හේතුප්‍රත්‍යය විභඞ්ගවාරයට අනතුරු ව ආරම්මණප්‍රත්‍යය විභඞ්ගය වදාළ සේක. එහි ද කුසලපදවාරය ය, අකුසලපදවාරය ය, අබ්‍යාකතපදවාරය යි වාර තුනක් ඇත්තේ ය. එයින් කුශලපද වාරය පළමුකොට වදාළ සේක. එහි ද කුසලපදාවසාන වාරය ය, අකුසලපදාවසානවාරය ය, අබ්‍යාකතපදාවසාන වාරය යි අවසානපද වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එයින් කුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. එද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. එනම් “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො” යනුයි. වීථියට අනුතරු ව අනුවාදය වදාළ සේක. එනම් “දානං දත්‍වා සීලං සමාදියිත්‍වා උපොසථකම්මං කත්‍වා -පෙ- පච්චයො” යනු යි. පදාර්‍ථ සුගම ය.
වීථිපාලියෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්ස ය චෛතසික අටතිසය ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. “කුසලස්ස ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් මහා කුසල්සිත් අට ය, විඤ්ඤාණඤ්චායතන කුසලය ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලය ය, ඉද්ධිවිධ චේතෝපරිය පුබ්බෙනිවාසානුස්සති යථාකම්මූපග අනාගතංස කුසලාභිඤ්ඤාවෝ ය විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික තෙතිසය යන නාමස්කන්‍ධයෝ ලැබෙත්. විස්තර වශයෙන් මෙසේ ය. කර්‍තෘපාඨයෙන් මහාකුසල ඤාණවිප්පයුත්ත සිත් සතරට ප්‍රත්‍යය වන ලෞකික කුසල් සතොළොස ය, මහාකුසල ඤාණසම්පයුත්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ගවර්ජිත කුසල් සිත් විස්ස ය, විඤ්ඤාණඤ්චායතන කුසලයට ප්‍රත්‍යය වන වර්‍තමාන භවයෙහි හා අතීත භවයෙහි ස්වසන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසලය ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලයට ප්‍රත්‍යය වන වර්‍තමාන භවයෙහි හා අතීත භවයෙහි ස්වසන්තානයෙහි උපන් ආකිචඤ්ඤායතන කුසලය ය, ඉද්ධිවිධ කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන පාදකරූපාවචර පඤ්චමධ්‍යාන කුශලය ය, චේතෝපරියකුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අතීතයෙන් සත්දිනක් ද අනාගතයෙන් සත්දිනක් ද ඇතුළු කාලත්‍රයයෙහි වූ අර්‍හන්මාර්‍ගයෙන් අන්‍ය වූ අන්‍යසත්ත්‍වයන් ගේ කුසල් සිත් විස්ස ය, පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන පෙරජාතිවල උපන් අර්‍හන්මාර්‍ගයෙන් අන්‍ය වූ කුසල් සිත් විස්ස ය, යථාකම්පූපගකුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අතීත ලෞකික කුශලධර්‍මයෝ ය, අනාගතංස කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්සය, චෛතසික අටතිසය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයේ අභිධෙය වශයෙන් කියන ලද ධර්‍ම අරමුණු කොට උපදනා චිත්තචෛතසිකයෝ ලැබෙත්. “ආරම්මණපච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබිය හැකි ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන ප්‍රත්‍යය ශක්තිතුන අතුරෙන් ආරම්මණසඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ.
දානං දත්‍වා තං පච්චවෙක්ඛති යන අනුවාදපාලියෙහි “දානං දත්‍වා” යනුවෙන් දැක්වෙන පරිත්‍යාගචේතනා ප්‍රධාන කාමාවචර කුශල චිත්තය ‘තං පච්චවෙක්ඛති’ යනුවෙන් දැක්වෙන මෙනෙහි කරන්නාවූ කාමාවචර කුශලචිත්තයට ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේය:- ආහාරපානාදි වස්තූන් දෙන කල්හි දෙන තැනැත්තහු ගේ ප්‍රතිසන්‍ධිචිත්තය හා සමාන වූ සිතක් කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තයන් අතුරෙන් එකක් අරමුණු කොට භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡෙද කෘත්‍යයෙන් ඉපද නිරුද්ධ වූ පසු ආහාරපානාදි දානවස්තු අරමුණු කොට මනෝද්වාරාවර්ජන චිත්තය ද මහාකුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරයක් ද ඉපද නිරුද්ධ වෙති. අනතුරුව එය විභූතාරම්මණ වීථියක් වේ නම් දෙවරක් තදාරම්මණ ඉපිද නිරුද්ධ වීමෙන් පසු භවාඞ්ගය වේ. අවිභූතාරම්මණ වීථියක් වේ නම් ජවනයට අනතුරු ව භවාඞ්ගය වේ. ඒ වීථියෙන් ආහාරාදි වස්තූන් දීම සිදුවේ. අනතුරු ව ඒ දානවස්තුව අරමුණු කොට තදනුවර්‍තක මනෝද්වාරවීථීහු උපදිති. පසුව ඒ දායකයා විසින් තමා ගේ සන්තානයෙහි උපන් පරිත්‍යාග චේතනාව ප්‍රධාන කොට ඇති කුශලචිත්තය මෙනෙහි කරන්නේ නම් ඔහු ගේ ප්‍රතිසන්‍ධිචිත්තය හා සමාන වූ සිතක් කර්‍මාදීන්ගෙන් එකක් අරමුණු කොට භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු ඒ දාන චේතනාව ප්‍රධාන කොට උපන් කාමාවචර කුශල චිත්තය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහාකුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත් වරක් ද ඉපද නිරුද්ධ වෙති. විභූතාරමම්ණවීථියක් වේ නම් එයට අනතුරුව තදාරම්මණය දෙවරක් ඉපදීමෙන් පසු භවාඞ්ගය වේ. අවිභූතාරම්මණවීථියක් වේ නම් ජවනයට අනතුරුව භවාඞ්ගය වේ. අනතුරුව ඒ පරිත්‍යාගචේතනාව ප්‍රධාන කොට උපන් කුශල චිත්තය අරමුණු කොට බොහෝ තදනුවර්‍තක මනෝද්වාරවීථීහු උපදිති. එසේ උපදනා කාමාවචර ජවනයන් අතුරෙන් පරිත්‍යාග චේතනාව ප්‍රධාන කොට ඇති කාමාවචර කුශලයන් ප්‍රත්‍යය භාවයෙන් ද ඒවා අරමුණු කොට පසු ව උපදනා කාමාවචරජවනයන් ප්‍රත්‍යයෝත්පන්නභාවයෙන් ද ගෙන පරිත්‍යාගචේතනාව ප්‍රධාන කොට ඇති කාමාවචරකුශලචිත්තය එය මෙනෙහිකිරීම් වශයෙන් පසු ව උපදනා කාමාවචර කුශලචිත්තයට ආරම්මණප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො” කුසලස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො” යි වදාළ සේක.
“සීලං සමාදියිත්‍වා තං පච්චවෙක්ඛති” යන අනුවාදපාලියෙහි සීලං සමාදියිත්‍වා යනුවෙන් ගැනෙන පඤ්චාඞ්ගසීල චේතනාව ප්‍රධාන කාමාවචර කුසල චිත්තය ‘තං පච්චවෙක්ඛති’ යනුවෙන් ගැනෙන ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලචිත්තයට ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය:- ප්‍රාණඝාතාදි අකුශල පසින් වළක්නා වූ තැනැත්තා හට තමාගේ ප්‍රතිසන්‍ධි චිත්තයට සමාන වූ සිතක් භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු ප්‍රාණඝාතයෙන් වළක්නේ වේ නම් රූපජීවිතේන්‍ද්‍රියය හෝ ඒ රූපජීවිතේන්‍ද්‍රිය අරමුණු කරන අකුශල චේතනාව ප්‍රධාන කොට ඇති දෝසමූල මෝහමූල චිත්තය හෝ ඒ දෝසමූල මෝහමූල චිත්තයන් විසින් උපදවන කායවිඥප්තිය හෝ අරමුණු කොට ද, අදත්තාදානයෙන් වළක්නේ වේ නම් පරිපරිගෘහිත වස්තුව හෝ එය අරමුණු කොට උපදනා අකුශල චේතනාව ප්‍රධාන කොට ඇති දොළොස් අකුශල චිත්තයන් හෝ ඒ සිත්වලින් උපදවන කාය විඥප්තිය හෝ අරමුණු කොට ද, කාමමිථ්‍යාචාරයෙන් වළක්නේ නම් පරස්ත්‍රීපුරුෂයන් හෝ ඔවුන් අරමුණු කොට උපදනා චේතනාව ප්‍රධාන කොට ඇති ලෝභමූල මෝහමූල චිත්තයන් හෝ ඒ සිත්වලින් උපදවන කායවිඥප්තිය හෝ අරමුණු කොට ද, මුසාවාදයෙන් වළක්නේ නම් අසත්‍යවස්තුව හෝ එය අරමුණු කොට උපදනා අකුශල චේතනාව ප්‍රධාන කොට ඇති දොළොස් අකුශල චිත්යන් හෝ ඒවායින් උපදවන කායවාක්විඥප්තීන් හෝ අරමුණු කොට ද සුරාපානයෙන් වළක්නේ නම් සුරාව හෝ එය අරමුණු කරන අකුශලචේතනාව ප්‍රධාන කොට ඇති ලෝභමූල මෝහමූල චිත්තයන් හෝ ඒ සිත්වලින් උපදවන කායවිඥප්තිය හෝ අරමුණු කොට ද මනෝද්වාරාවර්ජන චිත්තය හා මහාකුසල් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු එකොළොස් තදාරම්මණයන් ගෙන් එක් සිතක් තදාරම්මණකෘත්‍යයෙන් දෙවරක් උපන් පසු භවාඞ්ගය වේ. මේ වීථියෙන් ප්‍රාණඝාතාදියෙන් වැළකීම සිදුවේ. එයට අනතුරු ව තදනුවර්‍තක මනෝද්වාරවීථීහු සුදුසු පරිදි උපදනාහ. ප්‍රාණඝාතාදියෙන් වැළකුණා වූ පුද්ගලයා විසින් එය මෙනෙහි කරන කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධි චිත්තයට සමාන වූ සිතක් භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡෙද වශයෙන් දෙවරක් ඉපද නිරුද්ධ වූ පසු පඤ්චාඞ්ග ශීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලචිත්තයන් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද මහාකුසල් අට අතුරෙන් එක්තරා සිතක් ජවනකෘත්‍යයෙන් සත් වරක් ද ඉපද නිරුද්ධ වූ පසු විභූතාරම්මණ වීථියක් වේ නම් එකොළොස් තදාරම්මණයන්ගෙන් එක් සිතක් දෙවරක් ඉපදීමෙන් පසු භවාඞ්ගයෝ වෙති. අවිභූතාරම්මණවීථියක් වේ නම් ජවනයට අනතුරු ව භවාඞ්ගය වේ. මේ වීථියෙන් පඤ්චාඞ්ග ශීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලය ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ. අනතුරු ව සුදුසු පරිදි තදනුවර්‍තක මනෝද්වාරවීථීහු උපදිති. එසේ උපදනා කාමාවචර කුශල චිත්තයන්ගෙන් අනුවාදපාලියෙහි “සීලං සමාදියිත්‍වා තං” යනුවෙන් දැක්වෙන පඤ්චාඞ්ගශීල චේතනා ප්‍රධාන කාමාවචර කුශලචිත්තය ‘පච්චවෙක්ඛති’ යනුවෙන් දැක්වෙන ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලචිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො” යන වීථිපාලියෙන් දැක්වූ සේක. මේ පඤ්චාඞ්ගශීලයා ගේ වශයෙන් ප්‍රත්‍ය ප්‍රත්‍යයෝත්පන්න විභාගය ය.
