අනන්තර සමනන්තර ප්‍රත්‍යය දෙක ආචාර්‍ය්‍ය මත භේද ඇති ප්‍රත්‍ය දෙකකි. අනන්තර ප්‍රත්‍යය වන්නේ ද සමනන්තර ප්‍රත්‍යය වන්නේ ද පූර්‍ව පූර්‍ව චිත්තය ම ය. එය ගැන මතභේදයක් නැත්තේ ය. මතභේද ඇත්තේ ප්‍රත්‍යය වන ආකාරය පිළිබඳව ය. උපන් සිත සැනෙකින් බිඳෙන්නේ ය. කොතෙක් සිත් බිඳී ගියත් බිඳී යන පූර්‍ව පූර්‍ව චිත්තයන් හා සම්බන්‍ධ ව ඒ පරම්පරාවට අයත් ව නැවත නැවත සිත් ඉපදීම සිදු වන නිසා සත්ත්‍වයා ගේ පැවැත්ම වේ. ආවර්‍ජනචක්‍ෂුර්විඥාන සම්ප්‍රත්‍යේෂණ ව්‍යවස්ථාපන ජවන තදාරම්මණාදි වශයෙන් සිත් උපදනා ක්‍රමයක් ඇත්තේ ය. ඒ ක්‍රමය අනුව නිරුද්ධ වී යන චිත්තයන්ට අනතුරුව නැවත නැවත නොනැවතී සිත් ඉපදීම වන්නේ පූර්‍ව පූර්‍ව චිත්තය නිසා ය. චක්‍ෂුර්ද්වාරවීථියෙහි ජවනය උපදිනුයේ එයට කලින් ව්‍යවස්ථාපන චිත්තය උපන් නිසා ය. නො එසේ නම් ජවනයක් නූපදනේ ය. ව්‍යවස්ථාපන චිත්තය උපදනේ එයට කලින් සන්තීරණ චිත්තය උපන් නිසා ය. සන්තීරණය නූපන්නේ නම් ව්‍යවස්ථාපනය නූපදනේ ය. සන්තීරණ චිත්තය උපදිනුයේ ද සම්ප්‍රත්‍යේෂණ චිත්තය උපන් නිසා ය. සම්ප්‍රත්‍යේෂණ චිත්තය උපදිනුයේ ද චක්‍ෂුර්විඥානය උපන් නිසා ය. චක්‍ෂුර් විඥානය උපදිනුයේ ද ආවර්‍ජන චිත්තය උපන් නිසා ය. ආවර්‍ජනය උපදිනුයේ ද භවාඞ්ග චිත්තය උපන් නිසා ය. මෙසේ සෑම සිතක් ම පූර්‍ව පූර්‍ව චිත්තය නිසා උපදිති. ඒවාට එසේ ක්‍රමානුකූල ව ඉපදීමට ඇත්තා වූ ප්‍රධාන හේතුව පූර්‍ව පූර්‍ව චිත්තය අනන්තර ප්‍රත්‍යය ය. යමක් අනන්තර ප්‍රත්‍යය ද එය ම සමනන්තර ප්‍රත්‍යය ය. වචනවල මිස අර්‍ථ වශයෙන් ඒ දෙක්හි වෙනසක් නැත්තේ ය. කියන ලදුයේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක අටුවාවෙහි විස්තර කර තිබෙන ආකාරය ය.
“යම්කිසි අන්‍ය ධර්‍මයකට අතරට පැමිණෙන්නට අවකාශ නොතබා තමාට අනතුරුව ම උපදනා පරිදි දෙවන චිත්තයට උපකාරවන ධර්‍මය අනන්තර ප්‍රත්‍යය ය. කාලයෙන් අතරක් නො සිටින සැටියට ඉපදීමට දෙවන චිත්තයට උපකාර වන ධර්‍මය සමනන්තර ප්‍රත්‍යය” යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි. එය රේවතාචාර්‍ය්‍යයන් ගේ මතය ය යි විශුද්ධිමාර්‍ග ටීකාවෙහි කියා තිබේ. ඒ වාදය නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නා වූ තැනැත්තාට නිරෝධ සමාපත්තියෙන් නැගිටීමේදී ඇති වන ඵල චිත්තයට නිරෝධ සමාපත්තියෙන් පූර්‍වභාගයෙහි ඇති වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය අනන්තර වශයෙන් ද, සමනන්තර වශයෙන් ද ප්‍රත්‍ය වන බව පට්ඨාන පාලියෙහි වදාරා තිබෙන බව දක්වා අටුවාවෙහි ප්‍රතික්‍ෂේප කර තිබේ.
