අනන්තර සමනන්තර සහජාත විභඞ්ග

star_outline

අනන්තර සමනන්තර විභඞ්ග ආරම්මණ විභඞ්ගය මෙනි. සහජාත විභඞ්ගයෙහි කුසලාකුසල දෙපදයේ වාර සය පටිච්චවාරය අනුව විස්තර කරනු. අබ්‍යාකතපදයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි රූප වාර පටිච්චවාරය මෙනි. “චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං” යනාදි වස්තුරූප වාරයෙහි අතීතභවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තුව පුරේජාත නිඃශ්‍රය කොට උපදනා චක්‍ෂුර්විඥානද්වය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, -පෙ- අතීත භවාඞ්ගය හා උපදනා මධ්‍යමායුෂ්ක කායවස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා කායවිඥානද්වය ය සර්‍වචිත්ත සාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධාදි පූර්‍වපූර්‍ව චිත්තය සමග උපදනා වූ ද මරණාසන්න කාලයෙහි චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥාන වර්ජිත පශ්චිම පශ්චිම වූ විපාක සිත් දෙවිස්ස ය ක්‍රියාසිත් විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. අබ්‍යාකතෙන කුසලය හේතුවිභඞ්ගය මෙනි. අබ්‍යාකතෙන අකුසලය ආරම්මණවිභඞ්ගය මෙනි. අබ්‍යාකතෙන කුසලාබ්‍යාකතය හේතුවිභඞ්ගය මෙනි. අබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතය මෝහමූලයෙහි මෝහය නො හැර හේතුවිභඞ්ගය මෙන් විස්ත රකරනු. අකුසලාබ්‍යාකතයෙහි වාර තුනම මෝහමූලයෙහි මෝහය නො හැර හේතුවිභඞ්ගය සේ විස්තර කරනු. සහජාතවිභඞ්ගවාරය නිමි.