දශාඞ්ගශීලයා ගේ වශයෙන් ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න විභාගය මෙසේය. ප්‍රාණඝාතාදි කර්‍ම දශයෙන් වළක්නා කල්හි තමාගේ ප්‍රතිසන්‍ධි චිත්තයට සමාන සිතක් භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු (පාණාතිපාතා අදින්නාදාන දෙකින් වැළකීමේ දී සිත් පිළිවෙල ඉහත කී පරිදි විස්තර කරනු) අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වළක්නේ නම් නුවණැතියන් පිළිකුල් කරන මෛථුන සේවනය හෝ එය අරමුණු කරන අකුශලචේතනාව ප්‍රධාන ලෝභමූල චිත්තයන් හෝ අරමුණු කොට ද, මුසාවාද පිසුණාවාච ඵරුසාවාච සම්ඵප්පලාපයන් ගෙන් වළක්නා කල්හි ඒ ඒ කර්‍මය සිදුකරන අකුශලචේතනාවන් ප්‍රධාන කොට ඇති ලෝභමූල දෝසමූල මෝහමූල චිත්තයන් හෝ ඒවායින් උපදවන වාක්විඥප්තිය හෝ අරමුණු කොට ද, (සුරාමේරය කර්‍මය ගැන කියන ලදි) විකාලභෝජනයෙන් වළක්නේ වේ නම් භෝජනයන්හි ඇති වර්‍ණගන්‍ධාදි අවයවයන් හෝ සකල භෝජනයම හෝ ඒ භෝජනයට ඇලුම් කරන ලෝභය ප්‍රධාන කොට ඇති චිත්තයන් හෝ අරමුණු කොට ද, නච්චගීත වාදිත විසූක දස්සනයෙන් වළක්නේ නම් නෘත්‍ය ගීතාදිය පිළිබඳ රූපශබ්දයෙන් හෝ ඒවාට ඇලුම්කරන ලෝභප්‍රධාන චිත්තයන් හෝ අරමුණු කොට ද මාලා ගන්‍ධ විලෙපන ධාරණාදියෙන් වළක්නේ නම් මාලාගන්‍ධාදියෙන් වර්‍ණගන්‍ධාදිය හෝ ඒවාට ඇලුම් කරන ලෝභසහගත චිත්තොත්පාදයන් හෝ අරමුණු කොට ද, උච්චාසයන මහාසයනයන් ගෙන් වළක්නේ නම් උච්චාසයන මහාසයනයන් හෝ ඒවායේ රූපාරම්මණ ඵොට්ඨබ්බාරම්මණයන් හෝ ඒවා අරමුණු කරන ලෝභසසහගත චිත්තයන් හෝ අරමුණු කොට ද, ජාතරූප රජතපටිග්ගහනයෙන් වළක්නේ නම් රන් රිදී ආදිය හෝ ඒවා අරමුණු කරන ලෝභප්‍රධාන චිත්තොත්පාදනයන් හෝ අරමුණු කොට ද, මනෝද්වාරාවර්ජන චිත්තය ද මහාකුසල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක් ද විභූතාරම්මණ වීථියක් වේ නම් එකොළොස් තදාරම්මණයන් ගෙන් එක් සිතක් දෙවරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු භවාඞ්ගයෝ වෙති. අවිභූතාරම්මණවීථියක් වේ නම් ජවනයට අනතුරු ව භවාඞ්ගපතනය වේ. මේ වීථිචිත්තයන්ගෙන් ප්‍රාණඝාතාදියෙන් වැළකීම සිදු වේ. ඒ වීථිවලට අනුතරුව සුදුසු පරිදි තදනුවර්‍තක මනෝද්වාරවීථීහු ද වෙති. ප්‍රාණඝාතාදියෙන් වැළකුණු තැනැත්තා විසින් ශීලචේතනාව ප්‍රධාන කාමාවචර කුශලය මෙනෙහි කරනු කැමති කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට සමාන වූ සිතක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු ශීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලය අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද මහාකුසල් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත් වරක් ද විභූතාරම්මණ වීථියක් වේ නම් එකොළොස් තදාරම්මණයන් ගෙන් එක් සිතක් දෙවරක් ද ඉපදීමෙන් පසු භවාඞ්ග පතනය වේ. අවිභූතාරම්මණ වීථියක් වේ නම් ජවනාවසානයේ භවාඞ්ගයෝ වෙති. අනතුරුව සුදුසු පරිදි තදනුවර්‍තක මනෝද්වාරවීථීහු වෙති. එසේ උපදනා චිත්තවීථින් ගේ ශීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලචිත්තයන් ඒවා අරමුණු කොට උපදනා කාමාවචර කුශල චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො” යනුවෙන් වදාළ සේක. මෙය දශශීලය පිළිබඳ ප්‍රත්‍යයප්‍රත්‍යයෝත්පන්න විභාගය ය.
“උපොසථ කම්මං කත්‍වා තං පච්චවෙක්ඛති” යන අනුවාද පාලියෙහි “උපොසථ කම්මං කත්‍වා” යනුවෙන් දැක්වෙන පෞෂථ ශීල චේතනා ප්‍රධාන කාමාවචරකුශලය ‘තං පච්චවෙක්ඛති’ යනුවෙන් දැක්වෙන ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. ප්‍රාණාතිපාතාදි කර්‍ම අටෙන් වළක්නා තැනැත්තා හට තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට සමාන සිතක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු (ඉහත කී පරිදි කර්‍ම අට ගැන කියනු.) -පෙ- අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද මහාකුසල් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් ද ඉපද නිරුද්ධ වූ පසු විභූතාරම්මණවීථියක් වේ නම් එකොළොස් තදාරම්මණයන් ගෙන් එක් සිතක් දෙවරක් තදාරම්මණකෘත්‍යයෙන් ඉපද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. අවිභූතාරම්මණ වීථියක් නම් ජවනාවසානයෙහි භවාඞ්ගය වේ. මේ චිත්තයන් ගෙන් ප්‍රාණාතිපාතාදියෙන් වැළකීම සිදු වේ. සෙස්ස දශශීලයෙහි කී පරිදි විස්තර කරනු.
(පඤ්චශීලය ගිහියන් ගේ නිත්‍යශීලය ය, දශශීලය සාමණේරයන්ගේ නිත්‍ය ශීලය ය. භික්‍ෂූන් ගේ චතුපාරිශුද්ධිශීලය හා වත්පිළිවෙත් ද “සීලංසමාදියිත්‍වා” යනුවෙහි ම සඞ්ග්‍රහ වෙති.)්
“පුබ්බෙ සුචිණ්ණානි පච්චවෙක්ඛති” යන අනුවාදපාලියෙහි “පුබ්බෙ සුචිණ්ණානි” යනුවෙන් දැක්වෙන දාන ශීල පෞෂථශීල චේතනා ප්‍රධාන කාමාවචර කුශලය “පච්චවෙක්ඛති” යනුවෙන් දැක්වෙන ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචරශීලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. පෙර පවත්වන ලද දාන ශීල පෞෂථශීල චේතනා ප්‍රධාන කාමාවචරකුශලය ප්‍රත්‍යවේක්‍ෂා කරනු කැමති කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධි චිත්තය හා සමාන සිතක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු පෙර ස්වසන්තානයෙහි ඇති වූ දාන ශීල පෞෂථශීල චේතනා ප්‍රධාන කාමාවචරකුශලය අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද කාමාවචරකුශල් සිත් අට අතුරෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක් ද ඉපද නිරුද්ධ වූ පසු විභූතාරම්මණ වීථියක් වේ නම් තදාරම්මණය දෙවරක් වීමෙන් පසු කාමභවාඞ්ගය වේ. අවිභූතාරම්මණවීථියක් වේ නම් සුදුසු භවාඞ්ගයක් වේ. මේ වීථියෙන් පෙර පවත්වන ලද දාන ශීල පෞෂථශීල චේතනා ප්‍රධාන කාමාවචරකුශලය ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ. අනතුරුව සුදුසු පරිදි තදනුවර්ථන මනෝද්වාර වීථීහු වෙති. එසේ උපදනා කාමාවචර කුසල චිත්තයන්ට පෙර පවත්වන ලද දානශීල පෞෂථශීල චේතනා ප්‍රධාන කාමාවචර කුශලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො” යනුවෙන් දැක්වූ සේක.
“ඣානා වුට්ඨහිත්‍වා ඣානං පච්චවෙක්ඛති” යන අනුවාදපාලියෙහි “ඣානං” යනුවෙන් කියැවෙන මහද්ගතකුශල නවය “පච්චවෙක්ඛති” යනුවෙන් දැක්වෙන ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුශලයට ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙ සේ ය. දශකසිණයන් අතුරෙන් යම්කිසි කසිණයක ප්‍රතිභාගනිමිත්තය ගෙන පඨවි පඨවි යනාදීන් පරිකර්‍ම කරන්නා වූ ප්‍රථමධ්‍යානය ලැබීමේ හේතු සම්පත් ඇත්තා වූ කාම ත්‍රිහේතුක පුද්ගලයාහට ඒ ප්‍රථම ධ්‍යානය ඉපදීමට සමීප වූ කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට සමාන වූ සිතක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේද වශයෙන් දෙවරක් ඉපද නිරුද්ධ වූ පසු කසිණ ප්‍රතිභාගනිමිත්තය අරමුණු කොට මනෝද්වාරාවර්ජන චිත්තය උපදී. අනතුරු ව මහාකුශල ප්‍රථම චිත්තද්වය අතුරෙන් යම්කිසි සිතක් ඒ පුද්ගලයා මන්‍දප්‍රාඥ දන්‍ධාභිඥයෙක් වේ නම් පරිකර්‍ම උපවාරය අනුලෝම ගෝත්‍රභූ වශයෙන් සතර වරක් ද තීක්‍ෂණප්‍රාඥ ක්‍ෂිප්‍රාභිඥ පුද්ගලයෙක් වේ නම් උපචාර අනුලෝම ගෝත්‍රභූ වශයෙන් තෙවරක් ද ඉපද නිරුද්ධ වූ පසු පස් වනු ව හෝ සතර වනු ව විතර්‍කාදි පඤ්චාඞ්ගයෙන් යුක්ත වූ ප්‍රථමධ්‍යාන චිත්තය එක් වරක් උපදනේ ය. අනතුරු ව කාමත්‍රිහේතුක භවාඞ්ග සතර අතුරෙන් යම්කිසි සිතක් භවාඞ්ග වශයෙන් උපදී.
ප්‍රථමධ්‍යානය ලැබූ ත්‍රිහේතුක පුද්ගලයා ඒ ප්‍රථමධ්‍යානයට අයත් විතර්‍කය මෙනෙහි කරනු කැමැති කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධි චිත්තයට -පෙ- නිරුද්ධ වූ පසු විතර්‍කය අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද අනතුරු ව මහාකුසල් අට අතුරෙන් යම්කිසි සිතක් ප්‍රත්‍යවේක්‍ෂා ජවන වශයෙන් සත් වරක් හෝ සතර වරක් පස් වරක් හෝ ඉපද නිරුද්ධ වූ පසු සුදුසු පරිදි භවාඞ්ගයෝ වෙති. මේ වීථියෙන් තමා ලැබූ ධ්‍යානයෙහි වූ විතර්‍කය දැන ගනී. එසේ ම විචාරය මෙනෙහි කරන්නා වූ වීථියක් ද, ප්‍රීතිය මෙනෙහි කරන්නා වූ වීථියක් ද සුඛය මෙනෙහි කරන්නා වූ වීථියක් ද, ඒකාග්‍රතාව මෙනෙහි කරන්නා වූ වීථියක් ද විතර්‍කාදි ධ්‍යානාඞ්ග සමූහය ම මෙනෙහි කරන්නා වූ වීථියක් ද ඇති වේ. මේ වීථිවලින් ප්‍රථමධ්‍යාන වීථියෙහි ධ්‍යානකුශලචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා වීථි සයෙහි කාමාවචර ජවනයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම ‘කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො” යනුවෙන් වදාළ සේක.
ප්‍රථමධ්‍යානය ලැබූ ත්‍රිහේතුක පුද්ගලයා ප්‍රථමධ්‍යාන සමාපත්තියට සමවදිනු කැමති කල්හි තමාගේ ප්‍රතිසන්‍ධි චිත්තයට -පෙ- නිරුද්ධ වූ පසු කසින ප්‍රතිභාග නිමිත්තය අරමුණු කොට මනෝද්වාරාවර්ජන චිත්තය ද මහාකුශල ප්‍රථමචිත්තද්වය අතුරෙන් එක් සිතක් මන්‍දප්‍රාඥ තීක්‍ෂණප්‍රාඥ පුද්ගලයන් ගේ වශයෙන් සතර වරක් හෝ තුන් වරක් පරිකර්‍ම උපචාර අනුලෝම ගෝත්‍රභූ යන නම්වලින් ඉපද නිරුද්ධ වූ පසු තීක්‍ෂණ ප්‍රාඥයාට සතර වැනි ජවනය වශයෙන් ද මන්‍දප්‍රාඥයාට පස් වන ජවනය වශයෙන් ද ධ්‍යානාඞ්ගපඤ්චකයෙන් යුක්ත වූ රූපාවචර ප්‍රථමධ්‍යාන චිත්තය භවාඞ්ගසන්නතිය සේ බොහෝ වර ගණනක් උපදනේ ය. අනතුරු ව කාමත්‍රිහේතුකභවාඞ්ග සතර ය රූපාවචර භවාඞ්ග පස ය යන මොවුන්ගෙන් එක් චිත්තයක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදී.
ප්‍රථමධ්‍යානයට සමවැදුණු ත්‍රිහේතුක පුද්ගල තෙමේ ධ්‍යානාඞ්ගයන් මෙනෙහි කරන කල්හි තමාගේ ප්‍රතිසන්‍ධි චිත්තයට -පෙ- පසු විතර්‍කය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ද මහා කුශල් අට අතුරෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් සත් වරක් හෝ සතර වරක් පස් වරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු කාමත්‍රිහේතුක භවාඞ්ග සතරය රූපාවචර භවාඞ්ග සතරය යන මොවුන්ගෙන් යම්කිසි සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදී. මේ වීථියෙන් තමා සමවැදුණු ප්‍රථමධ්‍යානයේ විතර්‍කය දැනගනී. අනතුරු ව විචාරය මෙනෙහි කරන වීථියක් ද ප්‍රීතිය මෙනෙහි කරන වීථියක් ද සුඛය මෙනෙහි කරන වීථියක් ද ඒකාග්‍රතාව මෙනෙහි කරන වීථියක් ද ධ්‍යානාඞ්ග සියල්ල මෙනෙහි කරන වීථියක් ද ඇතිවේ. මේ වීථිවලින් සමාපජ්ජන වීථියෙහි ඇති වූ රූපාවචර ප්‍රථමධ්‍යාන චිත්තය ආවර්ජන වීථිවල කාමාවචර කුශල ජවනයන්ට හේතුශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො -පෙ-“ යනුවෙන් දැක්වූ සේක.
මේ ක්‍රමයෙන් ඉතිරි රූපාවචරධ්‍යාන සතර හා අරූපාවචර ධ්‍යාන සතර ද ඒවා පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා වීථි ද දක්වා ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න විභාගය කරනු. වෙනස් වන්නේ ප්‍රත්‍යවේක්‍ෂා වීථිසඞ්ඛ්‍යාව පමණෙකි. ඒවා ඒ ඒ ධ්‍යානයන්ට අයත් ධ්‍යානාඞ්ග ප්‍රමාණයෙන් දැක්විය යුතුය.
