ඝටනා

star_outline

සභාගවාරයට අනතුරු ව ඝටනාවාරය වදාළ සේක. මිස්සකඝටනා ය, පකිණ්ණකඝටනා ය, සහජාතඝටනා ය යි එහි කොටස් තුනෙකි. අත්‍ථි අවිගත ඝටනාව ය, සනිස්සය ඝටනා ව ය, සනිස්සය විප්පයුත්ත ඝටනාව ය යි මිස්සකඝටනා තුනෙකි.

(1) එයින් අත්‍ථි අවිගත ඝටනාව මෙසේ ය: සකල සහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය රූප ජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ “ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත”

(2) සනිස්සය ඝටනාව මෙ සේ ය: සකල සහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ “ඉන්‍ද්‍රිය නිස්සය අත්‍ථි අවිගතන්ති සත්ත”

(3) සනිස්සය විප්පයුත්ත ඝටනාව මෙ සේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය හා පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය “ඉන්‍ද්‍රිය නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

මිස්සක ඝටනාවන්ට අනතුරුව පකිණ්ණක ඝටනාව වදාළ සේක. පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්ච වස්තූහු “ඉන්‍ද්‍රිය නිස්සය පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

මිස්සකඝටනාවන්ට අනතුරුව සහජාත ඝටනා වදාළ සේක. සාමඤ්ඤ ඝටනා ය, සමග්ග ඝටනා ය, සඣාන ඝටනා ය, සඣාන මග්ග ඝටනා ය, ආහාර ඝටනා ය, සාධිපති ආහාර ඝටනා ය, සාධිපති මග්ග ඝටනා ය, සහේතු මග්ග ඝටනා ය, සහේතු අධිපති මග්ග ඝටනාය යි සහජාත ඝටනා කොටස් නවයෙකි.

සාමඤ්ඤ ඝටනා ද අවිපාක සවිපාක වශයෙන් දෙකොටසෙකි. සබ්බට්ඨානික ඝටනාව ය, ස අඤ්ඤමඤ්ඤ ඝටනාව ය, ස අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය යි අවිපාක ඝටනා සතරෙකි.

(1) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍මයෝ “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති සත්ත”

(2) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රියයෝ “ඉන්‍ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගතන්ත් තීණි”

(3) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍මයෝ “ඉන්‍ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(4) සවිප්පයුත්ත ඝටනාව මෙසේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය අට “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

මේ අවිපාක ඝටනා සතර ය.

(1) සවිපාක ඝටනා පස මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකනාමේන්‍ද්‍රිය අට “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං” (2) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාක නාමේන්‍ද්‍රිය අට “ඉන්‍ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං” (3) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍ය වන විපාක නාමේන්‍ද්‍රිය අට “ඉන්‍ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” (4) චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක නාමේන්‍ද්‍රිය අට “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” (5) හෘදය වස්තුවට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිනාමේන්‍ද්‍රියයෝ “ඉන්‍ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්පයුත්ත අත්‍ති අවිගතන්ති එකං” මේ සවිපාක ඝටනා පස ය.

සාමාන්‍ය ඝටනා නවය නිමි.

සාමාන්‍ය ඝටනාවන්ට අනතුරුව සමාර්‍ග ඝටනාවෝ වදාරන ලදහ. එහි ද අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙකොටසකෙි. අවිපාක ඝටනා සතරෙකි, සවිපාක ඝටනා පසෙකි. අවිපාක ඝටනා සතර මෙ සේ ය: සබ්බට්ඨානික ඝටනාදි විභාගය කරනු. සම්ප්‍රයුක්ත ස්කන්‍ධ චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය සති ඒකග්ගතා පඤ්ඤා වන මොවුහු “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය මග්ග අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤය ද අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙකද විප්පයුත්තය ද යොදා විස්තර කරනු.

සවිපාක ඝටනා පස මෙසේ ය: සබ්බට්ඨානික ඝටනාදි විභාගය කරනු. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි ඇති විරිය සති ඒකග්ගතා පඤ්ඤා යන මොවුහු “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විපාක මග්ග අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි සතර අඤ්ඤමඤ්ඤ ද අඤ්ඤමඤ්ඤය හා සම්පයුත්තය ද විප්පයුත්තය ද අඤ්ඤමඤ්ඤ හා විප්පයුත්තය ද පිළිවෙලින් යොදා විස්තර කරනු. මේ සවිපාක ඝටනා පස ය.

සමාර්‍ග ඝටනා නවය නිමි.

සමාර්‍ගඝටනාවන්ට අනතුරු ව සඣ්‍යානඝටනාවෝ වදාරන ලදහ. එහි ද අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙකොටසෙකි. අවිපාකඝටනා සතරෙකි. සවිපාකඝටනා නවයෙකි. අවිපාක ඝටනා සතර මෙ සේ ය: සබ්බට්ඨානිකඝටනාදි විභාගය කරනු. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යයවන වේදනා ඒකග්ගතා දෙක “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය ඣාන අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤය ද, අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙක ද, විප්පයුත්තය ද පිළිවෙලින් යොදා විස්තර කරනු. මේ අවිපාක ඝටනා සතර ය.

සවිපාක ඝටනා පස මෙ සේ ය: සබ්බට්ඨානික ඝටනාදි විභාගය කරනු. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි ඇති වේදනා ඒකගත්තා දෙක “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විපාක ඣාන අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි සතර විස්තර කරනු. මේ සවිපාක ඝටනා පස ය.

සඣානඝටනා නවය නිමි.