“චිත්ත පරම්පරාව නො සිඳී යන පරිදි නිරුද්ධ වන චිත්තයට අනතුරු ව තවත් චිත්තයකට ඉපදීමට උපකාරවන ස්වභාවය අනන්තර ප්‍රත්‍යයතාව ය. අන්‍ය චිත්තයන් උපදනා කල්හි ද ප්‍රතිසන්‍ධ්‍යාදි කෘත්‍යස්ථාන පටිපාටිය අවුල් නො වන සැටියට චිත්ත නියමය අනු ව තැනට සුදුසු සිතක් ඉපදීමට උපකාර වන බව සමනන්තර ප්‍රත්‍යතාවය ය” යනු තවත් ආචාර්‍ය්‍ය මතයකි. නිරෝධසමාපත්තියට පූර්‍වයෙහි ඇති වූ අවසාන සිත නිරෝධ සමාපත්තියෙන් නැඟිටීමේ දී කල් ගත වී ඇති වන ඵල චිත්තයට පූර්‍ව චිත්තය අනන්තර සමනන්තර භාවයෙන් ප්‍රත්‍යය වීම දක්වා ඒ වාදය ප්‍රතික්‍ෂේප නො කළ හැකි ය. මේ මත සියල්ලේ ම සැටියට අනන්තර ප්‍රත්‍යය වන්නේ ද සමනන්තර ප්‍රත්‍යය වන්නේ ද පූර්‍ව පූර්‍ව වූ චිත්තය ය. එය ගැන මත භේදයක් නැත්තේ ය. ප්‍රත්‍යයෝත්පන්න වන්නේ ද පශ්චිම පශ්චිම චිත්තය ය. එය ගැන ද මත භේදයක් නැත්තේ ය. අර්‍හන්ත ච්‍යුතියෙන් අන්‍ය වූ සකල චිත්තයෝ ම අනන්තර චිත්තයාගේ වශයෙන් අනන්තර සමනන්තර ප්‍රත්‍යයෝ ද වෙති. අර්‍හන්තච්‍යුතිය ද සහිත වූ සකල චිත්තයෝ ම පූර්‍ව චිත්තයන් ගේ වශයෙන් අනන්තර සමනන්තර ප්‍රත්‍යයෝත්පන්නයෝ ද වෙති. ප්‍රත්‍ය නො වන සිතක් ඇත්තේ අර්‍හන්ත ච්‍යුතිය පමණෙකි. ප්‍රත්‍යයෝත්පන්න භාවයට නොපැමිණෙන සිතක් නැත. පූර්‍ව පූර්‍ව චිත්තය පශ්චිම පශ්චිම චිත්තයට ප්‍රත්‍යය වන අයුරු චිත්තවීථීන් ගේ වශයෙන් කිය යුතු ය. දීර්‍ඝ වන බැවින් මෙහි විස්තර නො කරනු ලැබේ.
එකක් ඉපිද නිරුද්ධවීමෙන් පසු අනෙකක් ඉපදීම් වශයෙන් පවත්නා වූ සත්ත්‍වයාගේ චිත්තසන්තතිය එකම සිතක් සේ දැනෙන්නේ ද දහස් ගණන් සිත්වලින් සිදු කරන කාර්‍ය්‍යයන් එක ම සිතකින් සිදු කරන්නාක් මෙන් කිසිදු අවුලක් නැතිව සිදුවන්නේ ද ඒ සිත් චිත්ත නියාමය අනුව සුදුසු පරිදි දම්වැලක මුදු සේ එකිනෙකට සම්බන්‍ධව උපදනා නිසා ය. මෙය තේරුම් ගත හැකි වීමට චිත්තවීථි පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය. චිත්තවීථි ගැන අවබෝධය නැතියවුන්ට මෙය නොවැටහේ. එසේ ඇති වන්නා ව සිත් අතරට අන්‍ය ධර්‍මයක් පැමිණ ඒවායේ අන්‍යෝන්‍ය සම්බන්‍ධය නැති වුවහොත් අන්‍යෝන්‍ය සම්බන්‍ධයාගේ වශයෙන් ඇත්තා වූ චිත්තයාගේ ඒකත්‍වය නැති වුවහොත් සිත කිසිදු බලයක් නැති කිසිම ක්‍රියාවක් සිදු කිරීමට සමත් නොවන කිසි ම ප්‍රයෝජනයක් නැති දෙයක් වන්නේ ය. අවුලක් නැතිව ඒ ඒ ක්‍රියා සිදු කල හැකි ලෙස චිත්ත සන්තතිය ක්‍රමානුකූල ව ඇති වන්නේ අන් බලයකින් නොව පූර්‍ව පූර්‍ව චිත්තයා ගේ ම බලයෙනි. අහර්‍න්ත ච්‍යුතියෙන් අන්‍ය වූ නිරුද්ධ වන්නා වූ සෑම සිතක් ම තමන් ළඟට ඒ සන්තානයෙහි ඇති වීමට සුදුසු වූම සිත ඇතිවීමට උපකාර වේ. එයින් නිරුද්ධ වන සිතට අනතුරුව තැනට සුදුසු වූ සිත පූර්‍ව චිත්තය නිරුද්ධවන සමගම පූර්‍ව චිත්තයාගේ ස්ථානය ගනිමින් පූර්‍ව චිත්තය හා ඒකත්‍වයට පැමිණෙන්නාක් මෙන් උපදී. අනන්තර ප්‍රත්‍යය යි කියනුයේ ද සමනන්තර ප්‍රත්‍යය යි කියනුයේ ද පසු සිත ඇති වීමට උපකාර වන පසු සිත ඇති කරවන පූර්‍ව චිත්තයට ය.
