11. පච්චාජ්ජාත ප්‍රත්‍යය

star_outline

සත්ත්‍ව සන්තානයෙහි කර්‍මාදි ප්‍රත්‍යය සතරෙන් හටගන්නා රූප පරම්පරා සතර වැඩෙමින් පවත්නේ ඒ සන්තානයෙහි අරූප ධර්‍ම පරම්පරාව පවත්නා තෙක් පමණෙකි. අරූප ධර්‍මයන් ගේ ඉපදීම නැවතුන තැන් පටන් රූප ධර්‍ම පරම්පරා පිරිහෙන්නට පටන් ගන්නේ ය. අරූප ධර්‍මයන්ගේ හටගැනීම නවතින්ට ළංවන කොට ම කර්‍මයෙන් හටගන්නා රූපයන් ගේ ඉපදීම නවතින්නේ ය. අන්තිම චිත්තයේ නිරෝධයෙන් පසු කර්‍මජ රූප ඉතිරි නො වන්නේ ය. පූර්‍වයෙහි කර්‍මාදි ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ රූපයනට ඒ ඒ වර්‍ගවල රූප කලාප මතු මතුයෙහි ද ඇති කොට පරම්පරාව පැවැත්විය හැකි වීමේ ශක්තිය ලැබෙන පරිදි පසුව උපදනා චිත්ත චෛතසිකයන්ගෙන් අනුබල ලැබෙන්නේ ය. ඒ හේතුවෙන් සත්ත්‍වයා ජීවත් වන තෙක් රූප පරම්පරා සතර පවත්නේ ය. අරූප ධර්‍මයෝ අනේකානුභාවයන්ගෙන් යුක්තයෝ ය. තමා පසුව ඉපිද තමාට පෙර උපන් රූපයනට අනුබල දෙන බව ද ඒවායේ ඇති එක් ආනුභාවයෙකි. පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය යි කියනුයේ තමන් පසුව ඉපිද කලින් හටගත් රූප ධර්‍මයනට එසේ අනුබල දෙන චිත්ත චෛතසිකයන්ට ය. එය කලින් ඇති වී පවත්වා වෘක්‍ෂලතාවන් වෙතට පසු ව පැමිණ ඒවායේ වැඩීමට හා පැවැත්මට උපකාර වන වර්‍ෂා ජලය මෙන් දත යුතු ය.

පට්ඨාන අටුවාවෙහි “ගිජ්ඣපොතක සරීරානං ආහාරාසා චෙතනාවිය” යනුවෙන් එය ගිජුළිහිණි පැටවුන් ගේ ශරීරවලට උපකාර වන ආහාරාසා චේතනාව සේ දතයුතු බව දක්වා තිබේ. ගිජුළිහිණි පැටවුන්ට මාපියන්ගෙන් ආහාරයක් නො ලැබෙන්නේ ය යි කියති. ආහාරයක් නො ලබ න්නා වූ ඔවුන් ගේ ශරීර ඔවුන්ට පසුව ඇතිවන ආහාරාසා චේතනාවේ බලයෙන් වැඩෙත් ය යි ද කියති.

ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපිද රූපස්ථිතියට පැමිණි ඒකජකාය ය, ද්විජකාය ය, තිජකාය ය, චතුජකාය ය යන මොවුහු පශ්චාජ්ජාත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝය යි ත්‍රිරාශියෙහි දක්වා තිබේ. ඒකජකායාදීන්ට ප්‍රත්‍යය වන සැටි නොයෙක් පොත්වල නොයෙක් ලෙසිාන් දැක්වෙන අවුල් කරුණෙකි. පට්ඨාන අටුවාවෙහි ඒකජකායයක් හා ද්විජකායයක් ගැන සඳහන් කොට නැත. එහි “ඉමස්ස කායස්සා ති තිසමුට්ඨානික චතුසමුට්ඨානික භූත උපාදායරූප සඞ්ඛාතස්ස කායස්ස” යි තිජකාය චතුජකාය දෙක පමණක් සඳහන් කොට තිබේ.