සඣාන මග්ග ඝටනාවෝ ද අවිපාක සවිපාක වශයෙන් දෙවැදෑරුම් වෙත්. අවිපාක ඝටනා සතරෙකි. සවිපාක ඝටනා පසෙකි. එයින් අවිපාක ඝටනා සතර මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ඒකගත්තාව “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය ඣාන මග්ග අත්‍ථි අවිගතන්ති සත්ත” ඉදිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤය ද, අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත දෙක ද විප්පයුත්තය ද පිළිවෙලින් යොදා විස්තර කරනු. මේ අවිපාක ඝටනා සතරය.

සවිපාක ඝටනා පස මෙ සේ ය: සබ්බට්ඨානිකාදි විභාගය කරනු. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක ඒකග්ගතාව “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විපාක ඣාන මග්ග අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝනා සතර අඤ්ඤමඤ්ඤය ද, අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙක ද, විප්පයුත්තය ද, අඤ්ඤමඤ්ඤ විප්පයුත්ත දෙක ද, පිළිවෙලින් යොදා විස්තර කරනු. මේ සවිපාක ඝටනා පස ය.

සඣාන මග්ග ඝටනා නවය නිමි.

සඣාන මග්ග ඝටනාවන්ට අනතුරු ව සආහාරඝටනාවෝ වදාරන ලදහ. එහි ද අවිපාක සවිපාක වසයෙන් ඝටනා දෙකොටසෙකි. අවිපාක ඝටනා සතරෙකි. සවිපාකඝටනා පසෙකි. අවිපාකඝටනා සතර මෙ සේ ය: සබ්බට්ඨානිකාදි විභාගය කරනු. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විඤ්ඤාණාහාරය “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය ආහාර අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා තුන පාලිය අනුව විස්තර කරනු.

සවිපාකඝටනා පස මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක විඤ්ඤාණාහාරය “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විපාක ආහාර අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි සතර පාලිය අනුව විස්තර කරනු.

ස ආහාර ඝටනා නවය නිමි

ස ආහාරඝටනාවන්ට අනතුරු ව සාධිපති ආහාරඝටනාවෝ වදාරන ලදහ. එහි අවිපාකඝටනා තුනක් හා සවිපාකඝටනා තුනක් ද වෙති. අවිපාකඝටනා තුන මෙසේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය “ඉන්‍ද්‍රියාධිපති සහජාත නිස්සය ආහාර අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා දෙක අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙක ද විප්පයුත්තය ද යොදා විස්තර කරනු.

සවිපාක ඝටනා තුන මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතර වූ චිත්තාධිපතිය ඉන්‍ද්‍රියාධිපති සහජාත නිස්සය විපාක ආහාර අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි දෙක අඤ්ඤමඤ්ඤ සම්පයුත්තයන් හා විප්පයුත්තය ද යොදා විස්තර කරනු.

සාධිපති ආහාරඝටනා සය නිමි.

සාධිපති ආහාර ඝටනාවන්ට අනතුරු ව සාධිපති මග්ග ඝටනාවන් වදාරන ලදහ. එහි ද අවිපාක ඝටනා තුනෙකි. සවිපාක ඝටනා තුනෙකි. අවිපාක ඝටනා තුන මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීර්‍ය්‍යාධිපතිය “ඉන්‍ද්‍රියාධිපති සහජාත නිස්සය මග්ග අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා දෙක අඤ්ඤමඤ්ඤ සම්පයුත්තයන් හා විප්පයුත්තය යොදා විස්තර කරනු.

සවිපාකඝටනා තුන මෙ සේ ය: සම්පයුත්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන විරියාධිපතිය “ඉන්‍ද්‍රියාධිපති සහජාත නිස්සය විපාක මග්ග අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි දෙක අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙක හා විප්පයුත්තය යොදා විස්තර කරනු.

සාධිපති මග්ග ඝටනා සය නිමි.

සාධිපතිමග්ග ඝටනාවන්ට අනතුරුව සහේතු මග්ග ඝටනාවන් වදාළ සේක. එහි අවිපාකඝටනා සතරෙකි. සවිපාක ඝටනා පසෙකි. අවිපාක ඝටනා සතර මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය - “ඉන්‍ද්‍රිය හෙතු සහජාත නිස්සය මග්ග අත්‍ථි අවිගතන්ති චත්තාරි.” ඉතිරි ඝටනා තුන හේතු ඝටනා අනුව විස්තර කරනු.

සවිපාකඝටනා සතර මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකචිත්තයන්හි අමෝහය “ඉන්‍ද්‍රිය සහජාත නිස්සය විපාක මග්ග අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි වාර සතර හේතු ප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු.

සහේතු මග්ග ඝටනා නවය නිමි.

සහේතු මග්ග ඝටනාවන්ට අනතුරු ව සහේතු අධිපති මග්ග ඝටනාවෝ වදාරන ලදහ. එහි අවිපාක ඝටනා තුනෙකි. සවිපාක ඝටනා තුනෙකි. අවිපාක ඝටනා තුන මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකාමෝහය - “ඉන්‍ද්‍රිය හෙතු අධිපති සහජාත නිස්සය මග්ග අත්‍ථි අවිගතන්ති චත්තාරි” ඉතිරි දෙක විස්තර කරනු.

සවිපාක ඝටනා තුන මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්තයන්හි වීමංසාධිපතිය - “ඉන්‍ද්‍රිය හෙතු අධිපති සහජාත නිස්සය විපාක මග්ග අත්‍ථි අවිගතන්ති එකං.” ඉතිරි දෙක විස්තර කරනු.

සහේතු අධිපති මග්ග ඝටනා සය නිමි.

ඉන්‍ද්‍රියමිශ්‍රකයෙහි සභාගවාර තුදුසෙකි. මිශ්‍රකඝටනා තුන ය, ප්‍රකීර්‍ණකඝටනාව ය, සහජාත ඝටනා දෙසැත්තෑව ය යි ඝටනා සසැත්තෑවක් වේ.