“සෙක්ඛා ගොත්‍රභූං පච්චවෙක්ඛන්ති” යන අනුවාද පාලියෙහි “ගොත්‍රභූං” යනුවෙන් දැක්වෙන සෝවාන්මාර්‍ග චිත්තයට පූර්‍වයෙහි උපදනා මහාකුශල ඥානසම්පයුත්තචිත්තය “පච්චවෙක්ඛන්ති” යනුවෙන් දැක්වෙන සෝවාන් පුද්ගලයාගේ සන්තානයෙහි උපදනා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුශලචිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කරමින් හැසිරෙන්නා වූ සෝවාන් මාර්‍ගයට පැමිණීමේ භාග්‍ය්‍ය ඇති ත්‍රිහේතුක පෘථග්ජන පුද්ගලයාහට සෝවාන්මාර්‍ගචිත්තය ඉපදීමට ළං වූ කල්හි තමාගේ ප්‍රතිසන්‍ධි චිත්තයට -පෙ- ඉපද නිරුද්ධ වූ පසු ලෞකික සිත් එක් අසූව ය, චෛතසික දෙපනස ය, රූප අට විස්ස ය යන ත්‍රෛභූමක සංස්කාරයන් අතුරෙන් යම්කිසිවක් හෝ සියල්ල ම හෝ අරමුණුකොට මනෝද්වාරාවජ්ජනය ඉපද නිරුද්ධ වේ. අනතුරුව න සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතර අතුරෙන් යම්කිසි සිතක් ත්‍රෛභූමකසංස්කාරයන් අරමුණු කොට මන්‍දප්‍රාඥයාගේ වශයෙන් පරිකර්‍ම උපචාර අනුලෝම නාමයෙන් තෙවරක් හෝ තීක්‍ෂණප්‍රාඥයා ගේ වශයෙන් උපචාර අනුලෝම නාමයෙන් දෙවරක් හෝ ඉපද නිරුද්ධ වීමෙන් පසු ඒ සිතම නිර්‍වාණය අරමුණු කරමින් ගෝත්‍රභූ යන නාමයෙන් ඉපද නිරුද්ධ වේ. අනතුරුව නිර්‍වාණය අරමුණු කරමින් සෝවාන් මාර්‍ග චිත්තය එක් වරක් ඉපද නිරුද්ධ වේ. එයට අනතුරුව ඒ සෝතාපත්ති මග්ග චේතනාවේ ඵලය වූ සෝතාපත්ති ඵල චිත්තය තීක්‍ෂණප්‍රාඥයාට තෙවරක් ද මන්‍දප්‍රාඥයාට දෙවරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු ත්‍රිහේතුක භවාඞ්ගචිත්තයක් සුදුසු පරිදි උපදනේ ය.
සෝවාන් පුද්ගලයා විසින් තමාගේ ගෝත්‍රභූචිත්තය මෙනෙහි කරනු කැමති කල්හි තමාගේ ප්‍රතිසන්‍ධිචිත්තයට සමාන -පෙ- ඉපද නිරුද්ධ වූ පසු සෝවාන් මාර්‍ගචිත්තයට පූර්‍වයෙන් ඇති වූ ගෝත්‍රභූචිත්තය අරමුණුකොට මනෝද්වාරාවජ්ජනය ද එයට අනතුරු ව ගෝත්‍රභූචිත්තය අරමුණුකොට කාමාවචර කුසල් අට අතුරෙන් එක්සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක් ද ඉපද නිරුද්ධ වූ පසු පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග චිත්තයන් අතුරෙන් එක්සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදනේ ය. ඒ වීථියෙහි උපදනා මහාකුශල ජවනයට සෝවාන් පුද්ගලයා ගේ ගෝත්‍රභූචිත්තය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො -පෙ-“ යනුවෙන් දැක්වූ සේක.
“සෙක්ඛා වොදානං පච්චවෙක්ඛන්ති” යන අනුවාද පාලියෙහි වොදානං යනුවෙන් දැක්වෙන සකෘදාගාමි අනාගාමි මාර්‍ග දෙකට පූර්‍වයෙහි වෝදානකෘත්‍යයෙන් උපදනා මහාකුශල ඥානසම්ප්‍රයුක්ත චිත්තය එය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුශල චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. සකෘදාගාමි අනාගාමි පුද්ගලයන් තමතමන් ගේ වෝදනා චිත්තයන් මෙනෙහි කරනු කැමති කල්හි තමන් ගේ ප්‍රතිසන්‍ධි -පෙ- නිරුද්ධ වූ පසු වෝදානකෘත්‍යයෙන් උපන් මහා කුශලචිත්තය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද කාමකුසල් අටෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත් වරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙස අතුරෙන් එක්තරා සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදී. එසේ උපදනා කාමාවචර ප්‍රත්‍යවේක්‍ෂා ජවනයන්ට වෝදානකෘත්‍යවත් ඥානම්ප්‍රයුක්ත කාමාවචර කුශලය ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො -පෙ-“ යනුවෙන් දැක්වූ සේක.
“සෙක්ඛා මග්ගා වුට්ඨහිත්‍වා මග්ගං පච්චවෙක්ඛන්ති” යන අනුවාදපාලියෙහි ‘මග්ගං’ යනුවෙන් දැක්වෙන හෙට්ඨිමමාර්‍ග තුන “පච්චවෙක්ඛන්ති” යනුවෙන් දැක්වෙන ප්‍රත්‍යවේක්‍ෂා කරන මහා කුශලඥානසම්ප්‍රයුක්ත චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය්‍ය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. මෙහි සෝතාපත්තිමග්ග වීථිය යට කී පරිදි විස්තර කරනු. සෝවාන් මාර්‍ගයට ඵලයට පැමිණි යෝගාවචරයා තමා පැමිණි සෝවාන්මාර්‍ගය මෙනෙහි කරනු කැමැති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව සෝවාන් මාර්‍ගය අරමුණු කරමින් මනෝද්වාරාවජ්ජනය ද මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර අතුරෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ගචිත්තයන් ගෙන් එක්සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදී, මේ වීථියෙහි මාර්‍ගය ප්‍රත්‍යවේක්‍ෂා කරන මහාකුශල ඥානසම්ප්‍රයුක්ත ජවනයට සෝවාන්මාර්‍ගචිත්තය ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො කුසලස්ස -පෙ-“ දැක්වූ සේක. මේ නයින් සකෘදාගාමි මාර්‍ග අනාගාමිමාර්‍ග වීථි හා ප්‍රත්‍යවේක්‍ෂාවීථි ද දක්වා ප්‍රත්‍යවීමේ ආකාරය විස්තර කරනු.
“සෙක්ඛා වා පුථුජ්ජනා වා කුසලං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති” යන මෙහි “කුසලං” යනුවෙන් දැක්වෙන ත්‍රෛභූමික කුශලය “අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති” යනුවෙන් දැක්වෙන විදර්‍ශනා කරන කාමාවචර කුශලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. ශෛක්‍ෂයන් විසින් හෝ පෘථග්ජනයන් විසින් හෝ ත්‍රෛභූමික කුශලය අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරුව ත්‍රෛභූමික කුශලයන් අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය හා මහා කුසල් අට අතුරෙන් එක්සිතක් ජවනකෘත්‍යයෙන් සත් වරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු ත්‍රිහේතුකභවාඞ්ග තෙළෙස අතුරෙන් යම්කිසි සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදනේ ය. විදර්‍ශනා කිරීම් වශයෙන් මෙ බඳු වීථීහු බොහෝ ඇති වෙති. ඒ වීථිවල කාමාවචර කුශල ජවනයන්ට ත්‍රෛභූමිකකුශලයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසලො ධම්මො -පෙ-“ දැක්වූ සේක.
“සෙක්ඛා වා පුථුජ්ජනවා වා චෙතොපරියඤාණෙන කුසල චිත්තසමඞ්ගිස්ස චිත්තං ජානන්ති” යන අනුවාද පාලියෙහි “කුසලචිත්තසමඞ්ගිස්ස චිත්තං” යනුවෙන් දැක්වෙන අතීත සත් වන දිනයේ පටන් අනාගත සත්වන දින දක්වා ඇති කාලයෙහි අන්‍ය පුද්ගලයන් ගේ සන්තානයෙහි කාලත්‍රයට අයත්වූ අර්‍හත් මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්ස ඒවා දක්නා වූ ශෛක්‍ෂ පෘථග්ජනයන්ගේ චේතෝපරිය කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. චේතෝපරිය කුසලාභිඤ්ඤාව ලබා සිටින්නා වූ ශෛක්‍ෂ පෘථග්ජන පුද්ගලයන්ගෙන් කෙනකු අතීත සත්වන දිනට හා අනාගත සත්වන දිනයටත් අතර කාලත්‍රයට අයත් වූ අර්‍හන්මාර්‍ගයෙන් අන්‍ය වූ පරසන්තානගත කුශලයන් දකිනු පිණිස රූපාවචර පඤ්චමධ්‍යානයට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව ආලෝක කසිණය අරමුණුකොට මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. අනතුරුව එයම අරමුණුකොට මහාකුශල උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත සිත් දෙක අතුරෙන් එක් සිතක් මන්‍දප්‍රාඥ තීක්‍ෂණප්‍රාඥ පුද්ගලයන් ගේ වශයෙන් සතර වරක් හෝ තුන් වරක් ඉපද නිරුද්ධ වූ පසු රූපාවචර පඤ්චමධ්‍යානචිත්තය භවාඞ්ග සන්තතිය සේ බොහෝ වාර ගණනක් ඉපදීමෙන් පසු භවාඞ්ගයෝ වන්නාහ. අනතුරු ව පරචිත්තය දැන ගැනීමට අධිෂ්ඨාන කිරීමේදී භවාඞ්ග චලන භවඞ්ගෝපච්ඡේදයනට අනතුරු ව අධිෂ්ඨානය ආවර්ජනය කිරීම් වශයෙන් ආවර්ජනචිත්තය ද මහාකුසල් සිත් අට අතුරෙන් එක් සිතක් “ඉමස්ස චිත්තං ජානාමි” යි අධිෂ්ඨානකිරීම් වශයෙන් ජවන කෘත්‍යයෙන් සත් වරක් ද ඉපදීමෙන් පසු භවාඞ්ගයෝ වෙති.
එයට අනතුරු ව චේතෝපරිය කුසලාභිඤ්ඤාවට පාදක වන රූපාවචර පඤ්චමධ්‍යානයට සමවැදීමේ දී ඉහත කී පරිදි ම නැවත සමාපජ්ජන වීථියක් වේ. පාදකධ්‍යානයෙන් නැගුණු පසු අතීත සප්තම දිනයට හා අනාගත සප්තම දිනයට අතර කාලත්‍රය පර්‍ය්‍යාපන්න වූ පරසන්තාන ගත අර්‍හන්මාර්‍ගයෙන් අන්‍ය වූ කුසල් සිත් විස්ස දක්නා වූ චේතෝපරිය කුසලාභිඤ්ඤාචිත්තය ඉපදීමේ දී භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව කුසල් සිත් විස්ස අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහාකුශල උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක් සිත් දෙක අතුරෙන් එක් සිතක් මන්‍දප්‍රාඥ තීක්‍ෂණප්‍රාඥ පුද්ගලයන්ට අනුරූප පරිදි සතරවරක් හෝ තුන්වරක් ජවනකෘත්‍යයෙන් උපන් පසු රූපාවචර කුශල පඤ්චමධ්‍යාන චිත්තය පරචිත්තය දක්වා වූ චේතෝපරිය අභිඤ්ඤාභාවයෙන් එක් වරක් උපදී. අනතුරු ව භවාඞ්ගයෝ වෙති. අනතුරු ව භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන් ගෙන් පසු චේතෝපරියඤාණයෙන් දක්නා ලද පරචිත්තය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහාකුසල් සිත් අටෙන් එක් සිතක් පරචිත්තය අරමුණු කොට ජවන කෘත්‍යයෙන් සත්වරක් ද ඉපද නිරුද්ධවීමෙන් පසු භවාඞ්ගයෝ වෙති. ඒ වීථියෙන් පරචිත්තය දැනගන්නේ ය. මේ වීථිවලින් අභිඤ්ඤාවීථියේ චේතෝපරිය ඥානය ප්‍රධාන රූපාවචර කුශල පඤ්චම ධ්‍යාන චිත්තයට හා එයට අනතුරු ව ඇතිවන වීථියේ මහාකුශල ජවනයන්ට ද පරසන්තානගත කුසල් සිත් විස්ස ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො” -පෙ- දැක්වූ සේක.
“ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චායතන කුසලස්ස” යන අනුවාද පාලියෙහි දැක්වෙන වර්‍තමානාතීතභවයන්හි ස්වසන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුශලය වර්‍තමාන භවයෙහි ආකාසානඤ්චායතන කුසලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය: ආකාසානඤ්චායතන කුශල ධ්‍යානය ලැබූ කාමත්‍රිහේතුක රූපභූමික ආකාසානඤ්චායතනභූමික පුද්ගලයන් තමන් ලබා සිටින ආකාසානඤ්චායතන ධ්‍යානයෙහි දොස් දැක විඤ්ඤාණඤ්චායතනධ්‍යානයේ ශාන්තභාවය දැක එය ලබනු පිණිස ආකාසානඤ්චායතන කුශලවිඤ්ඤාණය අරමුණු කොට “විඤ්ඤාණං අනන්තං විඤ්ඤාණං අනත්තං” යි භාවනාවෙහි යෙදීමෙන් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ලැබීමට සමීප වූ කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන් ඉපද නිරුද්ධ වීමෙන් පසු ආධ්‍යාත්මික සන්තානයෙහි ඇති වූ ආකාසානඤ්චායතන විඤ්ඤාණය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය වේ. අනතුරු ව මහාකුශල උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත සිත් දෙක අතුරෙන් එක් සිතක් මන්‍දප්‍රාඥයාට පරිකර්‍ම උපචාර අනුලෝම ගෝත්‍රභූය යි සතර වරක් ද තීක්‍ෂණප්‍රාඥයා හට උපචාර අනුලෝම ගෝත්‍රභූ කියා තෙවරක් ද උපන් පසු විඤ්ඤාණඤ්චායතන කුශලධ්‍යානය උපදනේ ය. එයට අනතුරු ව පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවය ය, ආකාසානඤ්චායතන භවාඞ්ගය යන මොවුන්ගෙන් එක් සිතක් භවාඞ්ග කෘත්‍යයෙන් උපදනේ ය.
විඤ්ඤාණඤ්චායතනධ්‍යානය ලැබූ තැනැත්තේ එයට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරුවූ අතීත වර්‍තමාන භවදෙකින් එකකදී තමාගේ සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුශලචිත්තය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද අනතුරුව මහාකුශලතෘතීයචිත්තද්වය අතුරෙන් එක්සිතක් මන්‍දප්‍රාඥයෙක් වේ නම් පරිකර්‍ම උපචාර අනුලෝම ගොත්‍රභූ වශයෙන් සතර වරක්ද තීක්‍ෂණප්‍රාඥයෙක් වේ නම් උපචාර අනුලෝම ගෝත්‍රභූ වශයෙන් තෙවරක් ද ඉපදීමෙන් පසු විඤ්ඤාණඤ්චායතන කුශලධ්‍යානචිත්තය භවාඞ්ගසනන්තිය සේ බොහෝ වාර ගණනක් උපදනේ ය. එයට අනතුරු ව ත්‍රිහේතුක කාමභවාඞ්ග සතර ය රූපාවචර භවාඞ්ග පස ය. ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන භවාඞ්ග දෙක ය යන මොවුන් අතුරෙන් එක් සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදින්නේ ය. එසේ උපදනා විඤ්ඤාණඤ්චායතන කුසල චිත්තයන්ට අතීත භවයේ හා වර්‍තමාන භවයේ ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුසල චිත්තයන් ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම කුසලො ධම්මො -පෙ- වදාළ සේක.
“ආකිඤ්චඤ්ඤායතන කුසලං නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලස්ස” යන අනුවාදපාලියෙහි දැක්වෙන ආකිඤ්චඤ්ඤායතන කුසලය නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලයට ප්‍රත්‍යය වන සැටි කියන ලද ක්‍රමය අනුව විස්තර කරනු.
“කුසලා ඛන්‍ධා ඉද්ධිවිධ ඤාණස්ස” යන අනුවාද පාලියෙහි “කුසලාඛන්‍ධා” යනුවෙන් දැක්වෙන පාදක රූපාවචර කුශල පඤ්චමධ්‍යානය “ඉද්ධිවිධඤාණස්ස” යනුවෙන් දැක්වෙන ඉද්ධිවිධකුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. රූපයන් නිර්‍මාණය කරනු පිණිස රූපාවචර පඤ්චමධ්‍යානයට සමවැදීමෙහි දී තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට සමාන වූ සිතක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු පෘථිවි කසිණ ප්‍රතිභාගනිමිත්ත අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහාකුශල තෘතීයචිත්තද්වය අතුරෙන් එක් සිතක් මන්‍දප්‍රාඥ තීක්‍ෂණප්‍රාඥයන්ට අනුරූප පරිදි සතරවරක් හෝ තුන්වරක් ඉපිද නිරුද්ධ වූ පසු රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය භවාඞ්ගසන්තතිය සේ බොහෝ වාර ගණනක් උපදනේ ය. අනතුරු ව භවාඞ්ගය වන්නේ ය.
අනතුරු ව “සතං හොමි, සහස්සං හොමි” යනාදීන් අධිෂ්ඨාන කරන කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට -පෙ- පසු අධිෂ්ඨානය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහාකුසල් සිත් අට අතුරෙන් එකක් අධිෂ්ඨාන ජවන කෘත්‍යයෙන් සත්වරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු භවාංගයෝ වෙති.
නැවත ඉද්ධිවිධ කුසලාභිඤ්ඤාවට පාදකවනු පිණිස රූපාවචර කුශල පඤ්චමධ්‍යානයට සමවදනා කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට -පෙ- පසු පඨවි කසිණපටිභාගනිමිත්ත අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහාකුශල තෘතීය චිත්තද්වය අතුරෙන් එක් සිතක් මන්‍දප්‍රාඥ - තීක්‍ෂණප්‍රාඥ පුද්ගලයන් ගේ වශයෙන් සතරවරක් හෝ තුන්වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු රූපාවචර කුශල පඤ්චමධ්‍යාන චිත්තය භවාඞ්ග සන්තතිය සේ බොහෝ වාර ගණනක් ද ඉපදීමෙන් පසු භවාඞ්ගයෝ වන්නාහ.
අනතුරු ව ඉද්ධිවිධ අභිඤ්ඤාචිත්තය උපදනා කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධි චිත්තයට -පෙ- පසු රූපාවචර කුශල පඤ්චමධ්‍යානය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහා කුශල තෘතීයද්වය අතුරෙන් එක් සිතක් මන්‍දතීක්‍ෂණප්‍රාඥයන් ගේ වශයෙන් සතර වරක් හෝ තුන්වරක් ද උපන් පසු රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය පාදක රූපාවචර පඤ්චමධ්‍යානය අරමුණු කරමින් ශතසහස්‍රාදි රූපයන් නිර්‍මාණය කරමින් සෘද්ධිවිධ අභිඥාකෘත්‍යයෙන් එක් වරක් උපදනේ ය. අනතුරු ව භවාඞ්ගයෝ වෙති. මේ වීථියට පසු නිර්මිත රූපයන් අරමුණු කොට තදනුවර්‍තක මනෝද්වාරවීථීහු වෙති.
මේ වීථිවල පාදකරූපාවචර කුශලපඤ්චමධ්‍යානය අභිඤ්ඤා රූපාවචර කුසල පඤ්චමධ්‍යාන චිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො -පෙ-“ දැක්වූ සේක.
“කුසලා ඛන්‍ධා චෙතොපරියඤාණස්ස” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් දැක්වෙන අතීත සප්තම දිනයේ පටන් අනාගත ස්පතම දිනය දක්වා කාලයෙහි කාලත්‍රයයට අයත් පරසන්තානගත අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්ස චේතෝපරිය කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ. (ප්‍රත්‍යය වන ආකාරය ඉද්ධිවිධඤාණයෙහි කියන ලද ක්‍රමය අනුව විස්තර කරනු. චේතෝපරියඤාණයට පාදක වනුයේ ආලෝකකසිණය අරමුණු කරන පඤ්චමධ්‍යානය ය. අධිෂ්ඨානවීථියට අරමුණු වන්නේ අර්‍හන්මාර්‍ගයෙන් අන්‍ය වූ පරසන්තානගත කුසල් සිත් විස්සය. “ඉමස්ස කුසලචිත්තං ජානාමි” යි අධිෂ්ඨාන කළ යුතු ය. අභිඥාචිත්තයට අරමුණු වන්නේ ද ඒ කුසල් සිත් විස්සමය. මෙහි වෙනස එ පමණය.)
“කුසලා ඛන්‍ධා පුබ්බෙනිවාසානුස්සති ඤාණස්ස” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් ගැනෙන අර්‍හන්මාර්‍ග වර්ජිත කුසල් සිත් විස්ස පුබ්බෙනිවාසානුස්සති කුසලාභිඤ්ඤාවට ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො -පෙ-“ දැක්වූ සේක. (ප්‍රත්‍යය වන ආකාරය විස්තර කරනු. මෙහි ද පාදක වනුයේ ආලෝක කසිණය අරමුණු කරන පඤ්චමධ්‍යානය ය. අධිෂ්ඨාන කළ යුත්තේ “පුබ්බෙනිවුත්‍ථං කුසලං ජානාමි” කියා ය. අධිෂ්ඨාන වීථියට හා අභිඥාවීථීයට අරමුණු වන්නේ කුසල් සිත් විස්ස ය.)
“කුසලා ඛන්‍ධා යථාකම්මූපගඤාණස්ස” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් ගැනෙන අතීත ලෞකික කුසල් සිත් සතොළොස යථාකම්මූපග කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම කුසලො ධම්මො -පෙ- දැක්වූ සේක. (ප්‍රත්‍යය වන ආකාරය විස්තර කරනු. මෙහි ද පාදක වනුයේ ආලෝකකසින පඤ්චමධ්‍යානයය. අධිෂ්ඨාන කළ යුත්තේ “අතීතං කම්මං ජානාමි” කියා ය. අධිෂ්ඨාන වීථියට හා අභිඤ්ඤාවීථියට අරමුණුවන්නේ ද අතීත ලෞකික කුසල් සිත් සතොළොස ය.)
“කුසලා ඛන්‍ධා අනාගතංසඤාණස්ස” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් ගැනෙන අර්‍හන්මාර්‍ගයෙන් අන්‍ය වූ අනාගත කුසල් සිත් විස්ස අනාගතංස කුසලාභිඤ්ඤාවට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො -පෙ-“ දැක්වූ සේක. (ප්‍රත්‍යය වන අයුරු විස්තර කරනු. පාදක වනුයේ ආලෝක කෘත්ස්න පඤ්චමධ්‍යානය ය. අධිෂ්ඨාන කළ යුත්තේ “අනාගතං ඛන්‍ධ ජානාමි” කියා ය. අධිෂ්ඨාන වීථියට හා අභිඥාවීථියට අරමුණු වන්නේ අනාගත කුසල් සිත් විස්සය.)
කුසලපදාවසානවාරයට අනතුරුව අකුසලපදාවසානවාරය වදාළ සේක. කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො, දානං දත්‍වා සීලං සමාදියිත්‍වා -පෙ- දොමනස්සං උප්පජ්ජති.
දුර්බෝධපදයන්ගේ අර්‍ථ - අස්සාදෙති, ඒ කාමාවචරකුසලය සෝමනස්සසහගත ලෝභසම්ප්‍රයුක්ත චිත්තයෙන් අනුභව කරයි: අභිනන්‍දති, ඒ කුශලය ගැන තෘෂ්ණාසහගත සිතින් සතුටු වෙයි: දෘෂ්ටි වශයෙන් හෝ සතුටු වෙයි: රාගො උප්පජ්ජති: හොඳ පිනකැ යි ඇල්ම ඇති වෙයි: දිට්ඨි උප්පජ්ජති, මම පින් කෙළෙමි ය, මාගේ පින ය කියා දෘෂ්ටිය උපදී. විචිකිච්ඡා උප්පජ්ජති, එය පිනක් ද පිනක් නොවේ ද යනාදීන් සැකය උපදී: උද්ධච්චං උප්පජ්ජති, වික්‍ෂෙපස්වභාවය (කලබල ගතිය) ඇති වේ: දොමනස්සං උප්පජ්ජති, දන්දීම් ආදියෙන් මවිසින් වරදක් කරන ලද්දේය මෝඩකමක් කරන ලද්දේය යනාදීන් දොම්නස උපදී: ඣානෙ පරිහීනෙ විප්පටිසාරිස්සදොමනස්සං උප්පජ්ජති, ධ්‍යානය පිරිහුණුකල්හි නැවත සිහිකරන්නා හට දොම්නස උදී: සම්පූර්‍ණකොට පදාර්‍ථ කියනු.
කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස යනාදි පාලියෙහි අදහස මෙසේ ය. කුශලධර්‍මය අකුශල ධර්‍මය හට ආරම්මණ ශක්තියෙන් උපකාර වේ. කෙසේ උපකාර වේ ද යත්, දන් දී මා විසින් උසස් පිනක් කරගන්නා ලද්දේ යි, ඒ කාමාවචර කුශලය සෝමනස්ස සහගත ලෝභසම්ප්‍රයුක්ත සිතින් ආස්වාදනය කරන කල්හි ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරට ද, මගේ පින ඉතා හොඳය’ යි ඒ පින ගැන සතුටු වන කල්හි ප්‍රීති සහගත ලෝභමූල චිත්තයට ද පිනට ඇලුම් කරන කල්හි රාගය ප්‍රධාන ලෝභමූල සිත් අටට ද, “මම පිනක් කෙළෙමි”යි වරදවා ගන්නා කල්හි දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතරට ද, දන් දී මා කෙළේ පිනක් ද පවක් ද යනාදීන් සැක ඇති වන කල්හි විචිකිච්ඡාසහගත චිත්තයට ද වික්‍ෂිප්ත වන කල්හි උද්ධච්ච සහගත චිත්තයට ද, දන් දී පසුව ඒ ගැන නොසතුටුවන කල්හි දෝමනස්සසහගත සිත් දෙකට ද ඒ කාමාවචර කුශලය ආරම්මණ ශක්තියෙන් උපකාරක වේ. සීලං සමාදියිත්‍වා යනාදිය ද මේ නයින් විස්තර කරනු.
වීථිපාලියෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් ලෞකික කුසල් සිත් සතොළොස වූ ප්‍රත්‍ය ධර්‍මය ලැබේ. “අකුසලස්ස ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. “ආරම්මණ පච්චයෙන” යන කරණපාඨයෙන් එක් වර සුදුසු පරිදි ලැබිය හැකි ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණ සඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ.
