ත්‍රිරාශිය

star_outline

(1) හෙතු පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න, ප්‍රත්‍යනීක වශයෙන් ත්‍රිවිධ වෙති. එයින් ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු ධර්‍මයෝ සදෙන හේතු ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

සහේතුක සිත් එක් සැත්තෑව ය. මෝහ මූල චිත්තද්වයයෙහි මෝහ වර්ජිත චෛතසික දෙපනස ය, සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

අහේතුක සිත් අටළොස ය, ඡන්‍දවර්ජිත අන්‍යසමාන චෛතසික දොළොස ය, මෝහමූල චිත්තද්වයෙහි මෝහය ය, අහේතුක චිත්තජ රූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මේ ධර්‍මයෝ හේතු ප්‍රත්‍යයයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(2) ආරම්මණ පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවැදෑරුම් වෙති. එයින් වර්‍තමාන වූ ද අතීත වූ ද අනාගත වූ ද එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, අටවිසි රූපය ය, කාලමුක්ත වූ නිර්‍වාණය හා ප්‍රඥප්තිය ය යන මොවුහු ආරම්මණ ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය. එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන මොවුහු ආරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු ආරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(3) අධිපති පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි අධිපති ප්‍රත්‍යය ආරම්මණාධිපති ප්‍රත්‍යය ය, සහජාතාධිපති ප්‍රත්‍යය යි දෙවැදෑරුම් වේ. එයින් ආරම්මණාධිපති ප්‍රත්‍යයේ ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවැදෑරුම් වෙති. එයින් ගරු කළ යුතු වූ වර්‍තමාන වූ ද අතීත වූ ද අනාගත වූ ද ඉෂ්ට නිෂ්පන්න රූප අටළොස ය, ද්වෙෂමූල මෝහමූල දුඃඛසහගත කාය විඥාන වර්ජිත සිත් සූ අසුවය, ද්වෙෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික සත්සාළිස ය, කාලමුක්ත වූ නිර්‍වාණය ය යන ෂඩාරම්මණ ධර්‍මයෝ ආරම්මණාධිපති ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ගරු කළ යුතු ධර්‍මයන් ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අට ය, මහා කුසල් සිත් අට ය, මහාක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය, ලෝකෝත්තර සිත් අටය, ද්වෙෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා අප්‍රමාණ්‍යවර්ජිත චෛතසික පන්සාලිස ය යන මොවුහු ආරම්මණාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

යම් කිසි ධර්‍මයක් ගරු කොට අරමුණු නො කරන අවස්ථාවෙහි වූ ද කිසි ධර්‍මයක් ගරු කොට අරමුණු නො කරන්නා වූ ද ලෞකික සිත් එක් අසූව ය, චෛතසික දෙපනසය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු ආරම්මණාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයෝ ය.

සහජාතාධිපති ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවැදෑරුම් වෙති. එයින් තම තමන් අධිපති වන අවස්ථාවෙහි මෝහමූල හසිතෝත්පාද වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයන්හි ඇත්තා වූ ඡන්‍ද ය, වීර්‍ය්‍ය ය, වීමංසය ය, සාධිපති ජවන දෙපනස ය යන මේ ධර්‍මයෝ සහජාතාධිපති ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

තම තමා අධිපති වන අවස්ථාවෙහි අධිපති වන ධර්‍මය හැර දෙපනස් සාධිපති ජවනයෝ ය, විචිකිත්සා වර්ජිත එක්පනස් චෛතසිකයෝ ය, සාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු සහජාතාධිපති ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

සහජාතාධිපති ප්‍රත්‍යය නො ලබන්නා වූ ද, නො ලබන අවස්ථාවෙහි වූ ද කාම සිත් සිව්පනසය, මහද්ගත විපාක නවය ය, චෛතසික දෙපනස ය, ඒ ඒ අවස්ථාවෙහි අධිපති වන ධර්‍මයෝ ය, නිරාධිපති චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු සහජාතාධිපති ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(4) අනන්තර පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවැදෑරුම් වෙති. එයින් අරහන්තච්‍යුති වර්ජිත වූ පූර්‍ව පූර්‍ව වූ එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන මොවුහු අනන්තර ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම වූ එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනස ය යන මොවුහු අනන්තර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

අර්‍හන්තච්‍යුතිය සහිත වූ එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනස ය යන මොවුහු අනන්තර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු අනන්තර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(5) සමනන්තර ප්‍රත්‍යය අනන්තර ප්‍රත්‍යය මෙනි.

