ඝටනාවාරය

star_outline

සභාගවාරයට අනතුරු ව ඝටනාවාරය වදාළ සේක. එහි අධිපති උපනිස්සය ඝටනාව ය, පුරේජාත අත්‍ථි අවිගත ඝටනාව ය, සනිස්සය විප්පයුත්තඝටනාව ය, සාධිපති උපනිස්සය ඝටනාව ය, සාධිපතිඋපනිස්සය විප්පයුත්තඝටනාවය යි ඝටනා පසෙකි.

(1) එහි අධිපති උපනිස්සය ඝටනාව මෙ සේ ය:- ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අට ය, මහාකුසල් අට ය, මහාක්‍රියාඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ටනිෂ්පන්න අටළොස ය, ද්වේෂමූල මෝහමූල දුඃඛසහගතකායවිඥාන වර්ජිත සිත් සූ අසූවය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍යය විචිකිත්සා වර්ජිත චෛතසික සත්සාලිස ය නිර්‍වාණ ය යන ධර්‍මයෝ ආරම්මණ ප්‍රත්‍යය ද අධිපතිප්‍රත්‍යය ද උපනිඃශ්‍රය ප්‍රත්‍යය ද වෙති. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි “ආරම්මණ අධිපති උපනිස්සයන්ති සත්ත” යි වදාරන ලදහ.

(2) පුරේජාත අත්‍ථි අවිගත ඝටනාව මෙ සේ ය:- කාමසිත් සිවුපනසට හා දිබ්බචක්ඛු දිබ්බසෝත අභිඤ්ඤාවන්ට ද ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාතප්‍රත්‍යය ධර්‍මයෝ ආරම්මණය ද පුරේජාතය ද අත්‍ථිය ද අවිගතය ද වෙති. “ආරම්මණ පුරේජාත අත්‍ථි අවිගතන්ති තීණි” පුරේජාතසභාගය අනුව විස්තර කරනු,

(3) සනිස්සය විප්පයුත්තඝටනාව මෙ සේ ය:- මරණාසන්න මනෝද්වාරාවර්ජන ජවන තදාරම්මණයන්ට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය -පෙ- “ආරම්මණ පුරේජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි” නිස්සය සභාගය අනුව විස්තර කරනු.

(4) සාධිපති උපනිස්සය ඝටනාව මෙ සේ ය:- ගරු කොට අරමුණු කරන ලෝභ මූල සිත් අටට ප්‍රත්‍යය වන ඉෂ්ටනිෂ්පන්න රූප අටළොසය -පෙ- “ආරම්මණ අධිපති උපනිස්සය පුරෙජාත අත්‍ථි අවිගතන්ති එකං” අබ්‍යාකතො අකුසලස්ස.

(5) සාධිපති උපනිස්සය විප්පයුත්ත ඝටනාව මෙ සේ ය:- ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණප්‍රත්‍යය -පෙ- “ආරම්මණ අධිපති නිස්සය උපනිස්සය පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” එකං යනු අබ්‍යාකතෙන අබ්‍යාකතය ය. “අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො -පෙ- අවිගතපච්චයෙන පච්චයො, වත්‍ථුං ගරුං කත්‍වා අස්සාදෙති අභිනන්‍දති. තං ගරුං කත්‍වා රාගො උප්පජ්ජති. දිට්ඨි උප්පජ්ජති” යි වීථිවිභඞ්ගයන් උදුළ යුතු ය.

ආරම්මණසභාග සත හා ඝටනා පස නිමි.