“දානං දත්‍වා තං අස්සාදෙති” යනාදි අනුවාදපාලියෙහි “දානං දත්‍වා” යනුවෙන් ගැනෙන ත්‍යාගවේදනා ප්‍රධාන කාමාවචර කුශලය “තං අස්සාදෙති” යනුවෙන් ගැනෙන ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරට ද, “අභිනන්‍දති” යනුවෙන් ගැනෙන ප්‍රීතිය ප්‍රධාන ලෝභමූල සිත් සතරට ද, “රාගො උප්පජ්ජති” යනුවෙන් ගැනෙන රාගය ප්‍රධාන ලෝභමූල සිත් අටට ද, “දිට්ඨි උප්පජ්ජති” යනුවෙන් ගැනෙන දෘෂ්ටිය ප්‍රධාන ලෝභමූල සිත් සතරට ද, “විචිකිච්ඡා උප්පජ්ජති” යනුවෙන් ගැනෙන විචිකිත්සා සහගත චිත්තයට ද, “උද්ධච්චං උප්පජ්ජති” යනුවෙන් ගැනෙන ඖද්ධත්‍ය සහගත චිත්තයට ද, “දොමනස්සං උප්පජ්ජති” යනුවෙන් ගැනෙන ද්වේෂමූල සිත් දෙකට ද ආරමම්ණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. පරිත්‍යාග චේතනාව ප්‍රධාන කොට ඇති මහාකුසල් සිත් අට අරමුණු කොට ආස්වාදනාභිනන්‍දනා දි වශයෙන් අකුශලජවනචිත්තවීථීන් උපදනා කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට සමාන සිතක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු පරිත්‍යාගචේතනා ප්‍රධාන කාමාවචර කුශලය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපද නිරුද්ධ වේ. එයට අනතුරු ව කුශලය ආස්වාදනය කරන්නේ නම් සෝමනස්සසහගත ලෝභමූල සිත් සතර අතුරෙන් එකක් ද සතුටු වන්නේ නම් සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලෝභමූල සෝමනස්සසහගත සිත් සතරෙන් එකක් ද, ඇලුම් කරන්නේ නම් රාගප්‍රධාන ලෝභමූල සිත් අට අතුරෙන් එකක් ද, වරදවා ගන්නේ නම් ලෝභමූල දෘෂ්ටිසහගත සිත් සතරෙන් එකක් ද, සැක කරන්නේ නම් විචිකිත්සා සහගත සිත ද, වික්‍ෂිප්ත වන්නේ නම් ඖද්ධත්‍ය සහගත චිත්තය ද, නොසතුටුවන්නේ නම් ද්වේෂමූල සිත් දෙකින් එකක් ද, ජවනකෘත්‍යයෙන් සත්වරක් ඉපද නිරුද්ධ වේ. එය විභූතාරම්මණ වීථියක් වේ නම් එකොළොස් තදාරම්මණයන්ගෙන් එක් සිතක් දෙවරක් ඉපද නිරුද්ධ වූ පසු සුදුසු පරිදි කාමභවාඞ්ගයෝ උපදනාහ. අවිභූතාරම්මණවීථියක් වේ නම් ජවනයට අනතුරු ව සුදුසු පරිදි පඤ්චවෝකාර භවාඞ්ගයෝ වෙති. මේ වීථියෙහි අකුශලජවනයන්ට කාමාවචර කුශලය ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යවීම “කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්මණපච්චෙයන පච්චයො” යනුවෙන් වදාළ සේක.
“සීලං සමාදියිත්‍වා තං අස්සාදෙති” යනාදි අනුවාදපාලියෙහි “සීලං සමාදියිත්‍වා” යනුවෙන් දැක්වෙන ශීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලය “තං අස්සාදෙති” යනුවෙන් දැක්වෙන ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරට ද, -පෙ- ද්වේෂමූල සිත් දෙකට ද ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ. මෙසේ සීලචේතනා ප්‍රධාන කාමාවචර කුශලය දොළොස් අකුශලයන්ට ම ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය වන ආකාරය ඉහත කී පරිදි විස්තර කරනු.
“උපොසථකම්මං කත්‍වා තං අස්සාදෙති” යනාදි අනුවාද පාලියෙහි “උපොසථ කම්මං කත්‍වා” යනුවෙන් දැක්වෙන අෂ්ඨාඞ්ග පෞෂඨ ශීල චේතනා ප්‍රධාන කාමාවචර කුසලය -පෙ- (ඉහත කී පරිදි විස්තර කරනු.)
“පුබ්බෙ සුචිණ්ණානි අස්සාදෙති” යනාදි අනුවාද පාලියෙහි “පුබ්බෙ සුචිණ්ණානි” යනුවෙන් දැක්වෙන පෙර පවත්වන ලද දාන ශීල අෂ්ටාඞ්ග ශීල චේතනා ප්‍රධාන කාමාවචර කුශලය -පෙ විස්තර කරනු.
“ඣානා වුට්ඨහිත්‍වා ඣානං අස්සාදෙති” යනාදි අනුවාද පාලියෙහි ‘ඣානා’ යනුවෙන් දැක්වෙන මහද්ගත කුශල නවය -පෙ- විස්තර කරනු.
“ඣානෙ පරිහීනෙ විප්පටිසාරිස්ස දොමනස්සං උප්පජ්ජති” යන අනුවාදපාලියෙහි “ඣානෙ පරිහීනෙ” යනුවෙන් දැක්වෙන පරිහීන මහද්ගත කුශල ධ්‍යානය “දොමනස්සං උප්පජ්ජති” යනුවෙන් දැක්වෙන ද්වේෂමූලික අකුශල ජවනයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙ සේ ය: යම් කිසි නුසුදුසු කරුණකින් පිරිහුණා වූ ධ්‍යානය අරමුණු කොට ද්වේෂමූලජවනය උපදනා කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තයට සමාන වූ කාමත්‍රිහේතුක භවාඞ්ගයක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡෙ ද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු “පරිහීනධ්‍යානය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද, එයට අනතුරු ව ද්වේෂමූලචිත්තද්වයෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ද, ඉපදීමෙන් පසු ඒ පුද්ගලයා කාමත්‍රිහේතුකෝපේක්‍ෂාසහගත චිත්තයකින් පිළිසිඳගත් කෙනකු වී නම් කාමත්‍රිහේතුකෝපේක්‍ෂාසහගත භවාඞ්ග දෙකින් එක් සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදනේ ය. හේ සෝමනස්ස ප්‍රතිසන්‍ධියකු වී නම් උපේක්‍ෂාසහගත සන්තීරණ චිත්තය පෙර පුරුදු අරමුණක් ගනිමින් ආගන්තුක භවාඞ්ගකෘත්‍යයෙන් ඉපද නිරුද්ධ වීමෙන් පසු එයින් අනන්තරාදි ප්‍රත්‍යයන් ලැබ කාමත්‍රිහේතුක සෝමනස්ස භවාඞ්ග දෙකින් එක් සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදනේ ය. මේ වීථියෙහි අකුශලජවනයන්ට පරිහීන ධ්‍යානකුශලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය්‍ය වීම කුසලො ධම්මො -පෙ- පච්චයො යනුවෙන් වදාළ සේක.
කුසලපදාවසානවාරයට අනතුරු ව අබ්‍යාකතපදාවසානවාරය වදාළ සේක. එනම්, “කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස -පෙ- අනාගතංස ඤාණස්ස ආවජ්ජනාය ආරම්මණපච්චයෙන පච්චයො” යනුයි. පදාර්‍ථ, විපාකො තදාරම්මණතා උප්පජ්ජති, විපාකචිත්තය තදාරම්මණභාවයෙන් උපදී: සෙස්ස සුගම ය.
“කුසලො ධම්මො” යන කර්‍තෘ පාඨයෙන් එක් විසි කුශල චිත්තය වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් තදාරම්මණ එකොළොස ය, පඤ්චද්වාරාවර්ජනයෙන් අන්‍ය වූ කාමක්‍රියා දශය ය, විඤ්ඤාණඤ්චායතන විපාකක්‍රියා දෙක ය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන විපාක ක්‍රියා දෙක ය, චෙතෝපරිය පුබ්බෙනිවාසානුස්සති යථාකම්මූපග අනාගතංස ක්‍රියාභිඤ්ඤාවෝ ය, විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික තෙතිස ය යන ප්‍රත්‍යයෝත්පන්න නාමස්කන්‍ධයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන ආරම්මණ ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණශක්තිය ලැබේ.
“අරහා මග්ගා වුට්ඨහිත්‍වා මග්ගං පච්චවෙක්ඛති” යන අනුවාද පාලියෙහි “මග්ගා” යනුවෙන් දැක්වෙන අර්‍හන්මාර්‍ග කුශලය “පච්චවෙක්ඛති” යනුවෙන් දැක්වෙන ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමක්‍රියා චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. අර්‍හන්මාර්‍ගවීථිය විස්තර කරනු. අර්‍හත් පුද්ගලයා තමා ලත් අර්‍හත්මාර්‍ගය ප්‍රත්‍යවේක්‍ෂා කරනු කැමති කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධි චිත්තයට -පෙ- අර්‍හන්මාර්‍ගය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන ද මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරින් එක් සිතක් ප්‍රත්‍යවේක්‍ෂා ජවන කෘත්‍යයෙන් සත් වරක් ද ඉපද නිරුද්ධ වීමෙන් පසු භවාඞ්ගය වේ. මේ වීථිවල අර්‍හන්මාර්‍ග චිත්තය එය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමක්‍රියා චිත්තයන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො අබ්‍යාකතස්ස -පෙ-“ වදාළ සේක.
“පුබ්බෙ සුචිණ්ණානි පච්චවෙක්ඛති” මෙහි පච්චවෙක්ඛති යනුවෙන් දැක්වෙන්නේ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමක්‍රියා ජවනයෝ ය. වීථිය දක්වා විස්තර කරනු. “කුසලං අනිච්චතො” යනාදිය ද එසේ ම විස්තර කරනු.
“චෙතොපරියඤාණෙන කුසලචිත්ත සමඞ්ගිස්ස චිත්තං ජානාති” මෙහි ක්‍රියාභිඤ්ඤාව ගැනීම ම වෙනස ය.
“සෙක්ඛා වා පුථුජ්ජනා වා කුසලං අනිච්චතො -පෙ- තදාරම්මණතා උප්පජ්ජති” යන අනුවාද පාලියෙහි “කුසලං” යනුවෙන් ගැනෙන කාමාවචර කුශලය “සෙක්ඛා වා පුථුජ්ජනා වා කුසලං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති කුසලෙ නිරුද්ධෙ විපාකො තදාරම්මණතා උප්පජ්ජති” යනුවෙන් ගැනෙන අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් විදර්‍ශනා කරන කාමාවචර කුශල ජවනය කෙරෙන් උපදනා තදාරම්මණ එකොළොසට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යවේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. - කාමකුශලය අරමුණු කොට උපදනා විදර්‍ශනා ජවනය කෙරෙන් තදාරම්මණය ඉපදීමට ඇතිකල්හි තමාගේ ප්‍රතිසන්‍ධි චිත්තයට -පෙ- පසු කාමකුශලය අරමුණු කොට මනොද්වාරාවජ්ජනය ද එයට අනතුරුව මහාකුශලයන් ගෙන් එක් සිතක් විදර්‍ශනා ජවනකෘත්‍යයෙන් සත් වරක් ද ඉපදීමෙන් පසු එකොළොස් තදාරම්මණයන් ගෙන් එක් සිතක් තදාරම්මණකෘත්‍යයෙන් උපදී. අනතුරුව සුදුසු භවාඞ්ගචිත්තයක් වේ. මේ වීථියෙහි තදාරම්මණ චිත්තයට විදර්‍ශනා කරනු ලබන කාමාවචර කුශලචිත්තයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම කුසලො ධම්මො අබ්‍යාකතස්ස -පෙ-“ වදාළ සේක, (රූපාරූප කුශලයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමේ දී තදාරම්මණය නො වන බැවින් මෙහි කාමකුශලයම ගන්නා ලදි.)