සත්ත්‍වයා ජීවත් වන කාලයේදී එක් සිතක් නිරුද්ධ වනු සමඟ ම එහි ස්ථානය ගනිමින් අන්තරයක් නැතිවන පරිදි නිරුද්ධ වූ චිත්තය හා ඒකත්‍වයට පැමිණෙන්නාක් මෙන් පසු පසු සිත් උපදනාක් මෙන්ම ච්‍යුතිචිත්තයට අනුව ප්‍රතිසන්‍ධි චිත්තය ද උපදනේය. පරලොවට මෙලොවින් කිසිවක් නො යන්නේ වී නමුත් පරලොව ගිය තැනැත්තේ අනිකකු නො වන්නේ ද මෙලොව කළ කර්‍මවල හිමි බව පරලොව ගිය කල නො නැසෙන්නේ ද ඒ සම්බන්‍ධය නිසා ය. නිරුද්ධ වූ අතීත චිත්තයට පසු ඉපදිය යුතු වූ සිත ඉපදීමට කල්ගත වන්නේ නිරෝධසමාපත්තියට සමවන් අවස්ථාවය, අසංඥ භවයෙහි උපන් අවස්ථාවය යන මේ දෙක්හි පමණෙකි. නිරෝධ සමාපත්තියට සමවදිනා තැනැත්තාගේ අන්තිම චිත්තය වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය නිරෝධ සමාපත්තියෙන් නැගිටිනා අවස්ථාවෙහි ඇති වන පළමුවන චිත්තයට ද දෙවන ජාතියෙහි අසංඥභාවයෙහි උපදනා තැනැත්තා ගේ ච්‍යුති චිත්තය කල්ප පන්සියයකින් පසු අසංඥභවයෙන් ච්‍යුත ව අන් භවයට ඇති වන්නා වූ ප්‍රතිසන්‍ධි චිත්තයට ද අනන්තර වශයෙන් හා සමනන්තර වශයෙන් ද ප්‍රත්‍යය වේ. අභාව මාත්‍රයක් වූ කාලය ඒ සිත්වලට අන්තරයක් වශයෙන් සිටීමට සමත් නො වේ. අභාවය වූ කාලය පූර්‍ව චිත්තයෙහි ඇති තමාට අනතුරුව යෝග්‍ය සිතක් ඉපදවීමේ ශක්තියට බාධා නො කළ හැකි ය. රූප සන්තානය අනෙකකි. අරූප සන්තානය අනෙකකි. එබැවින් නිරෝධයට සමවන් තැනැත්තාගේ රූප හා අසංඥ භවයෙහි උපන්නහුගේ රූපයෝ ද අන්‍ය සන්තානයක් වූ අරූප ධර්‍ම පරම්පරාවෙහි අන්තරයක් ඇති කිරීමට සමත් නො වෙති. එබැවින් කාලයෙන් හෝ රූපයන්ගෙන් අනන්තර සමනන්තර ප්‍රත්‍යය භාවයට බාධාවක් නො වන බව දත යුතු ය.
අන්තරයතී ති අන්තරං, මැද සිට යම්කිසි දෙයක් ඔවුනොවුන් ගෙන් වෙන් කරන දෙය අන්තර නමි. අන්තෙ අරති පවත්තතී ති අන්තරං, අන්ත යන පදය පූර්‍ව කොට ඇති අර ධාතුව කෙරෙන් කර්ත්‍රර්‍ථයෙහි අප්‍රත්‍යය වීඅන්තර යනු සිද්ධයි. වස්තූන් ගේ කෙළවර පවත්නා දෙය අන්තර නම් වේ ය යනු එහි තේරුම ය. නත්‍ථි අන්තරං එතස්සාති අනන්තරො, ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය තමාගෙන් වෙන් කරන්නා වූ දෙයක් මෙයට නැත්තේ නුයි අනන්තර නමි. අනන්තර යනු පූර්‍ව චිත්තය ය. අනන්තරො ච සො පච්චයො චාති අනන්තර පච්චයො, අන්තරං හුත්‍වා පච්චයො අනන්තර පච්චයො යි පෙර පරිද්දෙන් සමාස විග්‍රහ කරනු. ප්‍රත්‍යයෝත්පන්නධර්‍මය තමාගෙන් වෙන් කරන අන්තර් ධර්‍මයක් ඇති නොවන ලෙස උපකාරක ධර්‍මය අනන්තර ප්‍රත්‍යය ය යනු අදහසයි. සුට්ඨු නත්‍ථි අන්තරං එතස්සාති සමනන්තරං, රූප ධර්‍මයන්ට මෙන් අන්තරයක් දැක්වීමට උපකාර වන සටහනක් මේ අරූප ධර්‍මයට නැති නිසා ද ප්‍රත්‍යය නිරුද්ධ වීමෙන් පසු ම ඵලය ඇතිවන නිසා ද හොඳට ම අන්තරයක් මෙයට නැත් නුයි සමනන්තර නමි. පච්චය ශබ්දය හා යෙදීම පෙර සේ ම ය.