පට්ඨාන මහා පකරණය සැකෙවින් දැක්වීම

star_outline

පට්ඨාන මහා පකරණය වනාහි ලෝකයේ ඇති විශාල ම පකරණය ය, එහි කොණක් නො දැකිය හැකි ය. එ බැවින් එය අනන්ත නයසමන්නාගත සමන්න පට්ඨාන මහා පකරණය යි කියනු ලැබේ. එය පොත්වල ලියා තිබෙන්නේ පෙය්‍යාල ක්‍රමයෙනි. පොත්වල ලියැවී ඇති ප්‍රමාණයෙන් එය බණවර දෙසිය සතළිස් දෙකකි. ප්‍රකරණය අති විශාල වුව ද එහි වචන ඇත්තේ සීමාසහිත ගණනෙකි.

“හෙතුපච්චයො ආරම්මණපච්චයො” යනාදි ප්‍රත්‍යයපද සූ විස්ස ය, “කුසලා ධම්මා අකුසලා ධම්මා අබ්‍යාකතා ධම්මා” යනාදි ධම්මසඞ්ගණී පකරණයෙහි දැක්වෙන තිකමාතිකා පද ස සැට ය. “හෙතු ධම්මා න හෙතු ධම්මා” යනාදි දුකමාතිකා පද දෙසිය ය යන මේ පද දෙසිය අනූව පට්ඨාන මහා පකරණයේ මූල පදයෝ ය. ඒ මූලපදයන් හා තවත් නාමපද ක්‍රියාපද ස්වල්පයක් යොදා පට්ඨාන පකරණය දේශනය කර තිබේ.

මේ පට්ඨාන පකරණය පච්චයවිභඞ්ගවාරය ය, මහාවාරය ය යි කොටස් දෙකකින් යුක්ත ය. එයින් පච්චය විභඞ්ගවාරය පළමු කොට දේශනය කර තිබේ. එය සූවිසිප්‍රත්‍යයන් පිළිබඳ සාමාන්‍ය විස්තරයෙකි. මාතිකා නික්ඛෙපවාරය යනු ද එයට නමෙකි. එය පට්ඨාන මහා පකරණයට පිවිසීමේ දොරටුවක් වැනි ය.

මහාවාරය පට්ඨාන සූවිස්සකින් යුක්ත ය. එයින් එක් එක් පට්ඨානයක්, අතිවිශාල ප්‍රකරණයෙකි. පට්ඨාන සූවිස්ස මෙ සේ දත යුතු. මේ ප්‍රකරණයෙහි අනුලෝම නය ය, පච්චනීය නය ය, අනුලෝම පච්චනීය නය ය, පච්චනීයානුලෝම නය ය යි මහා නය සතරක් ඇත්තේ ය. ඒ මහා නය සතර ධර්‍මපද විෂයෙහි ද ප්‍රත්‍යය පද විෂයෙහි ද ලැබේ.

“කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් පද ඇති සැටියට ම ගෙන දේශනය කිරීමේ ක්‍රමය අනුලෝම නම් වේ. “න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො” යනාදීන් පදයන් ගේ පූර්‍වයෙහි නකාරය යොදා දේශනය කිරීමේ ක්‍රමය පච්චනීය නය නම් වේ. “කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො” යනාදීන් පශ්චිම පදය නකාරයෙන් යුක්තකොට දේශනය කිරීමේ ක්‍රමය අනුලෝම පච්චනීය නම් වේ. “න කුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො” යනාදීන් ආදිපදය නකාරයෙන් යුක්ත කොට දේශනය කිරීමේ ක්‍රමය පච්චනීයානුලෝම නම් වේ.

තිකපට්ඨානය ය, දුකපට්ඨානය ය, දුකතිකපට්ඨානය ය, තිකදුකපට්ඨානය ය, තිකතිකපට්ඨානය ය, දුකදුකපට්ඨානය ය යි පට්ඨාන සයෙකි.