(6) සහජාත පච්චයො යන ප්‍රත්‍යයොද්දෙශයෙහි ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් දෙවැදෑරුම් වෙති. එයින් ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන සියලු එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ බාහිර ආහාරජ සෘතුජ අසංඥ සත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයන්ට අයත් වූ සකල මහා භූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හෘදය වස්තුව ය, හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු සහජාත ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සියලු එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූප හා ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සකල මහා භූතයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන උපාදාය රූපයෝ ය, හෘදයවස්තුවෙන් ප්‍රත්‍යය ලබන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය යන මොවුහු සහජාත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

(7) අඤ්ඤමඤ්ඤ පච්චයො යන ප්‍රත්‍යයොද්දෙශයෙහි ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවැදෑරුම් වෙති. එයින් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සියලු එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ බාහිර ආහාරජ සෘතුජ අසංඥ සත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයන්ට අයත් සකල මහා භූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හෘදයවස්තුව ය යන මොවුහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහිර ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයන්ට අයත් වූ සකල මහා භූතයෝ ය හෘදයවස්තුවෙන් ප්‍රත්‍යය ලබන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුව ය යන මොවුහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

නාමස්කන්‍ධ සතරෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ රූපයෝ ය. හෘදය වස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහිර ආහාරජ සෘතුජ අසංඥ සත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයන්ට අයත් වූ සකල උපාදාය රූපයෝ ය යන මොවුහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(8) නිස්සය පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි නිඃශ්‍රය ප්‍රත්‍යය සහජාත නිඃශ්‍රය, වස්තු පුරේජාත නිඃශ්‍රය, වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ස්වරූපයෝ සහජාත ප්‍රත්‍යයෙහි මෙන් දත යුත්තාහු ය.

වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් ප්‍රවෘත්ති කාලයෙහි ෂට්වස්තූහු වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය. නොහොත් ප්‍රවෘත්තිකාලයෙහි මන්‍දායුෂ්ක අමන්‍දායුෂ්ක මධ්‍යමායුෂ්ක යන තෙවැදෑරුම් චක්‍ෂුඃප්‍රසාද රූපයන් අතුරෙන් ප්‍රථම අතීත භවාඞ්ග චිත්තය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුර් වස්තුව ය, -පෙ- මධ්‍යමායුෂ්ක ශ්‍රෝත වස්තුව ය, -පෙ- මධ්‍යමායුෂ්ක ඝ්‍රාණ වස්තුවය, -පෙ- මධ්‍යමායුෂ්ක ජිහ්වා වස්තුව ය, මධ්‍යමායුෂ්ක කාය වස්තුවය, ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව ය, නිරෝධසමාපත්තියෙන් නැඟී සිටිනා අවස්ථාවෙහි පූර්‍වයෙහි එක් චිත්තක්‍ෂණය කාලයේ උපදනා හෘදයවස්තුවය, මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හෘදයවස්තුව ය යන මොවුහු වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ප්‍රවෘත්තිකාලයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූප විපාක වර්ජිත විඥානධාතු සතය චෛතසික දෙපනස ය යන මොවුහු වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

චතුවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය, මෝහමූල සිත් දෙක ය, මනෝද්වාරා වර්‍ජනය ය, මහාකුශල සිත් අට ය, මහා ක්‍රියා සිත් අට ය, අරූපාවචර සිත් දොළස ය, සෝවාන් මාර්‍ග වර්ජිත ලෝකෝත්තර සිත් සත ය, ද්වෙෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික සසාළිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා චෛතසික පන්තිස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයෝ ය.

වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් මරණාසන්න කාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හෘදයවස්තුව වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වේ. මරණාසන්න කාලයෙහි උපදනා වූ මනෝද්වාරා වර්‍ජනය ය, කාමජවන එකුන්තිස ය, තදාරම්මණ එකොළොස ය, අභිඥා දෙසිත ය, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික සිව්සාළිස ය යන මොවුහු වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය නො ලබන්නා වූ එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(9) උපනිස්සය පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි උපනිඃශ්‍රය ප්‍රත්‍යය ආරම්මණොපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝප නිඃශ්‍රය වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් ආරම්මණෝප නිඃශ්‍රය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය ආරම්මණාධිපතියෙහි මෙනි. අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය අනන්තර ප්‍රත්‍යයෙහි මෙනි.

