අඤ්ඤමඤ්ඤ විභඞ්ගයෙහි කුසලපද අකුසලපද වාර දෙක සහජාතවාරයට සමානය. අබ්‍යාකතපදවාරයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාකසිත් සතිස ය ක්‍රියා සිත් විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් විපාක සිත් සතිස ය ක්‍රියාසිත් විස්සය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුක්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් අන්‍යෝන්‍ය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.
ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අන්‍යෝන්‍ය වශයෙන් නාමස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව වූ ද ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අතුරෙන් අන්‍යෝන්‍ය ශක්තිය ලැබේ. (මෙහි විපාක, සම්පයුත්ත, විප්පයුත්ත යන ශක්ති තුන සියල්ලෙහි ම නොයෙදේ.)
රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් මහාභූත වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් අන්‍යෝන්‍ය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර අට අනූවකි.
අඤ්ඤමඤ්ඤ විභඞ්ගය නිමි.