තිකාදි වාරයෝ

star_outline

හේතු ආරම්මණ මූලක අධිපති තිකය

දුකවාරයට අනතුරු ව තිකවාරය වදාළ සේක. එය හේතු ආරම්මණ මූලක අධිපති තිකාදි වසයෙන් එක්විසි වැදෑරුම් වේ. එයින් අධිපති තිකය පළමුකොට වදාළ සේක.

ඒ අධිපති තිකයෙහි සාධිපතිචිත්තජරූපයෝ අධිපති ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන්වී ආරම්මණප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් නො වීමෙන් ආරම්මණ ප්‍රත්‍යය බැහැර කෙරෙති. ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න ආරම්මණපච්චයා අධිපතියා පඤ්ච” යි වදාරන ලදහ.

අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය. නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුකක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණ ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයන් වී අධිපතිප්‍රත්‍යයෝත්පන්නයන් නො වීමෙන් අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. ඒ ධර්‍මයෝ අනුලෝම පච්චනීයයෙහි “ආරම්මණපච්චයා න අධිපතියා තීණි” යි වදාරන ලදහ. (මෙසේ දුකය ශුද්ධ කොට පසුව තිකය ශුද්ධ කළ යුතු ය.)

අධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න ම වී හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැති බැවින් පච්චනීයානුලෝමයෙහි” න හෙතුපච්චයා න ආරම්මණපච්චයා අධිපතිපච්චයා” යනාදිය නො වදාළ සේක.

අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුක ලෞකික විපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු හේතු ආරම්මණප්‍රත්‍යය දෙක්හි ප්‍රත්‍යයෝත්පන්න වී අධිපති ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. ඒ ධර්‍මයෝ අනුලෝම පච්චනීයයෙහි “හේතුපච්චයා ආරම්මණපච්චයා න අධිපතියා තීණි” යි වදාරන ලදහ. තීණි යනු කුසලෙන කුසලය, අකුසලෙන අකුසලය, අබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය, කුශලාකුශල දෙපදයෙහි හේතු මූලක අධිපතිදුකයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ග උදුරනු. අබ්‍යාකතපදයෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි වූ මහා ක්‍රියා සිත් අට ය, සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත ක්‍රියා නවය හා ඵලසිත් සතර ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා අට ය සහේතුක ලෞකික විපාක දෙතිස ය චෛතසික පන්තිස ය යන අවයව -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ආරම්මණප්‍රත්‍යය අනුව විභඞ්ගය උදුරනු.

අහේතුකචිත්තජ රූපයෝ ය, අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු ප්‍රත්‍යය තුනෙහි ම ප්‍රත්‍යයොත්පන්නයෝ නො වෙති. ඒ ධර්‍මයෝ පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණපච්චයා න අධිපතියා එකං” යි වදාරන ලදහ. දුකය අනුව විස්තර කරනු.

අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ හේතු ආරම්මණ අධිපතිප්‍රත්‍යය තුනෙහි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. ඒ ධර්‍මයෝ අනුලෝමයෙහි “හෙතුපච්චයා ආරම්මණපච්චයා අධිපතියා තීණි” යි වදාරන ලදහ. කුසලාකුසල දෙපදය අධිපති අනුව විස්තර කරනු.

අබ්‍යාකතවාරයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා අට ය. අධිපති නියත වූ මහද්ගත ක්‍රියා නවය ය, ඵලසිත් සතර ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපතිධර්‍ම වර්ජිත වූ මහාක්‍රියා අට ය මහද්ගතක්‍රියා නවය ය ඵලසිත් සතර ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. “විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා”

හේතු ආරම්මණමූලක අනන්තර තිකයෙහි ආරම්මණප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. අනන්තරප්‍රත්‍යය බැහැර කිරීමක් ද නැත. අනන්තර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතු ආරම්මණප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැත්තාහ. එබැවින් හේතුආරම්මණ ප්‍රත්‍යය දෙය බැහැර කිරීමක් නැත්තේ ය. එබැවින් පච්චනීයානුලෝමයෙහි “න හේතුපච්චයා න ආරම්මණපච්චයා අනන්තරෙ” යනාදිය නො වදාළ සේක.

හේතුආරම්මණ දෙක්හි ප්‍රත්‍යයෝත්පන්න වී අනන්තර ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයෝ නැත්තාහ. එබැවින් අනුලෝම පච්චනීයෙහි “හෙතුපච්චයා ආරම්මණපච්චයා න අනන්තරෙ” යනාදිය නො වදාළ සේක.

අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ප්‍රත්‍යය තුනෙහි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එබැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණපච්චයා න අනන්තරෙ එකං” යි වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහවර්ජිත සකල සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ප්‍රත්‍යය තුනෙහි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. අනුලෝමයෙහි “හෙතුපච්චයා ආරම්මණ පච්චයා අනන්තරෙ තීණි”

හේතුආරම්මණමූලක සහජාත තිකයෙහි චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ආරම්මණප්‍රත්‍යය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “එකං” සහජාතය බැහැර කිරීමක් නැත.

අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ හේතුආරම්මණප්‍රත්‍යය දෙක ම බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “එකං” සහජාතය බැහැර කිරීමක් නැත. පච්චනීය ද නැත.

මෝහමූලද්වයයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ප්‍රත්‍යය තුනෙහි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය, අනුලෝමයෙහි “හෙතුපච්චයා ආරම්මණපච්චයා සහජාතෙ තීණි”

හේතුආරම්මණමූලක අඤ්ඤමඤ්ඤ තිකයෙහි ආරම්මණ අඤ්ඤමඤ්ඤ දුකය ශුද්ධ කරනු. අහේතුකප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ මහාභූතයෝ ය අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු හේතු ආරම්මණ දෙක බැහැර කෙරෙති. “එකං” අඤ්ඤමඤ්ඤය බැහැර කිරීමක් නැත.

නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ උපාදායරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදාය රූපයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “එකං”

මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” හේතු ආරම්මණ මූලක නිස්සය තිකය සහජාත තිකය මෙනි. උපනිස්සය තිකය අනන්තර තිකය මෙනි.

හේතුආරම්මණමූලක පුරේජාත තිකයෙහි ආරම්මණප්‍රත්‍යය බැහැර කිරීමක් ද නැත. පුරේජාතය බැහැර කරනු. හේතු ආරම්මණ දෙක බැහැර කිරීමක් ද නැත. අරූපවිපාක සතර ය අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහවර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහා ක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු හේතුආරම්මණ දෙක්හි ප්‍රත්‍යයෝත්පන්න වී පුරේජාතය බැහැර කෙරෙති. “තීණි” අහේතුක චිත්තජ රූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “එකං”

මෝහමූලද්වයයෙහි මෝහයෙන් හා අරූපවිපාකයන් ගෙන් අන්‍ය වූ පඤ්චවෝකාර සහේතුක ප්‍රවෘත්තිනාමස්කන්‍ධයෝ ප්‍රත්‍යය තුනෙහි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. අනුලෝමයෙහි “තීණි” දුකය අනුව විස්තර කරනු.

හේතු ආරම්මණමූලක ආසේවනතිකයෙහි ආරම්මණය බැහැර කිරීමක් නැත. ආසේවන දුකය ශුද්ධ කරනු. හේතු ආරම්මණ දෙක බැහැර කිරීමක් නැත. මෝහමූලද්වයෙහි මෝහවර්ජිත අකුශල මහා කුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, සහේතුක විපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. ‘තීණි’ අහේතුක චිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, පච්චනීයෙහි “එකං”

මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහා ක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර මාර්‍ගයෝ ය යන නාමස්කන්‍ධයෝ ප්‍රත්‍යය තුනෙහිම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. ‘තීණි’

හේතුආරම්මණ මූලක කම්මතිකයෙහි ආරම්මණ කම්මදුකය ශුද්ධ කරනු. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ හේතුආරම්මණ දෙක බැහැර කෙරෙති. ‘එකං’

කුශලා කුශල සහේතුක ක්‍රියා චේතනාවෝ කර්‍ම ප්‍රත්‍ය බැහැර කෙරෙති. ‘තීණි’ බාහ්‍ය ආහාරජ සෘතුජරූපයෝ, පච්චනීයයෙහි ‘එකං’

මෝහමූලද්වයෙහි මෝහය හා කුශලාකුශලක්‍රියා චේතනා ද වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’

හේතුආරම්මණ මූලක විපාක තිකයෙහි ආරම්මණවිපාක දුකය ශුද්ධ කරනු. විපාක චිත්තයන් උපදවන අහේතුක චිත්තජ රූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතුආරම්මණ දෙක බැහැර කෙරෙති. ‘එකං’

මෝහමුලද්වයෙහි මෝහවර්ජිත කුශලා කුශල සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයෝ විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘තීණි’

අහේතුකක්‍රියාචිත්තජ රූපයෝය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘එකං’ සහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “එකං”

හේතුආරම්මණමූලක ආහාරතිකයෙහි ආරම්මණ ආහාර දුකය ශුද්ධ කරනු. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ රූපයෝ හේතුආරම්මණ දෙක බැහැර කෙරෙති. “එකං” ආහාරය බැහැර කිරීමක් නැත. සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ පච්චනීයයෙහි “එකං” මෝහමූලද්වයෙහි මෝහයෙන් අන්‍ය වූ සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”

හේතුආරම්මණ මූලක ඉන්‍ද්‍රියතිකයෙහි ආරම්මණ ඉන්‍ද්‍රියදුකය ශුද්ධ කරනු. අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ හේතු ආරම්මණ දෙක බැහැර කෙරෙති. ‘එකං’ ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූප ජීවිතේන්‍ද්‍රියයෝය, පච්චනීයයෙහි “එකං” මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”

හේතුආරම්මණ මූලකඣානතිකයෙහි දුකශුද්ධිය කරනු. අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ හේතුආරම්මණ දෙක බැහැර කෙරෙති. ‘එකං’ ධ්‍යානය බැහැර කිරීමක් නැත. බාහ්‍ය ආහාරජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, පච්චනීයයෙහි “එකං” මෝහමූලද්වයයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”

හේතුආරම්මණ මූලක මග්ගතිකයෙහි දුකසුද්ධිය කරනු. හේතු ආරම්මණයන් බැහැර කිරීමක් නැත. අහේතුක චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ පච්චනීයයෙහි “එකං” හේතුආරම්මණ මූලක සම්පයුත්තතිකය අනන්තරතිකය මෙනි.

හේතුආරම්මණමූලක විප්පයුත්තතිකයෙහි දුකසුද්ධිය කරනු. අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ හේතුආරම්මණයන් බැහැර කෙරෙති. අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය වර්ජිතවූ ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූප ක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ විප්පයුත්තය බැහැර කෙරෙති. “තීණි” බාහ්‍ය ආහාරජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ පච්චනීයයෙහි “එකං” මෝහමූලද්වයයෙහි මෝහය හා අරූපවිපාකවර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’ හේතුආරම්මණමූලක අත්‍ථිතිකය සහජාතතිකය මෙනි. නත්‍ථිවිගතතික දෙක අනන්තරතිකය මෙනි.

තිකවාරය නිමි