ප්‍රකෘතෝප නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් බලවත් වූ එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය, රූප අට විස්ස ය, ඇතැම් ප්‍රඥප්තීහු ය යන මොවුහු ප්‍රකෘතෝප නිඃශ්‍රය ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි වශයෙන් එකල එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන මොවුහු ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු ප්‍රකෘතෝප නිඃශ්‍රය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(10) පුරෙජාත පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි පුරේජාත ප්‍රත්‍යය වස්තු පුරේජාත, වස්ත්‍වාරම්මණ පුරේජාත, ආරම්මණ පුරේජාත වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් වස්තුපුරේජාත ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන් ද වස්ත්‍වාරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන් ද දතයුත්තාහු ය.

ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයේ ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් වර්‍තමාන නිෂ්පන්න රූපයෝ අටළොස්දෙන ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කාමසිත් සිවුපනස ය, අභිඥාචිත්තද්වය ය, අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික පනස ය යන මොවුහු ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ ද්විපඤ්ච විඥානයන් ගෙන් හා මනෝධාතු ත්‍රිකයෙන් අන්‍ය වූ සිත් සසැත්තෑවය, චෛතසික දෙපනසය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයේා ය යන මොවුහු ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(11) පච්ඡාජාත පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් අරූප විපාක වර්ජිත ප්‍රථම භවඞ්ගාදි පශ්චිම පශ්චිම වූ සිත් පස් අසූව ය, චෛතසික දෙපනසය යන මොවුහු පශ්චාජාත ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපද රූපස්ථිතියට පැමිණියා වූ ඒකජකාය ය, ද්විජකාය ය, තිජකාය ය, චතුජකාය ය යන මොවුහු පශ්චාජාත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, පශ්චිම පශ්චිම චිත්තයන් හා උපදනා චිත්තජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු පශ්චාජාත ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීකයෝ ය.

(12) ආසෙවන පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් මාර්‍ගජවන ඵලජවන වර්ජිත පූර්‍ව පූර්‍ව වූ ලෞකික ජවනයෝ සත්සාළිස් දෙනය, චෛතසික දෙපනසය යන මොවුහු ආසේවන ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ප්‍රථම ජවන ඵලජවන වර්ජිත පශ්චිම පශ්චිම ජවනයෝ එක්පනස් දෙන ය, චෛතසික දෙපනසය යන මොවුහු ආසේවන ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

ප්‍රථමජවන වශයෙන් උපදනා එකුන්තිස් කාම ජවනයෝ ය, ආවර්ජනද්වය ය, විපාක සිත් සතිස ය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු ආසෙවන ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(13) කම්ම පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි කර්‍මප්‍රත්‍යය සහජාත කර්‍මප්‍රත්‍ය ය, නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යය වශයෙන් දෙවැදෑරුම් වේ.

එයින් සහජාත කර්‍ම ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් එකුන් අනූ චිත්තයෙහි ඇති චේතනා එකුන් අනූව සහජාත කර්‍ම ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

එකුන් අනූ චිත්තය ය, චේතනා වර්ජිත චෛතසික එක් පනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු සහජාත කර්‍ම ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

එකුන් අනූ චිත්තයෙහි ඇති චේතනා එකුන් අනූවය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු සහජාත කර්‍ම ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයෝ ය.

නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් අතීත වූ කුශලාකුශල චේතනාවෝ තෙතිස් දෙන නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූප යෝ ය යන මොවුහු නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

කුසල් සිත් එක්විස්ස ය, අකුසල් සිත් දොළොස ය, ක්‍රියා සිත් විස්සය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය යන මොවුහු නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(14) විපාක පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අට තිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ විපාක ප්‍රත්‍ය ය වන ධර්‍මයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ විඥප්තිරූප වර්ජිත චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු විපාක ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

කුසල් සිත් එක් විස්ස ය, අකුසල් සිත් දොළොස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික දෙපනස ය යන නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය. බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු විපාක ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(15) ආහාර පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි ආහාර ප්‍රත්‍යය රූපාහාර ප්‍රත්‍යය ය, නාමාහාර ප්‍රත්‍යය ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් රූපාහාර ප්‍රත්‍යයේ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් කබලිංකාරාහාරය යි කියනු ලබන ආහාරපානයන්හි ඇත්තා වූ බාහිර ඕජාව රූපාහාර ප්‍රත්‍යය ය.