කායයන් අතුරෙන් ඒකජකාය යනු කර්‍මාදි ප්‍රත්‍යයන් අතුරෙන් යම්කිසි එක් ප්‍රත්‍යයකින් හටගත් රූප කයය ය. ද්විජකාය යනු ප්‍රත්‍ය දෙකකින් හටගත් කය ය. තිජකාය යනු ප්‍රත්‍යය තුනකින් හටගත් කය ය. චතුජකාය යනු ප්‍රත්‍යය සතරෙන් ම හටගත් කය ය. සත්ත්‍වයකු භවයෙහි පළමුවෙන් ඉපදීමෙහි දී ප්‍රතිසන්‍ධි චිත්තය සමග උපදනේ කර්‍මජරූප පමණෙකි. ප්‍රතිසන්‍ධි චිත්තයා ගේ උත්පාද ස්ථිති භඞ්ග යන ක්‍ෂණ තුනෙන් උත්පාදක්‍ෂණ යෙහි ඇති කය කර්‍මසඞ්ඛ්‍යාත එක් ප්‍රත්‍ය්‍යකින් පහළ වූවක් බැවින් ඒකජකාය නම් වෙයි. ප්‍රතිසන්‍ධි චිත්තයා ගේ ස්ථිතික්‍ෂණයේ දී ඒ සන්තානයෙහි සෘතුජරූප ද පහළ වෙයි. එ බැවින් ස්ථිතික්‍ෂණයෙහි ඇති රූප කය ද්විජ කාය ය. ප්‍රතිසන්‍ධි චිත්තයා ගේ භඞ්ගක්‍ෂණයෙහි ඇත්තේ ද ද්විජකායය ම ය. ප්‍රතිසන්‍ධි චිත්තයට අනතුරු ව ප්‍රථම භවාඞ්ග චිත්තය පහළවන කල්හි චිත්තජ රූප ද පහළ වේ. එබැවින් ප්‍රථම භවාඞ්ගයා ගේ උත්පාදක්‍ෂණයෙහි පටන් ආහාරජ රූපයන් පහළ වන තුරු ඇත්තා වූ රූප කය ත්‍රිජකාය ය. ආහාරජ රූප පහළ වූ තැන් පටන් ඇත්තා වූ කය චතුජකාය ය. රූපලෝකයෙහි ආහාරජ රූප නො ලැබෙන බැවින් එහි වෙසෙන බ්‍රහ්මයන්ට ඇත්තේ ත්‍රිජකායයෙකි. පට්ඨාන අටුවාවෙහි තිසමුට්ඨානික කාය ය යි දක්වන ලද්දේ ඒ බ්‍රහ්මකාය ය.

එහි චතුසමුට්ඨානික කාය ය යි දක්වා තිබෙන්නේ කාමසත්ත්‍වයන්ගේ කර්‍මාදි ප්‍රත්‍යය සතරෙන් හටගත් කය ය. අසංඥ සත්ත්‍වයන්ගේ කය ද ද්විජ කායයෙකි. එහි සිත් නූපදිනා බැවින් එය පශ්චාජ්ජාත ප්‍රත්‍යය නො ලබයි.

ත්‍රිරාශියෙහි පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් දක්වා තිබෙන්නේ පූර්‍ව පූර්‍ව චිත්තයන් සමග ඉපද ස්ථිතියට පැමිණෙන රූප ය. චිත්තයන්ගේ ස්ථිති භඞ්ග ක්‍ෂණවල උපදනා රූප ගැන එහි සඳහන් කර නැත. චිත්තයන් ගේ ස්ථිති භඞ්ග ක්‍ෂණයන්හි උපදනා රූපයන් පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝත්පන්න භාවයට නො පැමිණීමට හේතුවක් නො පෙනේ. එය විමසිය යුතු ය. චිත්තයන් ගේ ස්ථිති භඞ්ගක්‍ෂණයන්හි උපදනා රූපයන් පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝත්පන්නයන් නො වෙත හොත් ඒවා ප්‍රත්‍යනීකරාශියට ඇතුළු කොට දැක්විය යුතු ය. ත්‍රිරාශියෙහි එසේ දක්වා ද නැත. චිත්තයන් ගේ උත්පාද ක්‍ෂණයෙහි උපදනා රූපයන් පමණක් පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝත්පන්න වෙතැයි ගෙන කියතහොත් ප්‍රතිසන්‍ධියට අනතුරු ව උපදනා ප්‍රථම භවාඞ්ගය ප්‍රතිසන්‍ධි චිත්තයාගේ උත්පාදය සමග උපන් කර්‍මජරූප පිණ්ඩය වූ ඒකජකායයට පශ්චාජ්ජාත වශයෙන් ප්‍රත්‍යය වන බව කිය යුතු ය. ප්‍රථම භවාඞ්ගය උපදනා කල්හි ප්‍රතිසන්‍ධිචිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි උපන් සෘතුජ රූප ද ස්ථිතියට පැමිණි තිබෙන බැවින් චිත්තයාගේ ස්ථිතියෙහි උපදනා රූප ද පශ්චාජ්ජාත ප්‍රත්‍යය ලබන සැටියට ගෙන කියත හොත් ප්‍රථම භවාඞ්ගය ද්විජකායයට පශ්චාජ්ජාත ප්‍රත්‍යය වන බව කිය යුතු ය. එසේ ගත හොත් ඒකජකායයට ප්‍රත්‍යය වන තැනක් නො ලැබේ. ප්‍රථම භවාඞ්ගය සමග කර්‍ම චිත්ත සෘතු යන ප්‍රත්‍යය තුනෙන් ම රූපයෝ උපදිති. එහි ස්ථිති භඞ්ගක්‍ෂණ වල දී ද ත්‍රිජරූපයෝ උපදිති. ඉහත කී ආකාර දෙකින් කවර ආකාරයකින් කියතත් ද්විතීය භවාඞ්ගය ත්‍රිජකායයට ප්‍රත්‍යය වන බව කිය යුතු ය. ද්විතීය භවාඞ්ගයේ පටන් ආහාරජ රූප ඉපද ස්ථිතියට පැමිණෙන තුරු උපදනා සකල චිත්තයෝ ම ත්‍රිජකායයට ප්‍රත්‍යය වෙති. ආහාරජ රූප ඉපද ස්ථිතියට පැමිණි පසු උපදනා රූපයෝ චතුජකායයට ප්‍රත්‍යය වෙති.

මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් මොබ සතළොස් වන චිත්තයා ගේ ස්ථිතික්‍ෂණයෙහි පටන් කර්‍මජ රූපයෝ නූපදිති. ඒ ඒ චිත්තයන් ගේ උත්පාදක්‍ෂණයෙහි උපදනා රූපයන්ට පමණක් පශ්චාජ්ජාත ප්‍රත්‍යය ලැබෙන සැටියට ගෙන කියත හොත් ච්‍යුති චිත්තයෙන් පසළොස් වන චිත්තයේ පටන් ච්‍යුති චිත්තය දක්වා ඇති චිත්තයන් කාමලෝකයෙහි ත්‍රිජකායයට ද රූපලෝකයෙහි ද්විජකායයට ද ප්‍රත්‍යය වන බව කිය යුතු ය.

ඒ ඒ චිත්තයන්ට පූර්‍වචිත්තයා ගේ උත්පාදය හා උපන් රූපය පශ්චාජ්ජාත ප්‍රත්‍යය ලබාය යනු එක් මතයෙකි. පූර්‍ව චිත්තයා ගේ ක්‍ෂණත්‍රයේ ම උපන් රූප අනන්තර චිත්තයෙන් පශ්චාජ්ජාත ප්‍රත්‍යය ලබා ය යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි. එක් එක් සිතක් තමන්ට පූර්‍වයෙහි අටවන චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි පටන් චිත්තක්‍ෂණයන්හි උපන් රූප පශ්චාජ්ජාත ප්‍රත්‍යය ලබති ය යනු ද එක් ආචාර්‍ය්‍ය වාදයෙකි. එයට කරුණු වශයෙන් අටවන චිත්තක්‍ෂණය දක්වා කාලය රූපය වැඩෙන කාලය ය, දශවන චිත්තක්‍ෂණයේ පටන් රූපය පිරිහෙන්නට පටන් ගත්තේ ය. ප්‍රත්‍යය ලැබ බලවත් වන්නේ වැඩෙන කාලයේ ය. “පිරිහෙන්නට පටන්ගත් රූපය ප්‍රත්‍යයෙන් ලාභයෙන් නොවැඩෙන්නේ ය. ඒ නිසා වැඩෙන කාලයේ මිස පිරිහෙන කාලයේ පශ්චාජ්ජාත ප්‍රත්‍යයෙන් ප්‍රයෝජනයක් නැත” යි කියති. එක් එක් සිතක් තමන් උපදින්නට කලින් චිත්තක්‍ෂණ සොළොසක පටන් ම උපන් රූපයන්ට පශ්චාජ්ජාත වශයෙන් ප්‍රත්‍යය වේ ය යනු ද එක් ආචාර්‍ය්‍ය මතයෙකි. මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය සමග උපන් හෘදය වස්තුව ච්‍යුති චිත්තයට නිඃශ්‍රය ප්‍රත්‍යය විය හැකි නම් ච්‍යුතිචිත්තය ද එයට පශ්චාජ්ජාත ප්‍රත්‍යය විය හැකි නොවීමට කරුණක් නැතය යි ඒ ආචාර්‍ය්‍යවරයෝ පවසති. ආහාරයෙන් වන උපස්ථම්භනය ලැබෙන්නේ වැඩෙන ශරීරයට පමණක් නො වේ ය. ජරපත් වී වැටී ගෙන යන ශරීරයට ද ආහාරයා ගේ උපස්ථම්භනය ලැබෙන්නේ ය. එ මෙන් ආයුෂයෙන් අඩක් ගෙවා පරිහාණි පක්‍ෂයට වැටී තිබෙන රූපයට ද පශ්චාජ්ජාත චිත්ත චෛතසිකයන් ගේ උපස්ථම්භනය නො ලැබේ ය යි නො කිය හැකිය යි ද ඒ ආචාර්‍ය්‍යවරයෝ කියති.

