9. උපනිඃශ්‍රය ප්‍රත්‍යය නිර්‍දෙශය

star_outline

නිඃශ්‍රයප්‍රත්‍යය නිර්‍දෙශයට අනතුරු ව උපනිඃශ්‍රය ප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. -පෙ-

පදාර්‍ථ:

පූරිමාපූරිමා, පූර්‍ව පූර්‍ව වූ: කුසලා, කුසල වූ: ධම්මා, අර්‍හන්මාර්‍ග වර්ජිත වූ කුසල නාමස්කන්‍ධයෝ: පච්ඡිමානංපච්ඡිමානං, පශ්චිම පශ්චිම වූ: කුසලානං, කුශලවූ: ධම්මානං, එක්විසි කුශල නාමස්කන්‍ධයන්ට: උපනිස්සයපච්චයෙන, ආරම්මණෝපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්: පච්චයො, උපකාරක වේ. පුරිමාපුරිමා කුසලා ධම්මා, සතොළොස් ලෞකික කුශල නාමස්කන්‍ධයෝ, පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං, දොළොස් අකුශල නාමස්කන්‍ධයන්ට: කෙසඤ්චි, ඇතැම් අකුශලයන්ට ආරම්මණෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්, පච්චයො, උපකාරක වේ. කෙසඤ්චි යන්නෙන් අනන්තරෝපනිඃශ්‍රය ශක්තිය බැහැර කරනු ලැබේ. එ බැවින් අටුවාවෙහි කුසලෙන පන අකුසලෙ සමනන්තරාතීතා න ලබ්භන්ති. තෙනෙව වුත්තං අකුසලානං ධම්මානං කෙසඤ්චි උපනිස්සය පච්චයෙන පච්චයො ති යනු කීහ. පුරිමාපුරිමා කුසලා ධම්මා, එක්විසි කුසල නාමස්කන්‍ධයෝ: පච්ඡිමානංපච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං, විපාකක්‍රියා නාමස්කන්‍ධයන්ට, උපනිස්සය පච්චයෙන, ආරම්මණෝපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්: පච්චයො.

පුරිමාපුරිමා අකුසලා ධම්මා, දොළොස් අකුශල නාමස්කන්‍ධයෝ: පච්ඡිමානංපච්ඡිමානං අකුසලානං ධම්මානං, දොළොස් අකුශල නාමස්කන්‍ධයනට: උපනිස්සය පච්චයෙන, ආරම්මණෝපනනිඃශ්‍රය, අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්, පච්චයො. පුරිමාපුරිමා අකුසලා, ධම්මා, දොළොස් අකුසල නාමස්කන්‍ධයෝ, පච්ඡිමානංපච්ඡිමානං, කුසලානං ධම්මානං, එක්විසි කුසල නාමස්කන්‍ධයන්ට: කෙසඤ්චි, ඇතැම් කුශලයන්ට: උපනිස්සය පච්චයෙන පච්චයො, පුරිමාපුරිමා අකුසලා ධම්මා, දොළොස් අකුශල නාමස්කන්‍ධයෝ, පච්ඡිමානංපච්ඡිමානං, අබ්‍යාකතානං ධම්මානං, විපාකක්‍රියා නාමස්කන්‍ධයනට: උපනිස්සය පච්චයෙන, ආරම්මණෝපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්: පච්චයො. (මෙහි අනන්තරෝපනිඃශ්‍රය භාවය ලැබෙන බැවින් කෙසඤ්චි යි නොවදාරන ලදී “යස්මා පන අනන්තරතා ලබ්භති, තස්මාඑත්‍ථ කෙසඤ්චි ති න වුත්තං” යනු අටුවා යි.)

