විනාශයට ගිය ධර්‍මය හෙවත් නිරුද්ධ වූ ධර්‍ම විගත නම් වේ. විගතභාවයෙන් උපකාරක ධර්‍මයෝ විගත ප්‍රත්‍යය ය. විනාශයට නො ගිය ධර්‍මය හෙවත් උත්පාද ස්ථිති භඞ්ග යන ක්‍ෂණත්‍රයෙහි සිටින ධර්‍මය අවිගත නම් වේ. අවිගත භාවයෙන් උපකාරක ධර්‍මයෝ අවිගත ප්‍රත්‍යය ය. ධර්‍ම වශයෙන් හා ප්‍රත්‍යය වන ආකාරයෙන් ද නාස්තිප්‍රත්‍යය විගත ප්‍රත්‍යය දෙක්හි වෙනසක් නැත්තේ ය. වෙනස ඇත්තේ වචනවල පමණෙකි. එසේ ම අස්ති අවිගත ප්‍රත්‍යය දෙක්හි ද වෙනසක් නැත්තේ ය. අස්ති නාස්ති ප්‍රත්‍යය දෙක දේශනය කිරීමෙන් ම ප්‍රත්‍යය කථාව සම්පූර්ණ වතු දු දේශනා විලාස වශයෙන් හෝ මේ දුකය දේශනය කිරීමෙන් ම කාරණය අවබෝධ කරවිය හැකි පුද්ගලයන් ගේ වශයෙන් හෝ නැවත විගතාවිගත දුකය වදාරණ ලදැයි පට්ඨාන අටුවාවෙහි දක්වා තිබේ. දේශනය කළ හැකි බොහෝ ධර්‍ම හා බොහෝ ආකාර ඇති තැන කැමති ධර්‍මයක් කැමති ආකාරයකින් දේශනය කරන බව දේශනා විලාශය ය. මේ ප්‍රත්‍යය කථාවෙහි අත්‍ථි යන වචනයෙන් අදහස් කරනුයේ උත්පාදාදී ක්‍ෂණත්‍රයෙහි පවත්නා ධර්‍මය ය. නත්‍ථි යන වචනයෙන් අදහස් කරනුයේ උත්පාදා දි ක්‍ෂණත්‍රය ඉක්ම වූ ධර්‍මය ය. “අත්‍ථිපුග්ගලො අත්තහිතාය පටිපන්නො, අත්‍ථීති ඛො කච්චාන එකො අන්තො, නත්‍ථීති ඛො කච්චාන එකො අන්තො”
යනාදීන් බුදුසස්නෙහි ද ලෝකයෙහි ද අනේකාර්‍ථයන් සඳහා අත්‍ථි නත්‍ථි යන වචන දෙක ව්‍යවහාර කෙරෙති. එ බැවින් අත්‍ථිපච්චය නත්‍ථිපච්චය දෙක පමණක් වදාළ කල්හි සැමට ම කාරණය තේරුම් ගත හැකි නොවේ. අත්‍ථි නත්‍ථි පච්චය දෙක වදාළ පමණින් කාරණය තේරුම් ගත නො හැකි තැනැත්තන්ට තේරුම් ගත හැකි වනු පිණිස විගතපච්චයො අවිගතපච්චයො යි අන් ආකාරයකින් අත්‍ථි නත්‍ථි ප්‍රත්‍යය දෙක ම වදාරන ලදය යනු අටුවාවෙහි දැක්වෙන අදහස ය. මූලටීකාවෙහි හා විසුද්ධිමග්ග ටීකාවෙහි අත්‍ථි අවිගත නත්‍ථි විගත දුකයන් ගේ වෙනස් කම් ද දක්වා තිබේ. ඒවා කාරණයට ගැලපෙතැ යි නො සිතේ. විමසා ගත යුතු ය.