ඝටනා

star_outline

සභාගයන්ට අනතුරු ව ඝටනාවන් වදාළ සේක. පකිණ්ණක ඝටනා ය, සහජාත ඝටනායයි එහි ඝටනා දෙකොටසෙකි. එයින් පකිණ්ණක ඝටනාවෝ පළමු කොට වදාරන ලදහ. උපනිස්සය ඝටනාව ය, අනන්තර සමනන්තර උපනිස්සය නත්‍ථි විගත ඝටනාව ය යි පකිණ්ණක ඝටනා දෙකකි.

(1.) එයින් උපනිස්සයඝටනාව මෙසේ ය. විපාක සිත් සතිසට ප්‍රත්‍යය වන බලවත් වූ කුශලා කුශල චේතනාවෝ - “කම්ම උපනිස්සයන්ති ද්වෙ”

(2.) අනන්තර සමනන්තර උපනිස්සය නත්‍ථි විගත ඝටනාව මෙසේය: මාර්‍ගානන්තර ඵලසිත් සතරට ප්‍රත්‍යය වන මාර්‍ගචේතනා සතර - “කම්ම අනන්තර සමනන්තර උපනිස්සය නත්‍ථි විගතන්ති එකං”

පකිණ්ණකඝටනාවන්ට අනතුරුව සහජාතඝටනාවන් වදාළ සේක. අවිපාක සවිපාක වශයෙන් සහජාත ඝටනා දෙකොටසෙකි. සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව යයි අවිපාක ඝටනා සතරෙකි.

(1.) එයින් සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනාව - “කම්මසහජාත නිස්සය ආහාර අත්‍ථි අවිගතන්ති සත්ත”

(2.) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන චේතනාව - “කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ආහාර අත්‍ථි අවිගතන්ති තීණි”

(3.) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන චේතනාව - “කම්ම සහජාත නිස්සය ආහාර විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(4.) සවිප්පයුත්ත ඝටනාව මෙසේ ය, චිත්තජ රූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන චේතනාව - “කම්ම සහජාත නිස්සය ආහාර විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

සබ්බට්ඨානිකඝටනාව ය, ස අඤ්ඤමඤ්ඤ ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව ය යි සවිපාක ඝටනා පසෙකි.

(1.) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය: සම්පයුත්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක චේතනාව “කම්මසහජාත නිස්සය විපාක ආහාර අත්‍ථි අවිගතන්ති එකං”

(2.) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාක චේතනාව - “කම්මසහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර අත්‍ථි අවිගතන්ති එකං”

(3.) සඅඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුත්ත ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුත්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන විපාක චේතනාව - “කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(4.) සවිප්පයුත්තඝටනාව මෙසේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක චේතනාව - “කම්ම සහජාත නිස්සය විපාක ආහාර විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(5.) සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව මෙසේ ය. හෘදයවස්තුව ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිචේතනාව “කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මෙහි සභාගවාර තුදුසකි. ඝටනා එකොළොසකි.