නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
විවිත්ත මති ගම්භීර මනන්ත නය මණ්ඩිතං,
පට්ඨානං සම්මසන්තස්ස විමලා මිත බුද්ධියා.
-
යස්ස දෙහා නික්ඛමිංසු සුභා ඡබ්බණ්ණ රංසියො,
නීල පීතා රත්ත සෙතා මඤ්ජිට්ඨා ච පභස්සරා.
-
තං ලොකනාථං සුගතං ධම්මඤ්ච ජින සෙවිතං,
සඞ්ඝං නිරඞ්ගණං සෙට්ඨං නමාමි සිරසාදරං.
මේ මහා භද්‍ර කල්පයෙන් චතුරසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයකට පූර්‍වයෙහි ලොව පහළ වී වදාළා වූ සකල ලෝක ශිවඞ්කර වූ දීපඞකර සර්‍වඥ රාජෝත්තමයාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මාලෝකයෙන් ජනසන්තානගත මෝහාන්‍ධකාරය දුරු කෙරෙමින් වැඩ වෙසෙන සමයෙහි, තමන් වහන්සේ අතට පත් අමා මහ නිවන් සුවය සකල සත්ත්‍වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් හැර, අපමණ දුක් ඇති සසර කතරට බැස, සරාසකි කප් සුවහස් මුළුල්ලෙහි අසරණ සත්ත්‍වයන් නිසා අපමණ දුක් විඳිමින් දානාදි සමත්‍රිංශත් පාරමී ධර්‍මයන් සම්පූර්‍ණ කොට සර්‍වඥපදප්‍රාප්ත වූ අප ශ්‍රී සිද්ධාර්‍ථ ගෞතම ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්සේ, සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සත් වන වස ඇසළ පුණු පොහෝ දිනයෙහි, සැවැත්නුවර ගණ්ඩම්බ නම් වෘක්‍ෂ මූලයෙහි ප්‍රාතිහාර්‍ය්‍ය පාම්හ යි තමන් වහන්සේ ලුහු බැඳ ආ තීර්‍ථකයන් ගේ මාන මර්‍දනය පිණිස හා බුද්ධබලය දක්නා සජ්ජනයන් ගේ ප්‍රසාදය පිණිස ද අනන්‍යසාධාරණ වූ යමක ප්‍රාතිහාර්‍ය්‍යය දක්වා අවසානයෙහි පෙර බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්‍මය පරිදි තුන් පියවරකින් තව්තිසා දෙව්ලොවට වැඩ වදාරා එහි පාරිච්ඡත්‍රක නම් වූ සුරදම මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම් වූ දිව්‍ය ශෛලාසන මතුයෙහි උදාගිරි පර්‍වත මස්තකයට පත් සූර්‍ය්‍ය මණ්ඩලය සේ සවනක් ගන බුදුරැස් මාලාවෙන් දිළියෙමින් දසදහසක් සක්වළින් පැමිණි දේවබ්‍රහ්ම ගණයා පිරිවරා වැඩ හිඳ, මාතෘදේවරාජයා ප්‍රධාන කොට දෙවි බඹ පිරිස අමතා “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා” යනාදීන් අභිධර්‍ම පිටකය දේශනය කරනසේක් ධර්‍මසඞ්ගණී ප්‍රකරණය ය, විභඞ්ගප්‍රකරණය ය, ධාතුකථා ප්‍රකරණය ය, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය ය, කථාවස්තු ප්‍රකරණය ය, යමක ප්‍රකරණය ය යන ප්‍රකරණයන් පිළිවෙලින් දේශනය කොට, අවසානයෙහි පරඹ ගම්භිර වූ අනන්ත නය සමන්‍වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය දේශනය කළ සේක. ඒ මහා ප්‍රකරණයෙහි ප්‍රත්‍යය විභඞ්ග වාරය ය, මහාවාරය ය යි වාර දෙකක් ඇත්තේ ය. එයින් ප්‍රත්‍යය විභඞ්ග වාරය පළමු කොට වදාළ සේක. එය ද ප්‍රත්‍යයෝද්දෙශ ප්‍රත්‍යය නිර්දේශ වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ප්‍රත්‍යයෝද්දෙශය පළමු කොට වදාළ සේක.
