(හේතුමූලක විපාක සභාගය)

star_outline

හේතුමූලක විපාක සභාගයෙහි ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා විපාකචිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක හේතූන්ගෙන් අන්‍ය වූ සකල විපාකප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, හෘදය වස්තුවට ප්‍රත්‍යය වන හේතූන් ගෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු විපාක ප්‍රත්‍යය වී හේතුප්‍රත්‍යය නො වන බැවින් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා විපාකෙ එකං”

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන කුශලා කුශල ක්‍රියා හේතූහු සදෙන හේතුප්‍රත්‍යය වී විපාකප්‍රත්‍යය නො වන බැවින් විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි ‘හෙතුපච්චයා න විපාකෙ සත්ත’

සකලආරම්මණ ප්‍රත්‍යය ය, ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන හේතුධර්‍මයන් ගෙන් අන්‍ය වූ කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන මහාභූත සතර ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හෘදයවස්තුව ය යන සහජාතප්‍රත්‍යය ය අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය, ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය, වස්තුපුරේජාත ප්‍රත්‍යය ය පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය, නානාක්‍ෂණිකකර්‍ම ප්‍රත්‍යය ය, රූපාහාර ප්‍රත්‍යය ය, රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය යන ප්‍රත්‍යය ය අට හේතුප්‍රත්‍යය ද නො වෙති. විපාකප්‍රත්‍යය ද නො වෙති. පච්චනීයයෙහි “න හෙතුපච්චයා න විපාකෙ පන්නරස”

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුකචිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යයවන විපාකහේතූහු තිදෙන හේතුප්‍රත්‍යය ද වෙති. විපාකප්‍රත්‍යය ද වෙති. “හෙතුපච්චයා විපාකෙ එකං”

අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන්නෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූපයන්ට ප්‍රත්‍යයවන සහේතුක විපාක එක්විස්සෙහි ඇති හේතු තුන වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූපයෝ ලැබෙත්, ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසෙහි හේතු තුන ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූප වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. “අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො, විපාකපච්චයෙන පච්චයො, විපාකාබ්‍යාකතා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං හෙතු පච්චයෙන පච්චයො, විපාකපච්චයෙන පච්චයො, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තා ච රූපානං හෙතුපච්චයෙන පච්චයො, විපාකපච්චයෙන පච්චයො” යි විභඞ්ගය උදුල යුතු ය.