තිකපදයන් මූලපද කොට දේශිත පට්ඨානය තිකපට්ඨාන නමි. දුක පදයන් මූලපද කොට දේශිත පට්ඨානය දුකපට්ඨාන නමි. තික පදයන්ගේ පූර්‍වයෙහි දුකපද යෙදූ මූලපදයන්ගේ වශයෙන් දේශිත පට්ඨානය දුකතිකපට්ඨාන නමි. දුක පදයන්ගේ පූර්‍වයෙහි තිකපද යෙදූ මූලපදයන්ගේ වශයෙන් දේශිත පට්ඨානය තිකදුකපට්ඨාන නමි. තික පද තිකපදයන් හා යෙදූ මූලපද ඇති පට්ඨානය තිකතික පට්ඨානය නමි. දුකපද දුකපදයන් හා යෙදූ මූලපද ඇති පට්ඨානය දුකදුක පට්ඨාන නමි. මේ පට්ඨාන සය දේශනය කර තිබෙන්නේ ඉහත කී මහා නය සතරෙනි.

එ බැවින් අනුලෝම තික පට්ඨානය ය, අනුලෝම දුකපට්ඨානය ය, අනුලෝම දුකතිකපට්ඨානය ය, අනුලෝම තිකදුකපට්ඨානය ය, අනුලෝම තිකතිකපට්ඨානය ය, අනුලෝම දුකදුකපට්ඨානය යි අනුලෝම නයයෙහි පට්ඨාන සයෙකි. පච්චනීය නයාදි ඉතිරි නයත්‍රයාගේ වශයෙන් ද පට්ඨාන සය බැගින් වේ. සියල්ල පිඬු කළ කල්හි නය සතර ගේ වශයෙන් පට්ඨාන සූවිස්සක් වේ.

සූවිසි පට්ඨානයන් අතුරෙන් “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝම තිකපට්ඨානය ය.

“හෙතුං ධම්මං පටිච්ච හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝම දුක පට්ඨානය ය.

“හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝම දුකතිකපට්ඨානය ය.

“කුසලං හෙතුං ධම්මං පටිච්ච කුසලො හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් තිකදුක මිශ්‍රණයෙන් දේශිත පට්ඨානය අනුලෝම තිකදුකපට්ඨානය ය.

“කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච කුසලො සුඛාය වේදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිය පට්ඨානය අනුලෝම තික තික පට්ඨානය ය.

“හෙතුං සහෙතුකං ධම්මං පටිච්ච හෙතු සහෙතුකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝම දුකදුකපට්ඨානය ය.

“න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් නකාරයුක්ත කොට දේශිත පට්ඨානය පච්චනීය තිකපට්ඨානය ය.

“න හෙතුං ධම්මං පටිච්ච න හෙතු ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීය දුකපට්ඨානය ය.

“න හෙතුං න කුසලං ධම්මං පටිච්ච න හෙතු න කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීය දුකතිකපට්ඨානය ය.

“න කුසලං න හෙතුං ධම්මං පටිච්ච න කුසලො න හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීය තිකදුකපට්ඨානය ය.

“න කුසලං න සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච න කුසලො න සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීය තිකතිකපට්ඨානය ය.

“න හෙතුං න සහෙතුකං ධම්මං පටිච්ච න හෙතු න සහෙතුකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීය දුකදුක පට්ඨානය ය.

“කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝමපච්චනීය තිකපට්ඨානය ය.

“හෙතුං ධම්මං පටිච්ච න හෙතු ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝම පච්චනීය දුක පට්ඨානය ය.

“හෙතුං කුසලං ධම්මං පටිච්ච න හෙතු න කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝම පච්චනීය දුකතිකපට්ඨාන ය.

“කුසලං හෙතුං ධම්මං පටිච්ච න කුසලො න හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා.” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝම පච්චනීය තිකදුක පට්ඨානය ය.

“කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච න කුසලො න සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝමපච්චනීය තිකතික පට්ඨානය ය.

“හෙතු සහෙතුකං ධම්මං පටිච්ච න හෙතු න සහෙතුකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය අනුලෝමපච්චනීය දුකදුක පට්ඨානය ය.

