්ඛණෙ යෙව ආරම්මණපච්චයො හොන්තී ති දීපෙති. එවං හොන්තා පි ච න එකතො හොන්ති. යංයං ආරබ්භ යෙයෙ උප්පජ්ජන්ති තෙසං තෙසං තෙතෙ විසුංවිසුං ආරම්මණ පච්චයො හොන්තී ති දීපෙති” යනු අටුවා යි.