7. අන්‍යෝන්‍ය ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

අන්‍යෝන්‍ය විභඞ්ගයෙහි කුසලපද අකුසලපද වාර දෙක සහජාතයට සමාන ය. අබ්‍යාකතපද වාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි නාමස්කන්‍ධයන් අභිධෙය වශයෙන් අවුලනු. ප්‍රතිසන්‍ධි කාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව නිසා උපදනා ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ද යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදය වස්තූහු ය යන ප්‍රත්‍යය ධර්‍මයන්ගේ අන්‍යෝන්‍ය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර සිවුසාළිසෙකි.

ශුද්ධරූප වාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයන් හා ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය. බාහිර මහා භූතයෝ ය, ආහාරජ මහාභූතයෝ ය, සෘතුජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු ලැබෙත්. හේතුපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන මහාභූතයන් ගේ අන්‍යෝන්‍ය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර අට අනූවෙකි. ප්‍රවෘත්තිකාලයෙහි වාර තුදුසක් ද ප්‍රතිසන්‍ධිකාලයෙහි වාර සිවුසාළිසක් ද ශුද්ධරූපවාරයෙහි අටඅනූවක් ද වීමෙන් ස්කන්‍ධවාර එක්සිය සපනසක් වේ.

අන්‍යෝන්‍ය ප්‍රත්‍යය විභඞ්ගය නිමි.