“න කුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීයානුලෝමදුකපට්ඨානයය.

“න හෙතුං ධම්මං පටිච්ච හෙතු ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීයානුලෝම තික පට්ඨානය ය.

“න හෙතුං න කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීයානුලෝම දුකතික පට්ඨාන ය.

“න කුසලං න හෙතු ධම්මං පටිච්ච අකුසලො හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීයානුලෝම තිකදුක පට්ඨානය ය.

“න කුසලං න සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච අකුසලො සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීයානුලෝම තිකතික පට්ඨානය ය.

“න හෙතුං න සහෙතුකං ධම්මං පටිච්ච හෙතු සහෙතුකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශිත පට්ඨානය පච්චනීයානුලෝම දුකදුක පට්ඨානය ය.

මේ ප්‍රකරණයෙහි පච්චය නිද්දෙසයට අනතුරුව ඇති කොටසට පණ්ණත්තිවාරය යි කියනු ලැබේ. එහි ඇත්තේ ප්‍රශ්න පමණෙකි. මෙ පමණ කෝටිගණනක් ය ප්‍රකෝටිගණනක් ය. කියා එහි ඇති ප්‍රශ්න ගණන පිරිසිඳ නො දැක්විය හැකි ය. එය පිරිසිඳ දැක්වීමට ලෝකයෙහි ව්‍යවහාරයට පැමිණ ඇති සඞ්ඛ්‍යා ප්‍රමාණ නො වන්නේ ය, සඞ්ඛ්‍යා ඇතිවාට වඩා එහි ප්‍රශ්න ඇත්තේ ය. පෙය්‍යාලක්‍රමයෙන් පිටු සත අටකින් ඒ පණ්ණත්තිවාරය පුස්තකාරූඪකර තිබේ. සම්පූර්‍ණ කර ලියුවහොත් එය ම පිටු දහස්ගණනක පොතක් විය හැකි ය. ඉන් ඔබ්බෙහි ඇති පට්ඨානපාලිය ඒ ප්‍රශ්නවලට පිළිතුරුය.

සූවිසි පට්ඨානයන් ගෙන් පළමු වැන්න වූ අනුලෝම තිකපට්ඨානය කුසලත්තික පට්ඨානාදි වසයෙන් දෙවිසි වැදෑරුම් වේ. ඒ දෙවිසි පට්ඨානයන්ගෙන් වාචනාමාර්‍ගය තරමක් දුරට සම්පූර්‍ණකර පොත්වල ලියා ඇත්තේ කුසලත්තික පට්ඨානය පමණෙකි. එහි පටිච්ච වාරය ය, සහජාත වාරය ය, පච්චයවාරය ය, නිස්සය වාරය ය, සංසට්ඨ වාරය ය, සම්පයුත්තවාරය ය, පඤ්හා වාරය යයි වාර සතක් ඇත්තේ ය. එහි “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් පටිච්ච යන වචනයෙන් යුක්ත කොට දේශිත වාරය පටිච්චවාර නමි. සහජාතාදි වචන යුක්ත කොට දේශිත වාර පස සහජාතාදි වාරයෝ ය. පණ්ණත්ති වාරයෙහි එක්වුණු ප්‍රශ්නයන් වඩා විස්තර වශයෙන් විසඳා ඇති අවසාන වාරය පඤ්හා වාර නම් වේ.

ඉහත කී අනුලෝමාදි නය සතර ධර්‍මපද විෂයෙහි මෙන් ම ප්‍රත්‍යය පද විෂයෙහි ද යෙදෙන්නේ ය, එබැවින් මේ අනුලෝම කුසලත්තික පට්ඨානයෙහි ප්‍රත්‍යය පදයන් ගේ වශයෙන් පච්චයානුලෝම වාරය ය, පච්චය පච්චනීය වාරය ය, පච්චයානුලෝම පච්චනීය වාරය ය, පච්චය පච්චනීයානුලෝම වාරය ය යි වාර සතරක් ඇත්තේ ය. “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදීන් දේශනය කරන ලද වාරය පච්චයානුලෝම වාරයය, අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා යනාදීන් ප්‍රත්‍යය පදය නකාරයෙන් යුක්ත කොට දේශිත වාරය පච්චය පච්චනීය වාරය ය. හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච යනාදීන් පශ්චිම පදය නකාරයෙන් යුක්තකොට දේශිත වාරය පච්චයානුලෝම පච්චනීය වාරය ය. “න හෙතුපච්චයා ආරම්මණෙ ද්වෙ” යනාදීන් පූර්‍වපදය නකාරයෙන් යුක්ත කොට දේශිත වාරය පච්චය පච්චනීයානුලෝම වාරය ය.

