කම්මමූලකය

star_outline

කම්මමූලකයෙහි හේතුදුකයේ පටන් ආසේවන දුකය දක්වා ඇති දුකයන් උක්තානුසාරයෙන් විස්තර කරනු. කම්මමූලක විපාක දුකයෙහි කර්‍මප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. චේතනාවෙන් අන්‍ය වූ කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, කුශලාකුශලක්‍රියාවන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ ය යන මොහු විපාක ප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව” කුශලාකුශල පදයන් ගේ වාර සය කර්‍ම ප්‍රත්‍යය අනු ව විස්තර කරනු. අබ්‍යාකතපදයෙහි ප්‍රවෘත්තිකාලයෙහි ක්‍රියාසිත් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව -පෙ- චේතනා වර්ජිත චෛතසික සූතිස ය යන නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, -පෙ- ප්‍රතිසන්‍ධිවාරය නො ලැබේ. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත චිත්තජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. කිරියාබ්‍යාකතං එකං -පෙ- චිත්තසමුට්ඨානඤ්ච රූපං, එකං මහාභූතං -පෙ- චිත්තසමුට්ඨානං උපාදායරූපං” කුශලාකුශල ක්‍රියා චේතනාවෝය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි “තීණි” සහජාතමූලකය කම්මදුකයේ අනුලෝමපච්චනීය අනුව විස්තර කරනු. අනුලෝමය ශුද්ධවිපාකප්‍රත්‍යය අනුව විස්තර කරනු.

කම්මමූලක ආහාරදුකයෙහි කුශලාකුශල ක්‍රියාචේතනාවන් හා ආහාරජරූපයෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” උක්තානුසාරයෙන් විස්තර කරනු. අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ආහාර ප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” විස්තර කරනු. බාහ්‍යරූප හා සෘතුජරූපයෝ, පච්චනීයයෙහි “එකං” කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත සකල ප්‍රවෘත්තිකර්‍මජ නාමස්කන්‍ධයෝ ය චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොහු, අනුලෝමයෙහි “නව” අසංඥසත්ත්‍ව කර්‍මජරූප හැර ශුද්ධකර්‍ම ප්‍රත්‍යය අනුව විස්තර කරනු.

කම්මමූලක ඉන්‍ද්‍රිය දුකයෙහි කුශලාකුශල ක්‍රියා චේතනාවෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” අසංඥසත්ත්‍ව රූප ජීවිතේන්‍ද්‍රිය ය හා ප්‍රවෘත්තිකර්‍මජ රූපජීවිතේන්‍ද්‍රිය ය ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැර කෙරේ. “එකං”. “අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච රූප ජීවිතේන්‍ද්‍රියං” බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ, පච්චනීයයෙහි “එකං” කුශලාකුශල ක්‍රියාචේතනා වර්ජිත සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, රූපජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “තීණි” කුශලාකුශල චේතනා හැර ශුද්ධ ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය අනුව විස්තර කරනු.

කම්මමූලක ඣාන දුකයෙහි කුශලාකුශල චේතනාවෝ කර්‍ම ප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ධ්‍යාන ප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” බාහ්‍යරූප හා සෘතුජරූපයෝ, පච්චනීයයෙහි “එකං” ද්විපඤ්චවිඥානයන් හා කුසලාකුසල චේතනාවන් හැර ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ රූපයෝ ය ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “නව” කුශලාකුශල ක්‍රියා චේතනාවන් හැර ධ්‍යාන ප්‍රත්‍යය අනුව අභිධෙය ගෙන එය අනුව ම විභඞ්ගය උදුරනු.

කම්මමූලක මග්ගදුකයෙහි කුශලාකුශල සහේතුකක්‍රියා චේතනාවෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” ක්‍රියා චේතනා වර්ජිත සකල අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ රූපයෝ ය යන මොවුහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” අහේතුක ක්‍රියා චේතනාවෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ යන මොවුහු, පච්චනීයයෙහි ‘එකං’ හේතුමූලක කම්මදුකය අනුව විස්තර කරනු. කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, අනුලෝමයෙහි ‘නව’ කුශලාකුශල ක්‍රියා චේතනා හැර ශුද්ධමාර්‍ගප්‍රත්‍යය අනුව විස්තර කරනු.

කම්මමූලක සම්පයුත්තදුකයෙහි කුශලාකුශලක්‍රියා චේතනාවෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙකි. “තීණි” ආරම්මණමූලකය අනුව විස්තර කරනු. චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ සම්ප්‍රයුක්තය බැහැර කෙරෙති. ‘පඤ්ච’ බාහ්‍ය ආහාරජ සෘතුජරූපයෝ, පච්චනීයයෙහි ‘එකං’ කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත සකල ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’ කුශලාකුශලක්‍රියා චේතනා හැර සම්ප්‍රයුක්තය අනුව විස්තර කරනු.

කම්මමූලක විප්පයුත්ත දුකයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලාකුශල ක්‍රියා චේතනාවෝ කර්‍මප්‍රත්‍ය බැහැර කෙරෙති. ‘තීණි’ පුරේජාතදුකය අනුව විස්තර කරනු.

අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලාකුශලක්‍රියා චේතනා වර්ජිත ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය. අසංඥසත්ත්‍වකර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝය යන මොවුහු, විප්‍රයුක්තය බැහැර කෙරෙති. “තීණි” පුරේජාත දුකය අනුව විස්තර කරනු.

අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලාකුශලක්‍රියා චේතනාවෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොහු, පච්චනීයයෙහි ‘එකං’ පුරේජාතමූලක කම්මදුකයේ පච්චනීය ය අනුව විස්තර කරනු.

පඤ්චවෝකාර භූමියෙහි කුශලාකුශලක්‍රියා චේතනාව හා අරූපවිපාක ද වර්ජිත වූ ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, චිත්තජ රූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොවුහු, අනුලෝමයෙහි “නව” ශුද්ධ විප්‍රයුක්තය අනුව කුශලාකුශලක්‍රියා චේතනාවන් හැර අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. කම්මමූලක අත්‍ථි අවිගතදුක සහජාතදුකය මෙන් ද නත්‍ථිවිගත දුක අනන්තර දුකය මෙන් ද දත යුතු ය.