16. ඉන්‍ද්‍රිය මිශ්‍රකයේ සන්නය

star_outline

ආහාර මිශ්‍රකයට අනතුරු ව ඉන්‍ද්‍රිය මිශ්‍රකය වදාළ සේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාග වාරය පළමු කොට වදාළ සේක. ඉන්‍ද්‍රිය මූලක හේතු සභාගය ය, අධිපති සභාගය ය, සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සය සභාගය ය, පුරේජාත සභාගය ය, විපාක සභාගය ය, ආහාර සභාගය ය, ඣාන සභාගය ය, මග්ග සභාගය ය, සම්පයුත්ත සභාගය ය, විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය, අවිගත සභාගය ය යි සභාගවාර තුදුසෙකි.

1. එයින් ඉන්‍ද්‍රිය මූලක අධිපති සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය - “ඉන්‍ද්‍රිය පච්චයා හෙතුයා චත්තාරි”

2. අධිපති සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන චිත්ත විරිය වීමංස යන මොවුන් ගෙන් එක එකක් වූ අධිපති ප්‍රත්‍යය ධර්‍මයෝ - “ඉන්‍ද්‍රිය පච්චයා අධිපතියා සත්ත”

3. සහජාත සභාගයෙහි සකල සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ - “ඉන්‍ද්‍රිය පච්චයා සහජාතෙ සත්ත”

4. අඤ්ඤමඤ්ඤ සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍මයෝ අට දෙන - “ඉන්‍ද්‍රිය පච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”

5. නිස්සය සභාගයෙහි සකල සහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ - “ඉන්‍ද්‍රිය පච්චයා නිස්සයෙ සත්ත”

6. පුරේජාත සභාගයෙහි සකල පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ - “ඉන්‍ද්‍රිය පච්චයා පුරේජාතෙ එකං.”

7. විපාක සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක නාමේන්‍ද්‍රිය ධර්‍මයෝ අට දෙන - “ඉන්‍ද්‍රිය පච්චයා විපාකෙ එකං.”

8. ආහාර සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විඤ්ඤාණාහාරය - “ඉන්‍ද්‍රියා පච්චයා ආහාරෙ සත්ත”

9. ඣානසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකග්ගතා දෙක “ඉන්‍ද්‍රිය පච්චයා ඣානෙ සත්ත”

10. මග්ගසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විරිය සති ඒකග්ගතා පඤ්ඤා යන මොවුහු “ඉන්‍ද්‍රියපච්චයා මග්ගෙ සත්ත”

11. සම්පයුත්තසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍මයෝ “ඉන්‍ද්‍රියපච්චයා සම්පයුත්තෙ තීණි”

12. විප්පයුත්ත සභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය අට වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය හා පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය “ඉන්‍ද්‍රිය පච්චයා විප්පයුත්තෙ තීණි”

13. අත්‍ථිසභාගයෙහි සකල සහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ “ඉන්‍ද්‍රියපච්චයා අත්‍ථියා සත්ත”

14. අවිගත සභාගය ද එසේ ම ය.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline