4. අනන්තර ප්‍රත්‍ය්‍ය විභඞ්ගය

star_outline

අනන්තර ප්‍රත්‍යය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘ පාඨයේ අභිධෙය ආරම්මණ ප්‍රත්‍යයෙහි මෙනි. හේතු පාඨයෙන් පශ්චිම පශ්චිම කුසල් සිත් එක්විස්සට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපනය හා මනෝද්වාරා වර්ජනය ය, අන්තිම ජවන වර්ජිත පූර්‍ව පූර්‍ව ලෞකික කුශල ජවනයෝ ය යන මොවුන් ගේ අනන්තර ප්‍රත්‍යය ශක්තිය ලැබේ. නොහොත් මහාකුශල ප්‍රථමජවනයට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපනය හා මනෝද්වාරාවර්ජනය ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථම ජවනය -පෙ- සත්තම ජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ඨ ජවනය ය මහද්ගත කුශල සෝමනස්ස සහගත සිත් සතරට හා මාර්‍ග සෝමනස්ස සහගත සිත් සොළොසට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ වෝදාන කෘත්‍යවත් මහා කුශල ප්‍රථමද්ව ය, මහද්ගත කුශල උපේක්‍ෂා සහගත සිත් පසට හා මාර්‍ග උපේක්‍ෂාසහගත සිත් සතරට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ වෝදාන කෘත්‍යවත් මහාකුශල තෘතීය ද්වය ය, සමාපජ්ජන වීථීන්හි පශ්චිම පශ්චිම මහද්ගත කුශලයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව මහද්ගත චිත්තයෝ ය යන මොවුන් ගේ අනන්තර ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අකුසලෙන අකුසලෙහි “අකුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් (ආරම්මණයෙහි මෙන් අභිධෙය ගන්නේය.) හේතුපාඨයෙන් දොළොස් අකුසලයන් ගේ ප්‍රථම ජවනයට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනයෝ ය, ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථම ජවනය ය, -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ඨ ජවනය ය යන මොවුන් ගේ අනන්තර ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අභිධෙය ආරම්මණයෙහි මෙන් අවුලනු. හේතුපාඨයෙන් පශ්චිම පශ්චිම වූ විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අකුසල් සිත් දොළොසය කුසල් සිත් එක්විස්ස ය යන මොවුන් ගේ අන්තිම ජවනයෝ ය අර්‍හන්ත ච්‍යුති වර්ජිත පූර්‍ව පූර්‍ව විපාක ක්‍රියා නාමස්කන්‍ධයෝ ය යන මොවුන් ගේ අනන්තර ශක්තිය ලැබේ.