“කුසලං අස්සාසෙති අභිනන්‍දති -පෙ- තදාරම්මණතා උප්පජ්ජන්ති” යන අනුවාදපාලියෙහි ‘කුසලං’ යනුවෙන් ගැනෙන කාමාවචර කුශලය “අස්සාදෙති අකුසලෙ නිරුද්ධෙ විපාකො තදාරම්මණතා උප්පජ්ජති” යනුවෙන් ගැනෙන ලෝභමූල සෝමනස්ස සහගත චිත්තයන් කෙරෙන් වන තදාරම්මණයට ද, ‘අභිනන්‍දති අකුසලෙ නිරුද්ධෙ විපාකො තදාරම්මණතා උප්පජ්ජති’ යනුවෙන් දැක්වෙන සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලෝභමූල සෝමනස්ස සහගත ජවනයන් කෙරෙන් වන තදාරම්මණයට ද, ‘රාගො උප්පජ්ජති අකුසලෙ -පෙ- උප්පජ්ජති’ යනුවෙන් දැක්වෙන රාග ප්‍රධාන ලෝභමූල ජවනයන් කෙරෙහි වන තදාරම්මණයට ද, “දිට්ඨි උප්පජ්ජති -පෙ- අකුසලෙ -පෙ- උප්පජ්ජති” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිසම්පයුත්ත ජවනයන් කෙරෙන් වන තදාරම්මණයට ද, ‘විචිකිච්ඡා උප්පජ්ජති අකුසලෙ -පෙ- තදාරම්මණතා උප්පජ්ජති’ යනුවෙන් දැක්වෙන විචිකිච්ඡා සහගත ජවනය කෙරෙන් වන තදාරම්මණයට ද, “උද්ධච්චං උප්පජ්ජති -පෙ- විපාකො තදාරම්මණතා උප්පජ්ජති” යනුවෙන් දැක්වෙන උද්ධච්චසහගත ජවනය කෙරෙන් වන තදාරම්මණයට ද, “දොමනස්සං උප්පජ්ජති -පෙ- තදාරම්මණතා උප්පජ්ජති” යනුවෙන් දැක්වෙන දෝසමූල ජවනය කෙරෙන් වන තදාරම්මණ සයටද ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. කාමකුශලය අරමුණුකොට ආස්වාදනාභිනන්‍දනාදි වශයෙන් උපදනා අකුශල ජවනයන් කෙරෙන් තදාරම්මණය වීමෙහි දී භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරුව කාමකුශලය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද, කාමකුශලය අරමුණු කොට එය ආස්වාදනය කෙරේ නම් ලෝභමූල සෝමනස්සසහසගත සිත් සතරෙන් එකක් ද, එයට සතුටු වේ නම් සප්‍රීතික තෘෂ්ණාව ප්‍රධාන ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරෙන් එකක් ද, එයට ඇලුම් කෙරේ නම් රාගය ප්‍රධාන ලෝභමූල සිත් අට අතුරෙන් එකක් ද, වරදවා ගනී නම් දෘෂ්ටිසම්ප්‍රයුක්තසිත් සතරෙන් එකක් ද, සැක කෙරේ නම් විචිකිත්සා සහගත චිත්තය ද, වික්‍ෂිප්ත නම් ඖද්ධත්‍යසහගත චිත්තය ද, නො සතටු වේ නම් ද්වේෂමූල සිත් දෙකින් එකක් ද ජවනකෘත්‍යයෙන් සත් වරක් ඉපදීමෙන් පසු එකොළොස් තදාරම්මණයන් ගෙන් එක් සිතක් තදාරම්මණකෘත්‍යයෙන් දෙවරක් උපදී. අනතුරුව කාමභවාඞ්ගයන් ගෙන් එක් සිතක් සුදුසු පරිදි උපදී. මේ චිත්තවීථියෙහි තදාරම්මණයට කාමාවචර කුශලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම ‘කුසලො ධම්මො අබ්‍යාකතස්ස -පෙ-‘ වදාළ සේක.
“ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චායතන විපාකස්ස ච කිරියස්සච” යන අනුවාදපාලියෙහි ‘ආකාසානඤ්චායතන කුසලං’ යනුවෙන් දැක්වෙන අතීතභවයේ ආධ්‍යාත්මික සන්තානයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුශලය ‘විඤ්ඤාණඤ්චායතන විපාකස්ස’ යනුවෙන් දැක්වෙන ප්‍රතිසන්‍ධි භවාඞ්ගච්‍යුති වශයෙන් පවත්නා විඤ්ඤාණඤ්චායතන විපාකයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. කාමසුගතිභූමී සතය, අසංඥභූමියෙන් අන්‍ය වූ රූපභූමි පසළොස ය, ආකාසානඤ්චායතන භූමියය යන භූමි තෙවිස්සෙන් චුතව විඤ්ඤාණඤ්චායතන භූමියෙහි උපදනා පුද්ගලයන්ගේ මරණාසන්න වීථිය ජවනයට අනුතරු ව චුතිය වන වීථිය ය, භවාඞ්ගයට අනතුරු ව චුතිය වන වීථිය යයි දෙවැදෑරුම් වේ. ජවනයට අනතුරුව චුතිය වන වීථිය උපදනා කල්හි පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවය ය, ආකාසානඤ්චායතන භවාඞ්ගය ය යන මොවුන්ගෙන් එක් සිතක් කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තයන්ගෙන් එකක් අරමුණුකොට භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡෙද වශයෙන් ඉපිද නිරුද්ධ වූ පසු ආධ්‍යාත්මසන්තානයෙහි පූර්‍වයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුශලය වූ කර්‍මනිමිත්ත අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය හා කාමාවචර මරණාසන්නජවන චිත්තයක් පස්වරක් ඉපද නිරුද්ධ වේ. අනතුරුව පඤ්චවෝකාර ත්‍රිහේතුකච්‍යුති නවය ය ආකාසානඤ්චායතන ච්‍යුතිය ය යන මොවුන් ගෙන් එක් සිතක් කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තයන් ගෙන් එකක් අරමුණු කොට ච්‍යුතිකෘත්‍යයෙන් එක්වරක් ඉපදීමෙන් පසු විඤ්ඤාණඤ්චායතන විපාකචිත්තය මරණාසන්න ජවනය විසින් ගන්නාලද පූර්‍වභවයෙහි ආධ්‍යාත්මසන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කුශලය වූ කර්‍මනිමිත්තය අරමුණුකොට ප්‍රතිසන්‍ධිකෘත්‍යයෙන් එක් වරක් උපදනේ ය, අනතුරුව ඒ විඤ්ඤාණඤ්චායතන විපාකචිත්තය ම භවාඞ්ගකෘත්‍යයෙන් සොළොස්වරක් හේ පසළොස්වරක් උපන් පසු අභිනවභවය වූ විඤ්ඤාණඤ්චායතන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද භවනිකන්තික ලෝභ ජවනය සත්වරක් ද ඉපදීමෙන් පසු විඤ්ඤාණඤ්චායතන භවාඞ්ගය වේ. මෙසේ ප්‍රතිසන්‍ධි භවාඞ්ගවශයෙන් හා අවසානයෙහි ච්‍යුති වශයෙන් ද උපදනා වූ විඤ්ඤාණඤ්චායතන විපාකයට ආකාසානඤ්චායතන කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම ‘කුසලො ධම්මො අබ්‍යාකතස්ස -පෙ-“ වදාළ සේක.
‘ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චායතන කිරියස්ස’ යන අනුවාදපාලියෙහි “අකාසානඤ්චායතන කුසලස්ස” යනුවෙන් දැක්වෙන වර්‍තමානභවයේ හෝ අතීතභවයෙහි ස්වසන්තානයෙහි ඇති වූ ආකාසානඤ්චායතන කුසලය විඤ්ඤාණඤ්චායතන කිරියචිත්තයට ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේය:- කාමරූප ආකාසානඤ්චායතන භූමින්හි අෂ්ටසමාපත්තිලාභී අනාගාමිපුද්ගලයා අර්‍හත්වයට පැමිණ ආකාසානඤ්චායතන කිරියාසමාපත්තියට සමවැදීමට පෙරාතුව ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පටන් ප්‍රතිලෝම ක්‍රමයෙන් සමාපත්තිවලට සමවැදීම් වශයෙන් හෝ ප්‍රථමධ්‍යානයෙහි පටන් ඒකන්තරික ක්‍රමයෙන් සමාපත්තිවලට සමවැදීම් වශයෙන් හෝ විඤ්ඤාණඤ්චායතන ක්‍රියාසමාපත්තියට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරුව වර්‍තමානභවයෙහි ආධ්‍යාත්මික සන්තානයෙහි අතීතයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුශලය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ඉපද නිරුද්ධ වූ පසු මහාක්‍රියා තෘතීයචිත්තද්වය අතුරෙන් එක් සිතක් මන්‍දප්‍රාඥයෙන් වේ නම් පරිකර්‍ම උපචාර අනුලෝම ගෝත්‍රභූ වශයෙන් සතරවරක් ද තීක්‍ෂණප්‍රාඥයෙක් වේ නම් උපචාර අනුලෝම ගෝත්‍රභූ වශයෙන් තුන්වරක් ද ඉපද නිරුද්ධ වූ පසු විඤ්ඤාණඤ්චායතන කිරියා චිත්තය භවාඞ්ග සන්තතිය සේ බොහෝ වාර ගණනක් ඉපදීමෙන් පසු සුදුසු භවාඞ්ගචිත්තයක් උපදනේය. (රහත් වීමෙන් පසු ආකාසානඤ්චායතන ක්‍රියා සමාපත්තියට සමවන් රහතුන්ට විඤ්ඤාණඤ්චායතන චිත්තය ඇති වන්නේ ආකාසානඤ්චායතන ක්‍රියාව ම අරමුණු කොට ගෙන ය. එබැවින් ආකාසානඤ්චායතන ක්‍රියාසමාපත්තියට සමවන් අර්‍හත්පුද්ගලයාහට ආකාසානඤ්චායතන කුශලය අරමුණු කොට විඤ්ඤාණඤ්චායතන චිත්තයක් නූපදී.)
විඤ්ඤාණඤ්චායතන භූමියෙහි අර්‍හත් පුද්ගලයා විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සමාපත්තියට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරුව අතීතභවයෙහි ආධ්‍යාත්මිකසන්තානයෙහි ඇතිවූ ආකාසානඤ්චායතන කුසලය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනයද මහාක්‍රියා තෘතීයද්වයෙන් එක් සිතක් තුන්වරක් හෝ සතර වරක් ද ඉපදීමෙන් අතීතභවයේ ආකාසානඤ්චායතන කුසලය අරමුණුකොට විඤ්ඤාණඤ්චායතන කිරියා චිත්තය භවාඞ්ගසන්තතිය මෙන් බොහෝ වාර ගණනක් ඉපදීමෙන් පසු විඤ්ඤාණඤ්චායතන භවාඞ්ගය වේ. (විඤ්ඤාණඤ්චායතන භූමියෙහි ආකාසානඤ්චායතන කුසලය නො ලැබෙන බැවින් එහි රහතුන් ගේ විඤ්ඤාණඤ්චායතන කිරියචිත්තයට අතීතභවයේ ආකාසානඤ්චායතන කුසලයම අරමුණු වේ.) මේ වීථිවල විඤ්ඤාණඤ්චායතන කිරිය චිත්තයන්ට ආකාසානඤ්චායතන කුසලය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසලො ධම්මො අබ්‍යාකතස්ස -පෙ-“ වදාළ සේක.
“ආකිඤ්චඤ්ඤායතන කුසලං නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාකස්ස ච කිරියස්ස ච” යනුද වුක්තානුසාරයෙන් විස්තර කරනු. (කිරියස්සා ති අරහත්තං පත්‍වා අසමාපන්නපුබ්බෙ ආකාසානඤ්චායතනෙ පටිලොමතො වා එකන්තරික වසෙන වා සමාපන්න කිරියාය” යනු අටුවා යි. පටිලොමතො වා එකන්තරික වසෙනවා ති වදන්තෙවා අනුලොමතො සමාපජ්ජනෙ යෙභූය්‍යෙන ආසන්න සමාපත්තියා ආරම්මණභාවො දස්සිතො ති දට්ඨබ්බො. යථා පන පටිලොමතො එකන්තරික වසෙනා පි සමාපජ්ජන්තස්ස අනාසනන්තාපි සමාපත්ති ආරම්මණං හොති එවං අනුලොමතො සමපජ්ජන්තස්සා පි භවෙය්‍යා ති” යනු ටීකායි.)
“කුසලා ඛන්‍ධා චෙතොපරියඤාණස්ස” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් දැක්වෙන පරසන්තානගත කුශලචිත්තය “චෙතොපරියඤාණස්ස” යනුවෙන් දැක්වෙන චෙතෝපරිය කිරියා අභිඤ්ඤාවට ද, -
“කුසලා ඛන්‍ධා පුබ්බෙනිවාසානුස්සති ඤාණස්ස” යන අනුවාද පාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් දැක්වෙන පූර්‍වභවයන්හි වූ කුශලය “පුබ්බෙනිවාසානුස්සතිඤාණස්ස” යනුවෙන් දැක්වෙන පුබ්බෙනිවාසානුස්සති කිරියා අභිඤ්ඤාවට ද, -
“කුසලා ඛන්‍ධා යථාකම්මූපගඤාණස්ස” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් දැක්වෙන අතීත ලෞකිකකුශලයන් “යථාකම්මූපගඤාණස්ස” යනුවෙන් දැක්වෙන යථාකම්මූපග කිරියා අභිඤ්ඤාවට ද, -
“කුසලා ඛන්‍ධා අනාගතංස ඤාණස්ස” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් දැක්වෙන අනාගත එක්විසි කුශල චිත්තය ‘අනාගතංසඤාණස්ස” යනුවෙන් දැක්වෙන අනාගතංස කිරියා අභිඤ්ඤාවට ද, -
“කුසලා ඛන්‍ධා ආවජ්ජනාය” යන අනුවාදපාලියෙහි “කුසලා ඛන්‍ධා” යනුවෙන් දැක්වෙන කුසල්සිත් එක්විස්ස “ආවජ්ජනාය” යනුවෙන් දැක්වෙන කුශලය අරමුණු කරන මනෝද්වාරාවජ්ජනයට ද ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො” යනුවෙන් වදාළ සේක. ප්‍රත්‍යය වන ආකාරය වුක්තානුසාරයෙන් චිත්තවීථි උදුරා විස්තර කරනු.
කුසලපදවාරයට අනතුරුව අකුසලපදවාරය වදාළ සේක. එද අකුසලපදාවසානවාරය ය, කුසලපදාවසාන වාරය ය, අබ්‍යාකත පදාවසාන වාරයය යන මොවුන් ගේ වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් අකුසලපදාවසානවාරය පළමු කොට වදාළ සේක. එනම් “අකුසලො ධම්මො අකුසලස්ස -පෙ- උද්ධච්චං උප්පජ්ජති” යනුයි. පදාර්‍ථ සුගම ය.
වීථිපාලියෙහි “අකුසලො” යන කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්ස ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රත්‍යයෝත්පන්න වූ ඒ ධර්‍මයෝම ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණූපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණ ශක්තිය ලැබේ.
