(2. න ආරම්මණ)

star_outline

නහේතු ප්‍රත්‍යය විභඞ්ගයට අනතුරු ව නාරම්මණ විභඞ්ගය වදාළ සේක. එහි කුශලපද අකුශලපද අබ්‍යාකතපද කුසලාබ්‍යාකතපද අකුසලාබ්‍යාකතපදයන් ගේ වශයෙන් වාර පසක් ඇත්තේ ය. එයින් කුසලපදවාරය පළමු කොට වදාළ සේක. එය අබ්‍යාකතපදාවසාන වාර වශයෙන් එක් වාරයෙකි. වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. “කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න ආරම්මණ පච්චයා, කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” පදාර්‍ථ සුගමය.

“අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අට තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්.

“න ආරම්මණ පච්චයා” යන හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන කුසල් එක් විස්ස ය, චෛතසික අටතිසය යන ප්‍රත්‍යය ධර්‍මයන්හි සුදුසු පරිදි ලැබෙන හේතු, සහජාත, සහජාතාධිපති, සහජාතනිස්සය, සහජාතකම්ම, සහජාතින්‍ද්‍රිය, ඣාන, මග්ග, සහජාත විප්පයුත්ත, සහජාතනත්‍ථි සහජාත අවිගත යන ශක්තීහු ලැබෙත්.

(මෙය සංක්‍ෂේපයෙන් දැක්වීමකි. පච්චයඝටනාව හා පච්චනිද්දේසයේ කරණපාඨයේ හා අනුලෝම විභඞ්ගවාරයේ හේතුපාඨයේ ද අභිධෙය අනුව විස්තර කරනු.)

කුසලපදවාරයට අනතුරු ව අකුසලපද වාරය වදාළ සේක. “අකුසලං -පෙ- චිත්තසමුට්ඨානං රූපං” කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. “න ආරම්මණ පච්චයා” යන හේතුපාඨයෙන් ආරම්මණප්‍රත්‍යයෙන් අන්‍ය වූ හේතු අධිපති සහජාත යන ප්‍රත්‍යයන්ගේ ශක්තීහු ලැබෙත්.

අකුසලපදවාරයට අනතුරු ව අබ්‍යාකතපදවාරය වදාළ සේක. “අබ්‍යාකතං -පෙ- විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තාරූපං උපාදාය රූපං, බාහිරං ආහාර සමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං” පදාර්‍ථ සුගමය.

අභිධෙයාර්‍ථ:

ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාක සිත් දෙවිස්ස ය, චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්.

නාරම්මණපච්චයා යන හේතුපාඨයෙන් ආරම්මණප්‍රත්‍යයෙන් අන්‍ය වූ හේතු සහජාත අධිපති ආදි ශක්තීහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. කරණ පාඨයෙන් සහජාතාදි ශක්තීහු ලැබෙත්. මෙහි අධිපතිය නො ලැබේ.

රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශලවිපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය, ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහා භූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ චිත්තජාදි උපාදායරූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සුදුසු පරිදි ලැබෙන ආරම්මණ ප්‍රත්‍යයෙන් අන්‍ය වූ හේතු සහජාත අධිපතිආදි ශක්තීහු ලැබෙත්.

අබ්‍යාකතපද වාරයට අනතුරු ව කුසලාබ්‍යාකතපද වාරය වදාළ සේක. “කුසලඤ්ච අබ්‍යාකතඤ්ච -පෙ- අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න ආරම්මණ පච්චයා, කුසලෙ ඛන්‍ධෙ ච මහාභූතෙ ච පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක් විස්ස ය, චෙතෙසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්. හේතුපාඨයේ අභිධෙය උක්තානුසාරයෙන් ගන්නේ ය.

කුසලාබ්‍යාකතපද වාරයට අනතුරු ව අකුසලාබ්‍යාකත පද වාරය වදාළ සේක. “අකුසලඤ්ච අබ්‍යාකතඤ්ච ධම්මං පටිච්ච අබ්‍යාකතො -පෙ- අකුසලෙ ඛන්‍ධෙ ච මහාභූතෙ ච පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල්සිත් දොළොස ය, චෙතෙසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. හේතුපදයේ අභිධෙය අවුලනු.