පුරිමාපුරිමා අබ්‍යාකතං ධම්මා, විපාකසිත් සතිසය, ක්‍රියා සිත් විස්ස ය, රූප අටවිස්ස ය, නිවන ය යන මේ ධර්‍මයෝ: පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං, විපාකක්‍රියා නාමස්කන්‍ධයන්ට: උපනිස්සයපච්චයෙන, ආරම්මණෝපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්: පච්චයො. පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා, අර්‍හත්ඵලයෙන් අන්‍ය වූ විපාකසිත් පන්තිස ය, ක්‍රියා සිත් විස්සය: රූප අට විස්ස ය, නිවන ය යන මොවුහු: පච්ඡිමානංපච්ඡිමානං කුසලානං ධම්මානං - උපනිස්සය පච්චයෙන, ආරම්මණෝපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්: පච්චයො. පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා, ලෞකික විපාක දෙතිස ය, ක්‍රියාසිත් විස්ස ය, රූප අට විස්සය යන මොව්හු: පච්ඡිමානංපච්ඡිමානං අකුසලානං ධම්මානං උපනිස්සයපච්චයෙන, ආරම්මණෝපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන්, පච්චයො: උතුභොජනම්පි, සෘතුව හා භෝජනය ද, උපනිස්සය පච්චයෙන පච්චයො. පුග්ගලොපි, කල්‍යාණ මිත්‍රා දි පුද්ගලයා ද: උපනිස්සය පච්චයෙන පච්චයො සෙනාසනම්පි, වාසස්ථානය ද: උපනිස්සය පච්චයෙන පච්චයො. (පුග්ගලො පි සෙනාසනම්පි ති ඉදං ද්වයං පකතූපනිස්සය වසෙන වුත්තං, ඉදං හි ද්වයං කුසලාකුසල පවත්තියා බලවපච්චයො හොති. යනු අටුවා යි.)

අභිධෙයාර්‍ථ:

ආරම්මණෝපනිඃශ්‍රය වේ නම්, “පුරිමාපුරිමා කුසලාධම්මා” යන කර්‍තෘපාඨයෙන් ගරු කොට අරමුණු කරන්නා වූ මහාකුශල ඥානවිප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ලෞකික කුසල් සිත් සතොළොස ය, ගරු කොට අරමුණු කරන්නා වූ මහා කුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හන් මාර්ගයෙන් අන්‍ය වූ කුසල් සිත් විස්සය, යන ප්‍රත්‍යය ධර්‍මය දැක් වූ සේක. “පච්ඡිමානංපච්ඡිමානං කුසලානං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් මහාකුශල නාමස්කන්‍ධ සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක් වූ සේක. “උපනිස්සයපච්චයෙන” යන කරණපාඨයෙන් උපනිස්සය ආරම්මණ අධිපති යන ප්‍රත්‍යය ශක්ති තුන අතුරෙන් උපනිඃශ්‍රය ශක්ති විශේෂයෙන් ප්‍රත්‍යය වීම දැක්වූ සේක.

අනන්තරෝපනිඃශ්‍රය වේ නම් “පුරිමාපුරිමා කුසලා ධම්මා” යන කර්‍තෘ පාඨයෙන් අන්තිමජවන වර්ජිත පූර්‍වපූර්‍ව වූ ලෞකික කුසල් සතොළොස දැක් වූ සේක. පච්ඡිමානංපච්ඡිමානං කුසලානං ධම්මානං, යන සම්ප්‍රදාන පාඨයෙන් මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල නවය ය, මාර්‍ගසිත් සතරය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක් වූ සේක. “උපනිස්සය පච්චයෙන” යන කරණ පාඨයෙන් උපනිස්සය, අනන්තර, සමනන්තර, ආසෙවන, නත්‍ථි, විගත යන ප්‍රත්‍යයශක්ති සය අතුරෙන් -පෙ- සේක.

ප්‍රකෘතෝපනිඃශ්‍රයය වේ නම් “පුරිමාපුරිමා කුසලා ධම්මා” යන පාඨයෙන් අර්‍හන්මාර්‍ගයෙන් අන්‍ය වූ බලවත් වූ කුසල් සිත් විස්ස වූ ප්‍රත්‍ය්‍යධර්‍මය දැක්වූ සේක. සම්ප්‍රදානපාඨයෙන් පශ්චිමපශ්චිම වූ කුසල් සිත් එක් විස්ස වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක. උපනිස්සය පච්චයෙන යන පාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම දැක් වූ සේක.

“පුරිමාපුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං” යනාදි පාඨයෙහි ආරම්මණෝපනිඃශ්‍රය වේ නම් කර්‍තෘපාඨයෙන් ගරුකොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළයුතු වූ ලෞකික කුශල් සතොළොස නමැති ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූලසිත් අට වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක. කරණ පාඨයෙන් උපනිස්සය, ආරම්මණ, අධිපති යන ශක්තිතුනෙන් උපනිඃශ්‍රය ශක්තියෙන් උපකාරවීම දැක්වූ සේක.

ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ නම් කර්‍තෘපාඨයෙන් බලවත් වූ ලෞකික කුශල් සතොළොස නමැති ප්‍රත්‍යයධර්‍මය දැක් වූ සේක. සම්ප්‍රදාන පාඨයෙන් පශ්චිමපශ්චිම වූ අකුසල් සිත් දොළොස වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය දැක්වූ සේක. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම දැක්වූ සේක.

“පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානංපච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං” යනාදි පාඨයෙහි ආරම්මණෝපනිඃශ්‍රය වේ නම් කර්‍තෘපාඨයෙන් අර්‍හන්මාර්‍ගය ද, සම්ප්‍රදානපාඨයෙන් මහාක්‍රියාඥානසම්ප්‍රයුක්ත සිත් සතර ද, කරණ පාඨයෙන් උපනිස්සය, ආරම්මණ, අධිපති යන ශක්ති තුනෙන් උපනිඃශ්‍රය ශක්තිවිශේෂයෙන් උපකාර වීම ද දැක්වූ සේක.

අනන්තරෝපනිඃශ්‍රය වේ නම් (අනන්තරප්‍රත්‍යය අනුව විස්තර කරනු.)

ප්‍රකෘතෝපනිඃශ්‍රය වේ නම් “පුරිමාපුරිමා කුසලා ධම්මා” යන පාඨයෙන් බලවත් වූ එක්විසි කුසල චිත්තය දැක්වූ සේක. පච්ඡිමානං පච්ඡිමානං යනාදි සම්ප්‍රදානපාඨයෙන් විපාක සිත් සතිස ය ක්‍රියාසිත් විස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. කරණපාඨයෙන් සුදුසු පරිදි ලැබෙන උපනිස්සය, අනන්තර, සමනන්තර, කම්ම, නත්‍ථි, විගත යන ශක්ති සය අතුරෙන් -පෙ-දැක්වූ සේක.

“පුරිමාපුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං” යනාදි පාඨයෙහි ආරම්මණෝපනිඃශ්‍රය වේ නම් “පුරිමාපුරිමා අකුසලා ධම්මා” යන පාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු ලෝභමූල සිත් අට වූ ප්‍රත්‍යය ධර්‍මයන් ද, සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අට වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණපාඨයෙන් උපනිස්සය, ආරම්මණ, අධිපති යන ශක්ති තුනෙන් උපනිඃශ්‍රය ශක්තියෙන් උපකාරවීම ද දැක්වූ සේක. (අනන්තරෝපනිඃශ්‍රයය අනන්තර ප්‍රත්‍යය මෙන් විස්තර කරනු.)

ප්‍රකෘතෝපනිඃශ්‍රය වේ නම් කර්‍තෘපාඨයෙන් බලවත් වූ දොළොස් අකුශලය වූ ප්‍රත්‍යය ද සම්ප්‍රදානපාඨයෙන් පශ්චිමපශ්චිම අකුසල් දොළොස වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක.

“පුරිමාපුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං” යනාදි පාඨයෙහි කර්‍තෘපාඨයෙන් බලවත් වූ අකුසල් දොළොස දැක්වූ සේක. සම්ප්‍රදාන පාඨයෙන් කුසල් එක් විස්ස වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක. කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රයශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක. අකුශලය කුශලයට ප්‍රකෘතෝපනිඃශ්‍රය පමණක් වේ. ආරම්මණෝපනිඃශ්‍රය අනන්තරෝපනිඃශ්‍රය නො වේ.

“පුරිමාපුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං” යනාදි පාඨයෙහි අනන්තරෝපනිඃශ්‍රය වේ නම් අනන්තර ප්‍රත්‍යය අනු ව විස්තර කරනු. ප්‍රකෘතෝපනිඃශ්‍රය වේ නම් කර්‍තෘ පාඨයෙන් බලවත් වූ දොළොස් අකුශලචිත්තය වූ ප්‍රත්‍යය ධර්‍මය ද, සම්ප්‍රදානපාඨයෙන් පශ්චිමපශ්චිම වූ විපාකසිත් සතිස ය ක්‍රියාසිත් විස්සය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් ද, කරණපාඨයෙන් එක් වර සුදුසු පරිදි ලැබෙන උපනිස්සය කම්ම යන ප්‍රත්‍යය ශක්ති දෙකින් උපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක.

“පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානංපච්ඡිමානං අබ්‍යාකතානං” යනාදි පාඨයෙහි ආරම්මණෝපනිඃශ්‍රය වේ නම් “පුරිමාපුරිමා අබ්‍යාකතා” යන පාඨයෙන් මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හත්ඵලය හා නිර්‍වාණය ද ඵලසිත් සතරට ප්‍රත්‍යය වන නිර්‍වාණය ද යන ප්‍රත්‍යය ද, සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය ඵල සිත් සතර ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් ද, කරණපාඨයෙන් උපනිස්සය, ආරම්මණ, අධිපති යන ශක්තිතුනෙන් උපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක. (අනන්තරෝපනිඃශ්‍රය වේ නම් අනන්තරප්‍රත්‍යය මෙන් විස්තර කරනු.)

ප්‍රකෘතෝපනිඃශ්‍රයය වේ නම් කර්‍තෘපාඨයේ බලවත් වූ විපාක සිත් සතිස ය, ක්‍රියා සිත් විස්ස ය. රූප අටවිස්ස ය යන ප්‍රත්‍යය ද, සම්ප්‍රදානපාඨයෙන් පශ්චිමපශ්චිම වූ විපාක සිත් සතිස හා ක්‍රියාසිත් විස්ස වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණපාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක.

“පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං” යනාදි පාඨයෙහි ආරම්මණෝපනිඃශ්‍රය වේ නම් කර්‍තෘපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන හෙට්ඨිමඵල සිත් තුනය නිවනය යන ප්‍රත්‍යය ධර්‍මය ද, සම්ප්‍රදානපාඨයෙන් ගරු කොට අරමුණු කරන මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් ද, කරණපාඨයෙන් උපනිස්සය, ආරම්මණ, අධිපති යන ශක්ති තුනෙන් උපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක් වූ සේක.

අනන්තරෝපනිඃශ්‍රය වේ නම් කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපනය හා මනෝද්වාරාවර්ජනය වූ ප්‍රත්‍යය ද, සම්ප්‍රදානපාඨයෙන් මහා කුශල ප්‍රථම ජවනය ද, කරණපාඨයෙන් උපනිස්සය, අනන්තර, සමනන්තර, නත්‍ති, විගත යන පසෙන් උපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක.

ප්‍රකෘතෝපනිඃශ්‍රය වේ නම් කර්‍තෘපාඨයෙන් අර්‍හත්ඵලයෙන් අන්‍ය වූ බලවත් වූ විපාක සිත් පන්තිස ද නොහොත් විපාකසිත් සතිස ද ක්‍රියාසිත් විස්ස ද රූප අටවිස්ස ද යන ප්‍රත්‍යධර්‍මය ද, සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක්විස්ස වූ ප්‍රත්‍යයෝත්පන්නයන්ද, කරණ පාඨයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක් වූ සේක.

‘පුරිමා පුරිමා අබ්‍යාකතාධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං’ යනාදි පාඨයෙහි ආරම්මණෝපනිඃශ්‍රය වේ නම් ගරු කොට අරමුණ කරන්නා වූ ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස ය, දුඃඛසහගත කායවිඥාන වර්ජිත ලෞකික විපාක එක්තිස ය, ක්‍රියාසිත් විස්ස ය යන ප්‍රත්‍යය ධර්‍මය ද, සම්ප්‍රදාන පාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අට වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණපාඨයෙන් එක් වර ලැබෙන උපනිස්සය, ආරම්මණ, අධිපති යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් අධිපති ශක්තියෙන් උපකාර වීම ද දැක් වූ සේක. නොහොත් කරණපාඨයෙන් ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ වර්‍තමාන ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස වේ නම් උපනිස්සය, ආරම්මණ, අධිපති, පුරේජාත, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් ද, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණය වේ නම් උපනිස්සය, ආරම්මණ, අධිපති, නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති අට අතුරෙන් ද උපනිඃශ්‍රය ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක් වූ සේක. (අනන්තරෝපනිඃශ්‍රය වේ නම් අනන්තර ප්‍රත්‍යය මෙන් විස්තර කරනු.)

ප්‍රකෘතෝපනිඃශ්‍රය වේ නම්, කර්‍තෘ පාඨයෙන් බලවත් වූ ලෞකික විපාක දෙතිස ය, ක්‍රියාසිත් විස්ස ය, රූප අටවිස්ස ය යන ප්‍රත්‍යය ද, සම්ප්‍රදානපාඨයෙන් අකුසල සිත් දොළොස වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණපාඨයයෙන් ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තියෙන් උපකාර වීම ද දැක්වූ සේක.