විස්තර වශයෙන් මෙසේ ය: “අබ්‍යාකතො ධම්මො” යන හේතුපාඨයෙන් ප්‍රථමභවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ද්විතීයාදි පශ්චිම පශ්චිම භවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රථමාදි පූර්‍ව පූර්‍ව භවාඞ්ග නාමස්කන්‍ධයෝ ය, ආවර්ජනාද්වයට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භවාඞ්ගපච්ඡෙද පසළොස ය, මනෝද්වාරාවර්ජනයට ප්‍රත්‍යය වන අරූප භවාඞ්ගුපච්ඡේද සතර ය, හසිතෝත්පාද මහා ක්‍රියා ප්‍රථම ජවනයට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනයෝ ය, ද්විතීය ජවනයට ප්‍රත්‍යයවන ප්‍රථම ජවනය ය, -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යවන ෂෂ්ඨජවනය ය, ලෝභමූල මෝහමූල මහාකුසල ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි තදාරම්මණ එකොළොසට ද නො වන කල්හි භවාඞ්ග එකුන් විස්සට ද ප්‍රත්‍යය වන ලෝභමූල මෝහමූල මහාකුශල අන්තිම ජවනයෝ ය, දෝසමූල ජවනයට අනතුරුව තදාරම්මණය වන කල්හි උපේක්‍ෂා තදාරම්මණ සයට ද නො වන කල්හි කාමෝපේක්‍ෂා භවාඞ්ග සයට ද ප්‍රත්‍යය වන ද්වෙෂමූල අන්තිම ජවනයට ය, හසිතෝත්පාද ජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි සෝමනස්ස තදාරම්මණ පසට ද නො වන කල්හි පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට ද ප්‍රත්‍යය වන හසිතෝත්පාද අන්තිම ජවනය ය, සෝමනස්ස සහගත මහාක්‍රියා ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි සෝමනස්ස තදාරම්මණ පසට ද නො වන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ද ප්‍රත්‍යය වන සෝමනස්ස මහාක්‍රියා අන්තිම ජවනය ය, මහාක්‍රියා උපේක්‍ෂා සහගත ජවන සතර කෙරෙන් තදාරම්මණය වන කල්හි උපේක;ෂා තදාරම්මණ සයට ද නො වන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ද ප්‍රත්‍යය වන මහාක්‍රියා උපේක්‍ෂා සහගත අන්තිම ජවනය ය, ද්විතීය තදාරම්මණයට ප්‍රත්‍යය වන ප්‍රථම තදාරම්මණය ය, කාම භවාඞ්ග දශයට ප්‍රත්‍යය වන ද්විතීය තදාරම්මණය ය, හෙට්ඨිමඵල සෝමනස්ස සහගත සිත් දොළොසට ප්‍රත්‍යය වන අනුලෝම කෘත්‍යවත් මහා කුශල ප්‍රථමද්වය ය, හෙට්ඨිම ඵල උපේක්‍ෂා සහගත සිත් තුනට ප්‍රත්‍යය වන අනුලෝම කෘත්‍යවත් මහාකුශල තෘතීයද්වය ය, මහද්ගත ක්‍රියා සෝමනස්ස සහගත සිත් සතරට හා අර්‍හත්ඵල සෝමනස්ස සහගත සිත් සතරට ද ප්‍රත්‍යය වන ගෝත්‍රභූ අනුලෝම කෘත්‍යවත් මහාක්‍රියා ප්‍රථමද්වය ය, මහද්ගත උපේක්‍ෂා සහගත ක්‍රියා සිත් පසට හා අර්‍හත්ඵල උපේක්‍ෂා සහගත සිතට ද ප්‍රත්‍යය වන ගෝත්‍රභූ අනුලෝම කෘත්‍යවත් මහාක්‍රියා තෘතීය ද්වය ය, සමාපජ්ජන වීථීන්හි පශ්චිම පශ්චිම මහද්ගත ක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව මහද්ගත ක්‍රියාජවනයෝ ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට ප්‍රත්‍යය වන රූපාවචර කුශලක්‍රියා අන්තිම ජවනය ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට හා ආකාසානඤ්චායතන භවාඞ්ගයට ද ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුශලක්‍රියා අන්තිම ජවනය ය, ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට හා නිරෝධ සමාපත්තියෙන් නැගිටින අවස්ථාවෙහි ඇතිවන අනාගාමී අර්‍හත් ඵල චිත්තයන්ට ද ප්‍රත්‍යයවන නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුශලක්‍රියා අන්තිම ජවනය ය, ශ්‍රෝතාපත්ති ඵලයට ප්‍රත්‍යය වන ශ්‍රෝතාපත්ති මාර්‍ගයය -පෙ- අර්‍හත් ඵලයට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ගය ය ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ප්‍රත්‍යය වන ඵලසිත් සතරය යන මොවුන් ගේ අන්තිම ජවනයෝ ය, මරණාසන්න කාලයෙහි තදාරම්මණයට අනතුරු ව ච්‍යුතිය වේ නම් කාමච්‍යුති දශයට ප්‍රත්‍යය වන ද්විතීය තදාරම්මණය ය, ජවනයට අනතුරුව ච්‍යුතිය වේ නම් ච්‍යුති සිත් එකුන්විස්සට ප්‍රත්‍යය වන පඤ්චම ජවනය ය, භවාඞ්ගයට අනතුරු ව ච්‍යුති එකුන් විස්සට ප්‍රත්‍යය වන භවාඞ්ග එකුන්විස්සය යන මේ ප්‍රත්‍යය ධර්‍මයන්ගේ අනන්තර ශක්තිය ලැබේ. (මෙය ප්‍රවෘත්ති කාලය වන බැවින් ච්‍යුතියෙන් කෙළවර වේ.) ස්කන්‍ධවාර තුදුසෙකි.

ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපදයේ අභිධෙය ආරම්මණයෙහි මෙනි. “අනන්තර පච්චයා” යන හේතුපාඨයෙන් ප්‍රතිසන්‍ධි එකුන් විස්සට ප්‍රත්‍යය වන එකුන්විසි ච්‍යුතිචිත්තයන්ගේ අනන්තර ශක්තිය ලැබේ. නොහොත් කාමප්‍රතිසන්‍ධි දශයට ප්‍රත්‍යය වන ද්විහේතුකාහේතුක ච්‍යුතීහු ය. ප්‍රතිසන්‍ධි එකුන්විස්සට ප්‍රත්‍යය වන කාමත්‍රිහේතුක ච්‍යුතිය ය, සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසට ප්‍රත්‍යය වන රූපාවචර ච්‍යුති පස ය කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා අරූපප්‍රතිසන්‍ධි සතරට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන චුතිය ය, කාම ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධීන්ට ද ප්‍රත්‍යය වන විඤ්ඤාණඤ්චායතන චුතිය ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධීන්ට ප්‍රත්‍යය වන ආකිඤ්චඤ්ඤායතන චුතිය ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධියට ද ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන චුතිය ය යන මොවුන් ගේ අනන්තර ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර එකුන්විස්සෙකි. අනන්තර ප්‍රත්‍යය විභඞ්ගය නිමි. සමනන්තර විභඞ්ගය ද එසේම ය,