“රාගං අස්සාදෙති” යනාදි අනුවාදපාලියෙහි “රාගං” යනුවෙන් රාගය ප්‍රධාන ලෝභමූල චිත්තෝත්පාදය ද “අස්සාදෙති” යනුවෙන් ආස්වාදනය කරන ලෝභමූල සෝමනස්ස සහගත චිත්තයන් ද “අභිනන්‍දති” යනුවෙන් සප්‍රීතික තෘෂ්ණාව ප්‍රධාන ලෝභමූල සෝමනස්ස සහගත චිත්තයන් ද ගනිමින් රාගො යනුවෙන් රාගප්‍රධාන ලෝභමූල චිත්තයන් ද ඉතිරි පදවල අභිධෙය්‍ය වුක්තානුසාරයෙන් ද ගනිමින් සියල්ල විථි දක්වමින් විස්තර කරනු.
අකුසලපදාවසානවාරයට අනතුරුව කුසලපදාවසානවාරය වදාළ සේක. එනම්, “අකුසලො ධම්මො අකුසලස්ස -පෙ- අනාගතංස ඤාණස්ස ආරම්මණපච්චයෙන පච්චයො” යනු යි. පදාර්‍ථ සුගම ය.
එහි අදහස මෙ සේ ය:- අකුශල ධර්‍මය කුශල ධර්‍මයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වන්නේ මෙ සේ ය: සෝවාන් පුද්ගලයා විසින් සෝවාන් මාර්‍ගයෙන් ප්‍රහාණය කළ දෘෂ්ටි විචිකිත්සා ද්වය ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ ක්ලේශයෝ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ කාමාවචර කුශලයට ද, සකෘදාගාමි පුද්ගලයා විසින් සකෘදාගාමිමාර්‍ගයෙන් තුනීකිරීම් වශයෙන් ප්‍රහාණය කළ ඖදාරික රාග ද්වේෂ මෝහයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ ක්ලේෂයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශල චිත්තයට ද, අනාගාමි පුද්ගලයා විසින් අනාගාමි මාර්‍ගයෙන් ප්‍රහාණය කළ කාමරාග ව්‍යාපාදයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ ක්ලේශයෝ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලයට ද, සෝවාන් පුද්ගලයා විසින් සෝවාන්මාර්‍ගයෙන් අප්‍රහීන ලෝභ දෝස මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ ක්ලේශයෝ අප්‍රහීන ක්ලේශයෝ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලයට ද, සකෘදාගාමි පුද්ගලයා විසින් සකෘදාගාමිමාර්‍ගයෙන් තුනී නො කළ සූක්‍ෂම වූ රාග දෝස මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ ක්ලේශයෝ අප්‍රහීණ ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලයට ද, අනාගාමි පුද්ගලයා විසින් අනාගාමි මාර්‍ගයෙන් අප්‍රහීන රූපරාග අරූපරාග මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ කලේශයේ අප්‍රහීණ ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලයට ද, ශෛක්‍ෂ පෘථග්ජනයන් අකුශලය අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් විදර්‍ශනා කරන කල්හි ඒ කුශලය විදර්ශනා කරන කාමාවචර කුශලයට ද, ශෛක්‍ෂපෘථග්ජනයන් අන්‍යයන්ගේ අකුශලචිත්තය චේතෝපරියඤාණයෙන් බලන කල්හි ඒ අකුශලයෝ චේතෝපරිය කුශලාභිඥාවට හා එය අනුව පවත්නා කාමකුශලයට ද, පෙර ජාතිවල පැවති අකුශලයෝ කුශල පුබේබෙනිවාසානුස්සති අභිඤ්ඤාවට ද, අතීත අකුශලකර්‍මයෝ යථාකම්මූපගඅභිඤ්ඤාකුශලයට ද, අනාගත අකුශලයෝ අනාගතංශ අභිඤ්ඤා කුශලයට ද ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
අනුවාදපාලියෙහි කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොස හා චෛතසික සත්විස්ස ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් මහාකුසල් අට ය, චේතෝපරිය පුබ්බෙනිවාසානුස්සති යථාකම්මූපග අනාගතංස කුශලාභිඤ්ඤාවෝ ය අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික සතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණශක්තිය ලැබේ.
“සෙක්ඛා පහීනෙ කිලෙසෙ පච්චවෙක්ඛන්ති” යන අනුවාද පාලියෙහි සෝවාන් පුද්ගලයා ගේ වශයෙන් කියන කල්හි “පහීනෙ කිලෙසෙ” යනුවෙන් ගැනෙන දෘෂ්ටිවිචිකිත්සා සඞ්ඛ්‍යාත ක්ලේශද්වයය “පච්චවෙක්ඛති” යනුවෙන් ගැනෙන සෝවාන් පුද්ගලයා ගේ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර කුශලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍ය වේ.
ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය:- සෝවාන් පුද්ගලයා විසින් තමා ගේ මාර්‍ගයෙන් ප්‍රහීන ක්ලේශයන් මෙනෙහි කරනු කැමති කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධි චිත්තයට සමාන සිතක් භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේද වශයෙන් ඉපද නිරුද්ධ වූ පසු සෝවාන් මාර්‍ගයෙන් ප්‍රහීන දෘෂ්ටිවිචිකිත්සා සඞ්ඛ්‍යාත ක්ලේශද්වයය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහාකුසල් අට අතුරෙන් එක්සිතක් ප්‍රත්‍යවේක්‍ෂා ජවන වශයෙන් සත්වරක් ද උපන් පසු භවාඞ්ගය වේ. අනතුරුව තදනුවර්‍තක මනෝද්වාරවීථීයකින් තමා ප්‍රහාණය කළ කෙලෙස් මෙතෙකැ යි දැනගන්නේ ය. මේ වීථීන්හි ප්‍රත්‍යවේක්‍ෂා කුසල ජවනයන්ට ප්‍රහීන ක්ලේශයෝ ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වෙති.
“පහීනෙ කිලෙසෙ” යනුවෙන් දැක්වෙන සකෘදාගාමි මාර්‍ගයෙන් තනුකරණ වසයෙන් ප්‍රහාණය කරන ඖදාරික රාගද්වේෂමෝහයන් ද අනාගාමි මාර්‍ගයෙන් ප්‍රහාණය කරන කාමරාගව්‍යාපාදයන් ද ප්‍රත්‍යවේක්‍ෂාජවනයන්ට ද ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වීම ඉහත කී ක්‍රමයෙන් විස්තර කරනු.
“සෙක්ඛා වික්ඛම්භිතෙ කිලෙසෙ පච්චවෙක්ඛන්ති” යන අනුවාදපාලියෙහි සෝවාන් පුද්ගලයාගේ වශයෙන් කියන කල්හි “වික්ඛම්භිතෙ කිලෙසෙ” යනුවෙන් ගැනෙන සෝවාන්මාර්‍ගයෙන් අප්‍රහීණ ලෝභ දෝස මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන ක්ලේශයෝ අටදෙන “පච්චවෙක්ඛන්ති” යනුවෙන් දැක්වෙන අවශේෂක්ලේශයන් මෙනෙහි කරන කාමාවචර කුශලයට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය:- සෝවාන් පුද්ගලයා විසින් අප්‍රහීණ ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමට කැමති කල්හි භවාඞ්ග චලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරුව අප්‍රහීණ ක්ලේශ අට අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද මහා කුසල් අට අතුරෙන් එක් සිතක් ප්‍රත්‍යවේක්‍ෂා ජවන කෘත්‍යයෙන් සත් වරක් ද ඉපදීමෙන් පසු භවාඞ්ගය වේ. අනුතරුව තදනුවර්‍තක වීථීහු වෙති. මේ වීථිවලින් අප්‍රහීණ ක්ලේශ මෙතෙකැයි දැන ගනී. මේ වීථිවල කාමජවනයන්ට සෝවාන් මාර්‍ගයෙන් අප්‍රහීණ ක්ලේශයන් ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසලො ධම්මො, කුසලස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො” යනුවෙන් වදාළ සේක.
වික්ඛම්භිතෙ කිලෙසෙ යනුවෙන් සකෘදාගාමිපුද්ගලයා ගේ වශයෙන් ගැනෙන සකෘදාගාමිමාර්‍ගයෙන් අප්‍රහීණ සූක්‍ෂම වූ රාග දෝස මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන ක්ලේශ අට ද අනාගාමිපුද්ගලයා ගේ වශයෙන් ගැනෙන රූපරාග අරූපරාග මෝහ මානථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන ක්ලේශ අට ද ප්‍රත්‍යවේක්‍ෂා කාමාවචර කුශලජවනයන්ට ආරම්මණශක්තියෙන් ප්‍රත්‍යය වීම කියන ලද නය අනුව විස්තර කරනු.
“පුබ්බෙ සමුදාචිණ්ණෙ කිලෙසෙ ජානන්තී” යන අනුවාද පාලියෙන් දැක්වෙන පෙර පැවති කෙලෙසුන් ඒවා දැනගන්නා වූ කාමාවචර කුශලයට ප්‍රත්‍යය වීම ද “සෙක්ඛා වා පුථුජ්ජනා වා අකුසලං -පෙ- විපස්සන්ති” යන අනුවාදපාලියෙන් දැක්වෙන අකුශලය විදර්‍ශනා කරන කාමාවචරකුශලයට ප්‍රත්‍යය වීම ද වුක්තානුසාරයෙන් වීථි දක්වා විස්තර කරනු. “චෙතොපරියඤාණෙන අකුශලචිත්තසමඞ්ගිස්ස චිත්තං ජානන්ති, අකුසලා ඛන්‍ධා චෙතොපරියඤාණස්ස” යනාදියෙහි අකුශල ස්කන්‍ධයන් චේතෝපරියඤාණයට ද, පුබ්බෙනිවාසානුස්සතිඤාණයට ද යථාකම්මූපග ඤාණයට ද, අනාගතංස ඤාණයට ද ආරම්මණප්‍රත්‍යය වන සැටි “කුසලො කුසලස්ස” යන වාරයෙහි දැක්වූ ආකාරය අනුව වීථි දක්වා විස්තර කරනු.
කුසලපදාවසානවාරයට අනතුරු ව අබ්‍යාකතපදාවසානවාරය වදාළ සේක. “අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස -පෙ- අනාගතංසඤාණස්ස ආවජ්ජනාය ආරම්මණපච්චයෙන පච්චයො” යනු යි. “අකුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොස හා චෛතසික සත්විස්ස ලැබේ. “අබ්‍යාකතස්ස ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් තදාරම්මණ එකොළොස ය, පඤ්චද්වාරාවජ්ජනය හැර කාම ක්‍රියා දශය ය, චේතෝපරිය පුබ්බෙනිවාසානුස්සති යථාකම්මූපග අනාගතංස කිරියා අභිඤ්ඤාවෝ ය, විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික තෙතිසය යන මොවුහු ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණ ශක්තිය ලැබේ.
“අරහා පහීනෙ කිලෙසෙ පච්චවෙක්ඛති” යන අනුවාදපාලියෙන් දැක්වෙන අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ රූපරාග අරූපරාග මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන අකුශලධර්‍මයෝ ඒවා ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමක්‍රියාවන්ට ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වෙති. ප්‍රත්‍යය වන ආකාරය විස්තර කරනු. “පුබ්බෙ සමුදාචිණ්ණෙ” යනාදිය ද කියන ලද නය අනුව දත හැකිය.
අකුසලපදවාරයට අනතුරු ව අබ්‍යාකතපදවාරය වදාළ සේක. එහි ද අබ්‍යාකතපදාවසානවාරාදි වශයෙන් වාර තුනෙකි. එයින් අබ්‍යාකතපදාවසානවාරය පළමු කොට වදාළ සේක. “අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස -පෙ- කිරියාබ්‍යාකත චිත්තසමඞ්ගිස්ස චිත්තං ජානාති” යනුයි. එහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් විපාකසිත් සතිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය, රූප අටවිස්ස ය, නිවන ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කාමවිපාක තෙවිස්ස ය, කාමක්‍රියා එකොළොස ය, විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කිරියා දෙක ය, දිබ්බචක්ඛු දිබ්බසෝත ඉද්ධිවිධ චේතෝපරිය පුබ්බෙනිවාසානුස්සති යථාකම්මූපග අනාගතංස යන ක්‍රියා අභිඤ්ඤා ය, ඵලසිත් සතර ය, අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික සතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්.