තවද පූර්‍ව චිත්තය හා ඉපද ස්ථිතියට පැමිණෙන්නා වූ රූපය අනන්තර චිත්තය ඉපදීමට පෙරාතුව ම ඒකාන්තයෙන් අනන්තර චිත්තය උපදනා බැවින් නූපන් අනන්තර චිත්තයා ගේ උස්ථම්භනය ලබන්නේ ය යි ද ඇතැම් ආචාර්‍ය්‍ය වරයෝ පවසති. නූපන් චිත්තයෙන් උපකාර ලබන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බක්කුල තෙරුන් වහන්සේ ගේ කථාව හා සංකිච්ච තෙරුන් වහන්සේ ගේ කථාව ගෙන හැර දක්වති. යම්කිසි භවයක දී අර්‍හත්‍වයට පැමිණීමට නියත තැනැත්තේ අර්‍හත්‍වයට නො පැමිණ නො මියෙන්නේ යයි පත පොතෙහි දක්වා තිබේ. එසේ නො මිය යෑමේ හේතුව ඒකාන්තයෙන් මතු ඇතිවන්නට තිබෙන අර්‍හන්මාර්‍ගයේ ආනුභාවය ය. මසකු විසින් ගිලින ලදුව ද බක්කුල තෙරුන් වහන්සේ ජීවත් වූයේ ද, මවු කුස සිටිය දී මව කාලක්‍රියා කොට සිරුර වූ ගින්නෙන් දවනු ලබද්දී මවු කුස විසූ සංකිච්ච ළදරුවා ජීවත්වූයේ ඒ අය විසින් මතු ලබන්නට තිබෙන අර්‍හන්මාර්‍ගයේ ආනුභාවයෙන් ය. නූපන්නා වූ අර්‍හන්මාර්‍ගයේ ඵල එය ඉපදීමට කලින් ලැබෙන්නාක් මෙන් ම නූපන් චිත්තයා ගේ උපස්ථම්භනය ද ලැබේ ය යනු ඒ ආචාර්‍ය්‍යවරයන් ගේ මතය ය.

විඤ්ඤාණ රූපයනට සහජාත වශයෙන් ද අන්‍යෝන්‍ය වශයෙන් ද නිඃශ්‍රය වශයෙන් ද ප්‍රත්‍යය වන්නේ විඤ්ඤාණයා ගේ උත්පාදක්‍ෂණයෙහි ය. පූර්‍වයෙහි හටගත් රූපයනට පශ්චාජ්ජාත වශයෙන් ප්‍රත්‍යය විය යුත්තේ ද එ කෙණෙහි ම ය. එ බැවින් පූර්‍ව චිත්තය හා උපන් රූපයෝ ඒ චිත්තයා ගේ ස්ථිති භඞ්ග ක්‍ෂණවල දී පශ්චාජ්ජාත ප්‍රත්‍යය නො ලබත් ය, අනන්තර චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි දී ම ඔව්හු පශ්චාජ්ජාත ප්‍රත්‍යය ලබත් ය යනු ඉහත කී වාදය නො පිළිගන්නා ආචාර්‍ය්‍යවරයන් ගේ මතය ය.

පූර්‍වයෙහි ඉපද ස්ථිතියට පැමිණෙන රූපයනට පසු ව උපදනා සිත් පශ්චාජ්ජාත වශයෙන් ප්‍රත්‍යය වන බව සියල්ලෝ ම අවිවාදයෙන් පිළිගනිති. මෙහි සැලකිය යුතු ප්‍රධාන කරුණ එය ය. මත භේද ඇත්තේ පශ්චාජ්ජාත ප්‍රත්‍යය පිළිබඳ අප්‍රධාන කරුණු ගැන ය. ඒවා දැක්වීමෙන් එතරම් ප්‍රයෝජනයක් නැත ද වැඩිදුර කල්පනා කිරීම ඥානවර්‍ධනයට හේතු වන බැවින් අභිධර්‍මය උගනුවන් ගේ බහුශ්‍රැත භාවය පිණිස ඒවා ද මෙහි දක්වන ලදි.

අත්තනො පච්චයුප්පන්නතො පච්ඡා ජායතී ති පච්ඡා ජාතො, පච්ඡා යන නිපාත පදය පෙරටු කොට ඇති ජන ධාතුව කෙරෙන් ත ප්‍රත්‍යය ව පච්ඡාජාත යනු සිද්ධ යි. යම් ධර්‍මයක් තමා ගේ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය ඉපදීමෙන් පසු උපදී නම් එය පච්ඡාජාත නම් වේ.