19. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය

star_outline

පෙර පසු නො වී එක වර ඉපදීම ය, එක වර ම නිරුද්ධ වීම ය, එක් අරමුණක් ගැනී ම ය, එක් වස්තුවක පිහිටීම ය යන ලක්‍ෂණ සතරෙන් හෝ එහි පූර්‍ව ලක්‍ෂණ තුනෙන් හෝ එකක් අනෙක තුළට පිවිසියාක් මෙන් එකකින් අනෙක ගිලගත්තාක් මෙන් ඒකත්‍වයට පැමිණියාක් මෙන් අන්‍යෝන්‍ය මිශ්‍රත්‍වයෙන් උපදනා වූ චිත්තචෛතසික ධර්‍මයන් ගේ ඒ මිශ්‍රත්‍වයට පැමිණෙන ස්වභාවය සම්ප්‍රයුක්තතාවය ය. මෙය අරූප ධර්‍මයන්හි මිස රූප ධර්‍මයන්හි නො ලැබෙන්නේ ය. පැහැයකට ද්‍රව්‍යයකින් තොර ව නො පැවතිය හැකි වන්නාක් මෙන් චිත්තචෛතසිකයන් ගෙන් එකකඑවත් සම්ප්‍රයුක්ත වන තවත් ධර්‍ම නොලැබ හුදකලාව නො ඉපදිය හැකි ය චිත්ත චෛතසික යන්ගෙන් එක එකක ඉපදීමට තමන් හා සම්ප්‍රයුක්ත ව උපදනා ධර්‍ම බොහෝ ගණනක් ලැබිය යුතුය. සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්‍මය තමා සම්ප්‍රයුක්ත වන ධර්‍මයන්ගේ උත්පත්තියට මහත් වූ උපකාරයෙක. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය යයි කියනුයේ සම්ප්‍රයුක්ත වීම් වශයෙන් අන්‍ය ධර්‍මයනට උපකාර වන චිත්තචෛතසිකයනට ය. සම්ප්‍රයුක්ත භාවය අන්‍යෝන්‍ය වශයෙන් සිදුවන්නකි. අන්‍ය ධර්‍මයක් හා සම්ප්‍රයුක්ත වන ධර්‍මය තමා සම්ප්‍රයුක්ත වන ධර්‍මයා ගේ තමා හා සම්ප්‍රයුක්ත භාවය ද ලබන්නේ ය. චිත්තචෛතසික සියල්ලෙහි තමන් අන්‍යයන් හා සම්ප්‍රයුක්ත වන ස්වභාවය ද අන්‍යයන් ගේ සම්ප්‍රයුක්ත වීම තමන් ලබන්නා වූ පිළිගන්නා වූ ස්වභාවය ද ඇත්තේ ය. එක් එක් ධර්‍මයක් සම්ප්‍රයුක්ත වීම් වශයෙන් අන්‍ය ධර්‍මයන් හට උපකාර වෙමින් තමන් උපකාර වන ධර්‍මයන් ගේ සම්ප්‍රයුක්තත්‍වයෙන් තුමූ ද උපදිති. එබැවින් එක් ව උපදනා සකල චිත්තචෛතසිකයෝ ම සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ද වෙති. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෝත්පන්නයෝ ද වෙති. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය වන ධර්‍ම සියල්ල ම සහජාත ප්‍රත්‍යය ද අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ද වේ. ඒවායේ ලක්‍ෂණ හා ශක්ති වෙන වෙන ම තේරුම් ගත යුතු ය.

අඤ්ඤමඤ්ඤං යුජ්ජන්තී ති යුත්තා. යුජ ධාතුව කෙරෙන් ත ප්‍රත්‍යය ව යුත්ත කියා වේ. යම් ධර්‍ම කෙනෙක් ඒකත්‍වයට පැමිණෙන්නාක් මෙන් ඔවුනොවුන් සම්බන්‍ධ වෙද්ද ඒ ධර්‍මයෝ යුත්ත නම් වෙති. සමං එකුප්පාදාදීහි පකාරෙහි යුත්තා සම්පයුත්තා. සම ව එකෝත්පාදාදි ප්‍රකාරයෙන් ඔවුනොවුන් සම්බන්‍ධ වන ධර්‍මයෝ සම්ප්‍රයුක්ත නම් වෙති.