ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප භාග්‍යත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සර්‍වඥ පද ප්‍රාප්තව ධර්‍මදූත මෙහෙය සඳහා ප්‍රථම වරට පිටත් කර යවන ලද සැට නමක් වූ මහරහතන් වහන්සේලාගෙන් කෙනෙකු වූ අස්සජි මහරහතන් වහන්සේ විසින් තමන් වහන්සේ වෙත එළඹ තථාගතයන් වහන්සේ දේශනය කරන ධර්‍මය කවරේ දැ යි විචාළ උපතිස්ස නම් වූ පිරිවැජි හට
“යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ,
තෙසඤ්ච යො නිරොධො එවං වාදී මහාසමණො.”
යනුවෙන් හේතුවෙන් හටගන්නා පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත නාම රූප ධර්‍මයන් හට ගැනීමේ හේතූන් හා ඒ හේතුඵල ධර්‍මයන් ගේ නිරෝධය වූ නිවනත් තථාගතයන් වහන්සේ දේශනය කරන්නාහයි වදාරන ලද්දේය. එයින් දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනය කරන ධර්‍මය හේතුඵල ධර්‍මයක් බව ය.
බුදුන් වහන්සේ විසින් හේතුඵල දේශනය කර ඇත්තේ ද එක් ක්‍රමයකින් ම නොව ක්‍රම තුනකිනි. ආර්‍ය්‍යසත්‍යය ක්‍රමය ය, ප්‍රතීත්‍ය සමුත්පාද ක්‍රමය ය, ප්‍රස්ථාන ක්‍රමය ය යන තුන තථාගතයන් වහන්සේගේ හේතුඵල දේශනා ක්‍රම තුනය. තථාගතයන් වහන්සේගේ හේතුඵල දේශනා තුන අතුරෙන් ආර්‍ය්‍යසත්‍ය දේශනය කර තිබෙන්නේ සංසාර ප්‍රවෘත්තියේ හේතුව වශයෙන් තෘෂ්ණා සඞ්ඛ්‍යාත එක් ධර්‍මයක් පමණක් දැක්වීමෙනි. ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයෙහි දැක්වෙන්නේ ද්වාදශාඞ්ගයක් ඇති හේතුඵල පරම්පරාවෙකි. ඒ දේශනා දෙක්හිම තෘෂ්ණාදිය ඵලයට හේතුවන බව පමණ මුත් හේතුවන සැටි දක්වා නැත. තථාගතයන් වහන්සේගේ සර්‍වාඞ්ග සම්පූර්‍ණ අති විස්තර හේතුඵල දේශනය ප්‍රස්ථාන මහා ප්‍රකරණය ය.
දේව මනුෂ්‍ය තිරශ්චීන වෘක්‍ෂ පර්‍වතාදි වශයෙන් ලොව ඇති සකල සජීවාජීව වස්තූන් ම සෑදී ඇති මූල ධාතු සමූහය වූ චිත්ත චෛතසික රූප යන පරමාර්‍ථ ධර්‍ම තුන් කොටස හා නිර්‍වාණ පරමාර්‍ථය ද ප්‍රඥප්තිය ද යන මේ සියල්ල මූලභාව ආරම්මණභාව අධිපති භාවාදි ඵලය උපකාර වන ශක්ති විශේෂයන් ගේ වශයෙන් හේතුප්‍රත්‍යය ආරම්මණප්‍රත්‍යය අධිපතිප්‍රත්‍යය යනාදීන් කොටස් සූවිස්සකට බෙදා නැවත පරමාර්‍ථ ධර්‍මයන් කුශලාකුශල අව්‍යාකෘතාදි වශයෙන් කොටස් සසැටකට හා හේතු නහේතු ආදි වශයෙන් කොටස් දෙසියයකට ද බෙදා කුශලාදි ධර්‍මයන්ට ඒ ඒ ශක්ති විශේෂවලින් ප්‍රත්‍යය වන සැටිත් ප්‍රත්‍යය නොවන සැටිත් දැක්වීම් වශයෙන් ප්‍රස්ථාන ප්‍රකරණය දේශිතය.
මේ ප්‍රකරණය සේ ගැඹුරුවූ ද විශාලවූ ද තවත් ග්‍රන්ථයක් ලෝකයෙහි නැත්තේ ය. මේ ලොව ඇති ග්‍රන්ථරාජයා ය. දැනට සිංහල අකුරෙන් මුද්‍රණය වී ඇති පට්ඨාන මහාපකරණ පාලිය පිටු 1456 කින් යුක්තය. එපමණ පිටු ගණනක පට්ඨාන පකරණය මුද්‍රණය කළ හැකිවී තිබෙන්නේ අගමුල පමණක් දැක්වීම් වශයෙන් ද විස්තර කළ යුතු ක්‍රමය පමණක් වචන ස්වල්පයකින් දැක්වීම් වශයෙන් ද පොත්වල ලිවිය හැකි පරිදි භික්‍ෂූන් විසින් දැරිය හැකි පරිදි කෙටිකර තිබෙන බැවිනි. එසේ කෙටිකර ඇති තැන් සම්පූර්ණ කර ප්‍රස්ථාන ප්‍රකරණය පත්වල ලියතහොත් එයට කඩදාසි පිටු කෝටියක් වුව ද ප්‍රමාණ නොවේ.
අනන්ත නය ඇත්තා වූ මේ ප්‍රකරණය නය සාගරයෙකි. මහාගතිම්බය තිස්සදත්ත තෙරුන් වහන්සේ මහබෝ විඳිනු පිණිස නැවකින් දඹදිව යන්නාහු මහසයුරේදී නැවේ උඩතට්ටුවේ සිට සාගරය දෙස බැලූහ. උන් වහන්සේට සාගරයේ එතරක් හෝ මෙතරක් නොපෙනිණි. සිවුදිගින්ම මහ හඬ නඟා බිඳි බිඳී යන රළ නිසා හටගන්නා සුදු පෙණින් වැසී ගිය රිදීපටක් සේ දිලෙන සාගර ජලයම පෙනිණ. ඉක්බිති උන්වහන්සේ මහාසාගරයේ රළ වේගය බලවත් ද ප්‍රභේද විසින් ප්‍රකරණ සූවිස්සක් වන සමන්ත පට්ඨාන පකරණයේ නය මුඛය බලවත් දැයි සිතූහ. සිතන්නා වූ උන්වහන්සේට උඩ යට දෙකින් හා සිවුදිගිනුත් මේ මහාසාගරයේ පරිච්ඡේදයක් ඇත්තේය. අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණයේ පරිච්ඡේදයක් නො පෙනේය යි බලවත් ප්‍රීතියක් ඇතිවිය. උන්වහන්සේ එතැනම හිඳ ඒ ප්‍රීතිය විෂ්කම්භනය කොට විදසුන් වඩා සව් කෙළෙසුන් නසා රහත් වූහ.