ඒ මෙසේ ය. හෙතු පච්චයො, ආරම්මණ පච්චයො, අධිපති පච්චයො, අනන්තර පච්චයො, සමනන්තර පච්චයො, සහජාත පච්චයො, අඤ්ඤමඤ්ඤ පච්චයො, නිස්සය පච්චයො, උපනිස්සය පච්චයො, පුරෙජාත පච්චයො, පච්ඡාජාත පච්චයො, ආසෙවන පච්චයො, කම්ම පච්චයො, විපාක පච්චයො, ආහාර පච්චයො, ඉන්‍ද්‍රිය පච්චයො, ඣාන පච්චයො, මග්ග පච්චයො, සම්පයුත්ත පච්චයො, විප්පයුත්ත පච්චයො, අත්‍ථිපච්චයො, නත්‍ථි පච්චයො, විගත පච්චයො, අවිගත පච්චයො, ති.
එහි පදාර්ථ මෙසේ ය. හෙතු පච්චයො, හේතු භාවයෙන් උපකාරක ධර්‍මය ය, ආරම්මණ පච්චයො, ආරම්මණ භාවයෙන් උපකාරක ධර්‍මය ය, අධිපති පච්චයො, අධිපති භාවයෙන් උපකාරක ධර්‍මය ය, අනන්තර පච්චයො, අනන්තර භාවයෙන් උපකාරක ධර්‍මය ය, සමනන්තර පච්චයො, සමනන්තර භාවයෙන් උපකාරක ධර්‍මය ය, සහජාත පච්චයො, සහජාත භාවයෙන් උපකාරක ධර්‍මය ය, අඤ්ඤමඤ්ඤ පච්චයො, අන්‍යෝන්‍ය භාවයෙන් උපකාරක ධර්‍මය ය, නිස්සය පච්චයො, නිඃශ්‍රය භාවයෙන් උපකාරක ධර්‍මය ය, උපනිස්සය පච්චයො, බලවත් හේතු භාවයෙන් උපකාරක ධර්‍මය ය, පුරෙජාත පච්චයො, පෙරාතුව ඉපිද පැවතීම් වශයෙන් උපකාරක ධර්‍මය ය, පච්ඡාජාත පච්චයො, පසුව ඉපිද පූර්‍වයෙහි උපන් ධර්‍මයන්ට උපකාරක ධර්‍මය ය, ආසෙවන පච්චයො, තමා ගේ ස්වභාවය ප්‍රදානය කිරීම් වශයෙන් උපකාරක ධර්‍මය ය, කම්ම පච්චයො, චිත්ත ප්‍රයෝග සඞ්ඛ්‍යාත ක්‍රියා භාවයෙන් උපකාරක ධර්‍මය ය, විපාක පච්චයො, නිරුත්සාහ ශාන්තභාව සඞ්ඛ්‍යාත විපාක ස්වභාවයෙන් උපකාරක ධර්‍මය ය, ආහාර පච්චයො, උපස්තම්භක භාවයෙන් උපකාරක ධර්‍මය ය, ඉන්‍ද්‍රිය පච්චයො, ඊශ්වර භාවයෙන් උපකාරක ධර්‍මය ය, ඣාන පච්චයො, එළඹ බැලීම් වශයෙන් උපකාරක ධර්‍මය ය, මග්ග පච්චයො, එතර කරවීම් වශයෙන් උපකාරක ධර්‍මය ය, සම්පයුත්ත පච්චයො, සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාරක ධර්‍මය ය, විප්පයුත්ත පච්චයො, විප්‍රයුක්ත භාවයෙන් උපකාරක ධර්‍මය ය, අත්‍ථි පච්චයො, විද්‍යමාන භාවයෙන් උපකාරක ධර්‍මය ය, නත්‍ථි පච්චයො, අවිද්‍යමාන භාවයෙන් උපකාරක ධර්‍මය ය, විගත පච්චයො, පහවීම් වශයෙන් උපකාරක ධර්‍මය ය, අවිගත පච්චයො ති, නො පහවීම් වශයෙන් උපකාරක ධර්‍මය ය (යන මේ සූවිසි දෙනෙක් වූ ප්‍රත්‍යය ධර්‍මයෝ මහා ප්‍රකරණයෙහි සිටියාහු ය.)