ආහාර සමුට්ඨානික රූපයෝ රූපාහාර ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු රූපාහාර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

තවත් ක්‍රමයකින් මෙසේ ය. ආධ්‍යාත්ම සන්තානයෙහි වූ චතුසමුට්ඨානික ඕජාව ය, බාහිර සෘතුජ ඕජාව ය යන මොවුහු රූපාහාර ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය. ප්‍රත්‍යය වන ඕජාවෙන් අන්‍ය වූ චතුසමුට්ඨානික රූපයෝ රූපහාර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, බාහිර රූපයෝ ය යන මොවුහු රූපාහාර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

නාමාහාර ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් ස්පර්‍ශ චේතනා විඥාන යන නාමාහාරයෝ තිදෙන නාමාහාර ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු නාමාහාර ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු නාමාහාර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(16) ඉන්‍ද්‍රිය පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය සහජාතින්‍ද්‍රිය, පුරේජාතින්‍ද්‍රිය, රූපජීවිතීන්‍ද්‍රිය වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් ජීවිතින්‍ද්‍රිය ය, චිත්තය ය, වේදනාව ය, ශ්‍රද්ධාව ය, වීර්‍ය්‍යය ය, ස්මෘතිය ය, ඒකාග්‍රතාවය ය, ප්‍රඥාව ය යන නාමේන්‍ද්‍රිය ධර්‍මයෝ අටදෙන සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් මන්‍දායුෂ්ක අමන්‍දායුෂ්ක මධ්‍යමායුෂ්ක යන තෙවැදෑරුම් චක්‍ෂුඃප්‍රසාදයන් අතුරෙන් පළමුවන අතීත භවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තුව ය, -පෙ- ශ්‍රොත්‍ර වස්තුව ය, -පෙ- ඝ්‍රාණ වස්තුව ය, -පෙ- ජිහ්වා වස්තුව ය, -පෙ- කාය වස්තුවය යන මොවුහු පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ද්විපඤ්චවිඥාන දශය ය, සර්‍ව චිත්තසාධාරණ චෛතසික සතය යන මොවුහු පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

ද්විපඤ්චවිඥාන වර්ජිත එකුන් අසූ චිත්තය ය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

රූපජීවිතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි වශයෙන් සකල රූපජීවිතින්‍ද්‍රියයෝ රූපජීවිතින්‍ද්‍රිය ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

රූපජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය වූ කර්‍මජ කලාප ගත රූපයෝ රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයනට අයත් වූ ජීවිතින්‍ද්‍රිය රූපයෝ ය යන මොවුහු රූපජීවිතින්‍ද්‍රිය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(17) ඣානපච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් ද්විපඤ්චවිඥානයෙන් අන්‍ය වූ එකුන් අසූ චිත්තයෙහි ඇත්තා වූ විතර්‍ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත ධ්‍යානාඞ්ග ධර්‍මයෝ ධ්‍යාන ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ද්විපඤ්චවිඥානයෙන් අන්‍ය වූ සිත් එකුන් අසූව ය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු ධ්‍යාන ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

ද්විපඤ්චවිඥාන දශය ය, සර්‍ව චිත්තසාධාරණ චෛතසික සතය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජරූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු ධ්‍යාන ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(18) මග්ගපච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් සහේතුක සිත් එක් සැත්තෑවෙහි ඇත්තා වූ ප්‍රඥා විතර්‍ක සම්‍යක් වචන සම්‍යක් කර්‍මාන්ත සම්‍යගාජීව වීර්‍ය්‍ය ස්මෘති ඒකාග්‍රතා දෘෂ්ටි සඞ්ඛ්‍යාත මාර්‍ගාඞ්ග ධර්‍මයෝ නවදෙන මාර්‍ග ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

සහේතුක සිත් එක් සැත්තෑව ය, චෛතසික දෙපනස ය, සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු මාර්‍ගප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

අහේතුක සිත් අටළොස ය, ඡන්‍දවර්ජිත අන්‍ය සමාන චෛතසික දොළොස ය, අහේතුක චිත්තජ රූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූප ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු මාර්‍ග ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(19) සම්පයුත්ත පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් ඔවුනොවුන්ට ප්‍රත්‍යය ය වන එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

(20) විප්පයුත්ත පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි විප්‍රයුක්ත ප්‍රත්‍යය සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍ය ය, වස්තු පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ය, වස්ත්‍වාරම්මණ පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍ය ය, පශ්චාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍ය ය යන මොවුන්ගේ වශයෙන් සිව්වැදෑරුම් වේ.

