(හේතුමූලක ඉන්‍ද්‍රිය සභාගය)

star_outline

හේතුමූලක ඉන්‍ද්‍රිය සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ප්‍රඥාවෙන් අන්‍ය වූ නාමේන්‍ද්‍රිය ධර්‍ම සත වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය, පඤ්චවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන රූපජීවිතේන්‍ද්‍රිය සඞ්ඛ්‍යාත රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය යන මොවුහු ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය වී හේතුප්‍රත්‍යය නො වන බැවින් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත”

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුක චිත්තජ සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන අමෝහයෙන් අන්‍ය හේතූහු හේතු ප්‍රත්‍යය වී ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය නොවීමෙන් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න ඉන්‍ද්‍රියෙ සත්ත,”

සකලාරම්මණප්‍රත්‍යය ය, ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතු සයෙන් හා නාමේන්‍ද්‍රිය අටෙන් අන්‍ය වූ සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන මහාභූතයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ හෘදයවස්තූහු ය යන සහජාත ප්‍රත්‍යය ය, අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය, ප්‍රකෘතෝපනිඃශ්‍රයප්‍රත්‍යය ය, වස්තුපුරේජාත ප්‍රත්‍යය ය, පශ්චාජ්ජාතප්‍රත්‍යය ය, නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය ය, රූපාහාර ප්‍රත්‍යය යන මේ ප්‍රත්‍යයෝ සත්දෙන හේතුප්‍රත්‍යය ද නොවෙති. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ද නො වෙති. පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ඉන්‍ද්‍රියෙ සත්තරස”

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුකචිත්තජරූප සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය හේතුප්‍රත්‍යය ද වේ. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ද වේ. එබැවින් මේ අනුලෝමයෙහි “හෙතුපච්චයා ඉන්‍ද්‍රියෙ චත්තාරි” යි වදාළ සේක. චත්තාරි යනු කුසලො කුසලස්ස, කුසලො අබ්‍යාකතස්ස, කුසලො කුසලාබ්‍යාකතස්ස අබයාකතො අබ්‍යාකතස්ස යන වාර සතරය. කුසලො කුසලස්ස යන වාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරෙහි හා මහද්ගතලෝකෝත්තර කුශලයන්හි ද ඇති අමෝහය ලැබේ, සම්ප්‍රදාන පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයෝ ලැබෙත්. “කුසලො -පෙ- කුසලා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං හෙතුපච්චයෙන පච්චයො” යි උදුළ යුතු ය. ඉතිරි වාර තුන ද මෙය අනුව විස්තර කරනු,