විස්තර වශයෙන් මෙසේය:- චක්‍ෂුර්විඥානද්වයට ප්‍රත්‍යයවන වර්‍තමාන රූපාරම්මණය ය, -පෙ- මනෝධාතුත්‍රයට ප්‍රත්‍යය වන වර්‍තමාන පඤ්චාලම්බණය ය, තදාරම්මණ එකොළොසට හා හසිතෝත්පාදයට ප්‍රත්‍යය වන කාමවිපාක තෙවිස්ස ය කාමක්‍රියා එකොළොසය, රූප අටවිස්සය යන මොවුහුය. මහාක්‍රියා ඥාන විප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ලෞකික විපාක දෙතිස ය, ක්‍රියා සිත් විස්ස ය, රූප අට විස්ස ය යන මොවුහු ය, මහා ක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට හා මනෝදාවාරාවජ්ජනයට ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය ක්‍රියාසිත් විස්ස ය රූප අට විස්ස ය නිවන ය යන ධර්‍මයෝ ය, විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තයට ප්‍රත්‍යයවන වර්‍තමානභවයේ ආධ්‍යාත්මික සන්තානයෙහි උපන් ආකාසානඤ්චායතන කිරියචිත්තය ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියාචිත්තයට ප්‍රත්‍යය වන වර්‍තමාන භවයේ ආධ්‍යාත්මික සන්තානයෙහි උපන් ආකිඤ්චඤ්ඤායතන ක්‍රියාචිත්තය ය, දිබ්බචක්ඛු කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන රූපාරම්මණය ය, දිබ්බසෝත කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම ශබ්දාරම්මණය ය, චේතෝපරිය කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අන්‍යයන් ගේ විපාකසිත් සතිස ය ක්‍රියා සිත් විස්ස ය යන ධර්‍මාරම්මණය ය ඉද්ධිවිද කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන පාදක රූපාවචර පඤ්චමධ්‍යාන ක්‍රියාචිත්තය හා නිර්මිතරූපයෝ ය යන ෂඩාරම්මණය ය, පුබ්බෙනිවාසානුස්සති කිරිය අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන පෙරජාතිවල වූ විපාක සිත් සතිස ය රූප අටවිස්ස ය යන පඤ්චස්කන්‍ධය ය, පඤ්චස්කන්‍ධානුසාරයෙන් දත යුතු නිර්‍වාණය ය යන ෂඩාරම්මණය ය, අනාගතංස කිරිය අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අනාගත විපාක සිත් සතිස ය ක්‍රියා සිත් විස්ස ය රූප අටවිස්ස ය ස්කන්‍ධානුසාරයෙන් දතයුතු වූ නිවන ය යන ෂඩාරම්මණය ය, ඵලසිත් සතරට ප්‍රත්‍යය වන නිවන ය යන මොවුහු “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් ලැබෙත්. සම්ප්‍රදානපාඨයේ අභිධෙය වුක්තානුසාරයෙන් දත හැකි ය. කරණපාඨයෙන් ආරම්මණ, ආරම්මණාධිපති, වත්‍ථාරම්මණනිස්සය, ආරම්මණූපනිස්සය, ආරම්මණපුරේජාත, වත්‍ථාරම්මණ විප්පයුත්ත, ආරම්මණපුරෙජාතත්‍ථි, ආරම්මණපුරෙජාතාවිගත යන ශක්ති අට අතුරෙන් ආරම්මණශක්තිය ලැබේ.
“අරහා ඵලං පච්චවෙක්ඛති” යන අනුවාදපාලියෙන් දැක්වෙන අර්‍හත්ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඥානසම්ප්‍රයුක්ත මහාක්‍රියා චිත්තයන්ට ප්‍රත්‍යය වන ආකාරය මෙ සේ ය. අර්‍හත් පුද්ගලයා තමා ගේ ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කරනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව අර්‍හන්ඵලය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතරින් එකක් ප්‍රත්‍යවේක්‍ෂා ජවනකෘත්‍යයෙන් සත් වරක් ද උපන් පසු භවාඞ්ගය වේ. අනතුරු ව තදනුවර්‍තක මනෝද්වාර වීථීහු වෙති. අර්‍හත්ඵල චිත්තය ඒ වීථීන්හි මනෝද්වාරාවජ්ජනයට හා මහාක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වීම ‘අබ්‍යාකතො ධම්මො -පෙ- වදාළ සේක. “නිබ්බානං පච්චවෙක්ඛති” යනු ද විස්තර කරනු.
“නිබ්බානං ඵලස්ස” යන අනුවාද පාලියෙන් දැක්වෙන නිර්‍වාණය ඵල සිත් සතරට ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. සෝවාන් පුද්ගලයා තමා ගේ ඵලයට සමවදිනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව ත්‍රෛභූමික සංස්කාරයන් අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය ද අනතුරු ව මහාකුශල ප්‍රථමද්වයයෙන් එක් සිතක් අනුලෝමජවන වශයෙන් සතරවරක් හෝ තුන්වරක් ඉපදීමෙන් පසු ප්‍රථමධ්‍යාන සහගත වූ හෝ ද්විතීය තෘතීය චතුර්‍ථධ්‍යාන සහගත වූ හෝ, අනුලෝමය මහාකුශල තෘතීය ද්වයයෙන් එකක් වී නම් පඤ්චමධ්‍යාන සහගත වූ හෝ සෝතාපත්තිඵලචිත්තය භවාඞ්ගසන්නතිය මෙන් කැමතිතාක් උපදනේ ය. සකෘදාගාමි අනාගාමි ඵලසමාපත්ති වීථීහු ද එ සේ ම ය. අර්‍හත්ඵල සමාපත්තිවීථීන්හි අනුලෝම ජවනයෝ මහා ක්‍රියා ඥානසම්ප්‍රයුක්ත චිත්තයෝ ය. මේ වීථිවල ඵලචිත්තයන්ට නිර්‍වාණය ආරම්මණ ශක්තියෙන් ප්‍රත්‍යය වීම අබ්‍යාකතො -පෙ- වදාළ සේක.
‘නිබ්බානං ආවජ්ජනාය’ යන අනුවාද පාලියෙන් දැක්වෙන පරිදි නිර්‍වාණය මනෝද්වාරාවජ්ජනයට ප්‍රත්‍යය වන ආකාරය මෙ සේ ය. අර්‍හත් පුද්ගලයා නිවන ප්‍රත්‍යවේක්‍ෂා කරනු කැමති කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරුව නිර්‍වාණය අරමුණු කොට මනෝදාවාරාවජ්ජනය ද මහාක්‍රියාඥානසම්ප්‍රයුක්ත සිත් සතරින් එකක් ප්‍රත්‍යවේක්‍ෂා ජවනකෘත්‍යයෙන් සත් වරක් ද ඉපදීමෙන් පසු භවාඞ්ගය වේ. හෙට්ඨිමඵලස්ථයන් ගේ වීථිවල එසේ ම මහාකුශල චිත්තය ජවනකෘත්‍යයෙන් උපදී. මේ වීථිවල -පෙ- වදාළ සේක.
“අරහා චක්ඛුං -පෙ- විපස්සති” යන අනුවාදපාලියෙහි දැක්වෙන චක්‍ෂුඃප්‍රසාදය ද “සොතං ඝානං ජිව්හං කායං” යනුවෙන් දැක්වෙන ශ්‍රෝතාදි ප්‍රසාද සතර ද, ‘රූපෙ’ යනුවෙන් දැක්වෙන චතුසමුට්ඨානික රූපයන් ගේ වර්‍ණය ද, ‘සද්දෙ’ යනුවෙන් දැක්වෙන ද්විසමුට්ඨානික ශබ්දයද, “ගන්‍ධෙ රසෙ ඵොට්ඨබ්බෙ” යනුවෙන් දැක්වෙන චතුසමුට්ඨානික ගන්‍ධ රස ඵොට්ඨබ්බයක් ද ‘වත්‍ථු’ යනුවෙන් දැක්වෙන කර්‍මජ හෘදයවස්තු රූපය ද, ‘විපාකාබ්‍යාකතෙ’ යනුවෙන් දැක්වෙන විපාකසිත් දෙතිස ද ‘කිරියාබ්‍යාකතෙ’ යනුවෙන් දැක්වෙන ක්‍රියා සිත් විස්ස ද අර්‍හත් පුද්ගලයාගේ ප්‍රත්‍යවේක්‍ෂාචිත්තයන්ට ප්‍රත්‍යය වීම උක්තානුසාරයෙන් විස්තර කරනු. (අනුවාදපාලියෙහි එක් හේතුවකින් හටගන්නා රූපයන් ඒකවචනයෙන් ද බොහෝ හේතූන් ගෙන් හටගන්නා රූපයන් ‘රූපෙ සද්දෙ’ යනාදීන් බහුවචනයෙන් ද දක්වා තිබේ.)
‘දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති’ යන අනුවාදපාලියෙන් දැක්වෙන දූරප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම රූපාරම්මණය දිබ්බචක්ඛු කිරිය අභිඤ්ඤාචිත්තයට ප්‍රත්‍යය වීම ද, ‘දිබ්බායි සොතධාතුයා සද්දං සුණාති’ යනුවෙන් දැක්වෙන දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම ශබ්දාරම්මණය දිබ්බසෝත කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යයවීම ද චේතොපරියකිරියා අභිඤ්ඤා ආදියට ප්‍රත්‍යවීම ද විස්තර කරනු. ‘රූපායතනං චක්ඛුවිඤ්ඤාණස්ස යනාදිය පඤ්චද්වාර වීථි දක්වමින් විස්තර කරනු.
‘අබ්‍යාකතා ඛන්‍ධා ඉද්ධිවිධඤාණස්ස’ යන අනුවාදපාලියෙහි අබ්‍යාකතා ඛන්‍ධා යනුවෙන් දැක්වෙන පාදක රූපාවචර පඤ්චමධ්‍යානය හා නිර්මිත රූපයන් ඉද්ධිවිධක්‍රියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වීම ද, පරසන්තානගත විපාක ක්‍රියාචිත්තයන් චේතෝපරිය කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වීම ද, පෙර ජාතිවලට අයත් විපාකසිත් සතිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය, රූප අටවිස්ස ය යන අව්‍යාකෘත ධර්‍මයන් පුබ්බෙනිවාසානුස්සති කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වීම ද, අනාගතංස කිරියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වීම ද, අව්‍යාකෘත ධර්‍මයන් ආවර්ජනයට ප්‍රත්‍යය වීම ද වීථි දක්වමින් විස්තර කරනු.
අබ්‍යාකතපදාවසානවාරයට අනතුරු ව කුසලපදාවසානවාරය වදාළ සේක. ‘අබ්‍යාකතො ධම්මො කුසලස්ස -පෙ- අනාගතංසඤාණස්ස, ආරම්මණ පච්චයෙන පච්චයො” යනු යි. කර්‍තෘපාඨයෙන් අර්‍හත්ඵලයෙන් අන්‍ය වූ විපාක සිත් පන්තිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය, රූප අටවිස්ස ය, නිවන ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදාන පාඨයෙන් මහා කුසල් අට ය, දිබ්බචක්ඛු දිබ්බසොත ඉද්ධිවිධ චේතොපරිය පුබ්බෙනිවාසානුස්සති අනාගතංස කුසලඅභිඤ්ඤාවෝය අප්‍රමාණ වර්ජිත චෛතසික සතිස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ලැබෙත්. විස්තර වශයෙන් මෙසේ ය:- මහාකුශලඥානවිප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන ලෞකිකචිත්ත දෙතිස ය ක්‍රියා සිත් විස්ස ය රූප අටවිස්ස ය යන මොහු ය, මහාකුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වන අර්‍හන්ඵල වර්ජිත විපාකසිත් පන්තිස ය ක්‍රියා සිත් විස්ස ය රූප අටවිස්ස ය නිවන ය යන මොවුහු ය, දිබ්බචක්ඛු කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන රූපාරම්මණය ය, දිබ්බසෝතකුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන ශබ්දාරම්මණය ය, ඉද්ධිවිධ කුශලාභිඤ්ඤාවට ප්‍රත්‍යයවන නිර්මිත රූප සඞ්ඛ්‍යාත ෂඩාරම්මණය ය, චේතෝපරිය කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අතීත සත්වන දිනයට හා අනාගත සත්වන දිනයට අතරෙහි කාලත්‍රයට අයත් පරසන්තාන ගත අර්‍හත්ඵල වර්ජිත විපාකසිත් පන්තිස ය ක්‍රියා විස්සය යන ධර්‍මාරම්මණයය පුබ්බෙනිවාසානුස්සති කුශලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන පෙරජාතියෙහි වූ අර්‍හත්ඵල වර්ජිත විපාක පන්තිස ය ක්‍රියා සිත් විස්ස ය රූප අට විස්ස ය යන ස්කන්‍ධ පඤ්චකය ය. ඒ ස්කන්‍ධානුසාරයෙන් දත යුතු වූ නිවනය යන ෂඩාරම්මණය ය අනාගතංස කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන අනාගත වූ ඒ ධර්‍මයෝ ය යන ප්‍රත්‍යධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයේ අභිධෙය පෙර පරිදිමය. කරණපාඨයෙන් එක් වර ලැබෙන ආරමම්ණ සභාග ප්‍රත්‍යයන් ගේ ශක්තීන් අතුරෙන් ආරම්මණ ශක්තිය ලැබේ.
(ආරම්මණ, ආරම්මණාධිපති, වත්‍ථාරම්මණනිස්සය, ආරම්මණූපනිස්සය, ආරමම්ණපුරෙජාත, වත්‍ථාරම්මණවිප්පයුත්ත, ආරම්මණපුරෙජාතත්‍ථි ආරම්මණපුරේජාතවිගත යන මේ අට ආරම්මණසභාගයෝ ය.)
“සෙක්ඛා ඵලං පච්චවෙක්ඛන්ති” යනාදි අනුවාදපාලියෙන් දැක්වෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් හා නිර්‍වාණය ඒ ඒ පුද්ගලයන්ගේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශල චිත්තයන්ට ප්‍රත්‍යය වීම යනාදිය ද වීථි උදුරමින් එකින් එක වුක්තානුසාරයෙන් විස්තර කරනු.
කුසලපදාවසාන වාරයට අනතුරු ව අකුසලපදාවසාන වාරය වදාළ සේක. “අබ්‍යාකතො ධම්මො අකුසලස්ස -පෙ- පච්චයො” යනු යි. කර්‍තෘපාඨයෙන් ලෞකිකවිපාක දෙතිස ය ක්‍රියා සිත් විස්ස ය චෛතසික පන්තිස ය රූප අටවිස්ස ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදාන පාඨයෙන් අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ආරම්මණසභාග ප්‍රත්‍යයන් අතුරෙන් ආරම්මණශක්තිය ලැබේ. වුක්තානුසාරයෙන් විස්තර කරනු.
ආරම්මණ විභඞ්ග වාරය නිමි.