එයින් සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෙහි -පෙ- තෙවැදෑරුම් වෙති. එයින් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත පන්සැත්තෑ චිත්තය ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හෘදය වස්තුව ය, හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය වන ධර්‍මයෝ ය.

චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් ප්‍රත්‍යය ලබන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන‍්දයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුව ය යන මොවුහු සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

චතුවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය, මෝහමූලද්වය ය, මනෝද්වාරාවර්‍ජනය ය, මහාකුසල් සිත් අට ය, මහාක්‍රියා සිත් අට ය, අරූපාවචර සිත් දොළොස ය, ශ්‍රෝතාපත්ති මාර්‍ග චිත්තයෙන් අන්‍ය වූ ලෝකෝත්තර සිත් සත ය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික සසාළිස ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යනීකයෝ ය.

වස්තුපුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයේ ස්වරූපයෝ වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන් ද, වස්ත්‍වාරම්මණ පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයේ ස්වරූපයෝ වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන්ද, පශ්වාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයේ ස්වරූපයෝ පශ්වාජ්ජාත ප්‍රත්‍යයෙහි මෙන් ද දතයුත්තාහු ය.

(21) අත්‍ථි පච්චයො යන ප්‍රත්‍යයෝද්දෙශයෙහි අස්ති ප්‍රත්‍යය සහජාතාස්තිප්‍රත්‍යය ය, වස්තු පුරේජාතාස්ති ප්‍රත්‍යය ය, වස්ත්‍වාරම්මණ පුරේජාතාස්ති ප්‍රත්‍යය ය, ආරම්මණ පුරේජාතාස්ති ප්‍රත්‍යය ය, පශ්චාජ්ජාතාස්ති ප්‍රත්‍යය ය, ආහාරාස්ති ප්‍රත්‍යය ය, ඉන්‍ද්‍රියාස්ති ප්‍රත්‍යය ය යන මොවුන්ගේ වශයෙන් සත්වැදෑරුම් වේ.

එහි සහජාතාස්ති ප්‍රත්‍යයේ ස්වරූපයේ සහජාත ප්‍රත්‍යයෙහි මෙන් ද වස්තු පුරේජාතාස්ති ප්‍රත්‍යයේ ස්වරූපයෝ වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන් ද, වස්ත්‍වාරම්මණ පුරේජාතාස්ති ප්‍රත්‍යයේ ස්වරූපයෝ වස්ත්‍වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන් ද, ආරම්මණ පුරේජාතාස්ති ප්‍රත්‍යයේ ස්වරූපයෝ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි මෙන් ද, පශ්චාජ්ජාතාස්ති ප්‍රත්‍යයේ ස්වරූපයෝ පශ්වජ්ජාත ප්‍රත්‍යයෙහි මෙන් ද, ආහාරස්ති ප්‍රත්‍යයේ ස්වරූපයෝ රූපාහාර ප්‍රත්‍යයෙහි මෙන් ද, ඉන්‍ද්‍රියාස්ති ප්‍රත්‍යයේ ස්වරූපයෝ රූපජීවිතීන්‍ද්‍රියාස්ති ප්‍රත්‍යයෙහි මෙන් ද දතයුත්තාහු ය.

(22) (23) නාස්ති, විගත ප්‍රත්‍යය දෙක්හි ස්වරූපයෝ අනන්තර ප්‍රත්‍යයෙහි මෙන් දත යුත්තාහුය.

(24) අවිගත ප්‍රත්‍යය යෙහි ස්වරූපයෝ අස්තිප්‍රත්‍යයෙහි මෙන් දත යුත්තාහ.

ප්‍රස්ථාන ත්‍රිරාශිය නිමියේ ය.