කුසලත්තික පට්ඨානයේ පළමු වන කොටස වූ පච්චයානුලෝම වාරයෙහි ද ඒකක වාරය දුකාදිවාරය යි වාර දෙකක් ඇත්තේය. “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනාදින් එක් එක් ප්‍රත්‍යයක්හු ගේ වශයෙන් දේශිත වාරය ඒකක වාරය ය. පොත්වල පාලිය සම්පූර්‍ණ වශයෙන් දක්වා ඇත්තේ ඒ ඒකක වාරයේ පමණෙකි. එයට විභඞ්ගවාරාදිය යි ද කියනු ලැබේ. “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා ආරම්මණපච්චයා” යනාදීන් දෙකේ පටන් තෙවිස්ස දක්වා ප්‍රත්‍යයෙන් ගෙන දේශනය කළ යුතු වාරය දුකාදි වාරය ය. එය ඉතා දීර්‍ඝ බැවින් විස්තර වශයෙන් නො දක්වා “හෙතුපච්චයා ආරම්මණෙ තීණි, අධිපතියා නව” යනාදීන් ඒ ඒ ආකාරයෙන් දේශනය කරන කල්හි ලැබෙන විභඞ්ගවල (වාක්‍යවල) ගණන පමණක් දැක්වීම් වශයෙන් කෙටි කර තිබේ. සඞ්ඛ්‍යා පමණක් දක්වන්නා වූ ඒ කොටසට සඞ්ඛ්‍යාවාරයයි කියනු ලැබේ.

හෙතුපච්චය දුකාදි වාරය ආරම්මණ පච්චය දුකාදි වාරය යනාදීන් දුකාදි වාර තෙවිස්සක් ඇත්තේ ය. එක් එක් දුකාදි වාරයක ද දුකවාර තිකවාරාදි වශයෙන් වාර තෙවිස්ස බැගින් ඇත්තේ ය. ඒ එක් එක් වාරයක ද ඉතිරි ප්‍රත්‍යයන්ගේ වශයෙන් බොහෝ වාර ඇත්තේය. විභඞ්ග උදුරා ඒ සියල්ල සම්පූර්‍ණ කොට පත්වල ලියුව හොත් කුසලත්තිකයේ පච්චයානුලෝම වාරය ම පිටු සිය ගණනක පොතක් වේ. මේ කුසලත්තික පට්ඨානයේ වාර සතර ම පත්වල ලියුව හොත් පිටු දහස් ගණනක පොතක් වේ. මේ කුසලත්තික පට්ඨානය අනුලෝම තිකපට්ඨානයෙන් දෙවිස්සෙන් පංගුවකි. සම්පූර්ණ අනුලෝම තිකපට්ඨානය පත්වල ලියුව හොත් කොතෙක් විශාල පත් ගොඩක් වේද යන බව කියවන්නවුන් විසින් සිතා ගතයුතු ය. අනුලෝම තිකපට්ඨානය සූවිසි පට්ඨානයන්ගෙන් කුඩා ම පට්ඨානය ය. එය ඉතිරි පට්ඨාන තෙවිස්සෙන් දහසෙන් පංගුවක් පමණවත් වෙතැ යි නොසිතමි. සම්පූර්‍ණ ප්‍රස්ථාන ප්‍රකරණයාගේ ප්‍රමාණය දැක්වීම දුෂ්කරය. එය ලෝකයේ අතිවිශාල ග්‍රන්ථය බව පමණක් කිය හැකිය.