13. කර්‍මප්‍රත්‍යය විභඞ්ගය

star_outline

කර්‍මප්‍රත්‍යයවිභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ කුසල් සිත් එක්විස්ස ය, චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එඒක්විසි කුසල චිත්තයයන්හි ඇති චේතනා එක් විස්සෙහි සහජාතකර්‍ම ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨාභිධෙය හේතු ප්‍රත්‍යයෙහි මෙන් ගන්නේ ය. හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක් එක් කුසල චිත්තයෙක්හි ඇති චේතනා චෛතසිකයා ගේ සහජාත කර්‍ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසිපසෙකි.

කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ කුසල් සිත් එක්විස්ස ය චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුසල චේතනාවන්ගේ සහජාත කර්‍ම ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසියදසයෙකි.

අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොස ය, චෛතසික සත් විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අකුසල් සිත් දොළොස ය, චේතනා වර්ජිත චෛතසික සවිස්සය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතු පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුශල චිත්තයන්හි ඇති චේතනා චෛතසික දොළොසෙහි සහජාත කර්‍ම ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අකුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපදාභිධෙය හේතුවෙහි මෙනි. හේතුපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ දොළොස් අකුශල චේතනාවන්ගේ සහජාත කර්‍ම ශක්තිය ලැබේ.

අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අකුසල් සිත් දොළොස ය, චේතනා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ද ලැබෙත්. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අකුසල් සිත් දොළොසෙහි ඇති චේතනා දොළොසෙහි සහජාත කර්‍ම ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් විපාකසිත් සතිස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ විපාක සිත් සතිස ය ක්‍රියා සිත් විස්සය ක්‍රියා චේතනා වර්ජිත චෛතසික අටතිසය ය යන අවයව නාමස්කන්‍ධයෝ ය. ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. (නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යයෝත්පන්නයන් ඇතුළුවන බැවින් විපාක චේතනාව බැහැර නොකරන ලදි.) හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිසෙහි හා ක්‍රියා සිත් විස්සෙහි ඇති චේතනාවන්ගේ සහජාත කර්‍ම ශක්තිය ලැබේ. විපාක සිත් සතිසට ප්‍රත්‍යය වන අතීතකුශලාකුශල චේතනාවන්ගේ නානාක්‍ෂණික කර්‍මශක්තිය ද ලැබේ. නොහොත් අකුසලවිපාක සතට ප්‍රත්‍යය වන දොළොස් අකුශල චේතනා ය, අහේතුක කුශලවිපාක මහාවිපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝත්කෘෂ්ට මහා කුශල චේතනා ය, අහේතුක කුශල විපාකයන්ට හා ඥානවිප්‍රයුක්ත මහාවිපාක සතරට ද ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝමක ද්විහේතුකෝත්කෘෂ්ටමහාකුශල චේතනා ය, අහේතුක කුශල විපාකයන්ට ප්‍රත්‍යය වන ද්විහේතුකෝමක මහා කුශල චේතනාය, ප්‍රථමධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රථමධ්‍යාන කුශල චේතනාව ය, -පෙ- පඤ්චමධ්‍යාන විපාකනාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන පඤ්චමධ්‍යාන කුශල චේතනාවය ආකාසානඤ්චායතන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ආකාසාවඤ්චායතන කුසල චේතනාවය -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායන විපාකයට ප්‍රත්‍යය වන නේවසඤ්ඤා-නාසඤ්ඤායතන කුශල චේතනාව ය, සෝතාපත්ති ඵලයට ප්‍රත්‍යය වන සෝතාපත්ති මග්ගචේතනාව ය -පෙ- අර්හත්තඵලයට ප්‍රත්‍යය වන අර්හත්තමග්ග චේතනාවය යන මොවුන්ගේ නානාක්‍ෂණික කර්‍ම ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයෙකි.

ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධිසිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ද නිසා උපදනා වූ ප්‍රතිසන්‍දි සිත් එකුන් විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයට ද සම්ප්‍රයුක්තස්කන්‍ධ කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන එකුන්විසි ප්‍රතිසන්‍ධි චිත්තයන්හි ඇති චේතනා එකුන් විස්සෙහි සහජාත කර්‍මශක්තිය ද ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ කෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන ඖද්ධත්‍යසහගත සිත්හි චේතනාව හැර එකොළොස් අකුශල චේතනාය, මහා කුසල චේතනා අටය, මහද්ගත කුසල චේතනා නවය ය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ නානාක්‍ෂණික කර්‍ම ශක්තිය ලැබේ. නොහොත් දුර්‍ගති අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන ඖද්ධත්‍ය චේතනා වර්ජිත අකුශල චේතනා එකොළොස ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝත්කෘෂ්ඨ මහාකුශල චේතනා ය, ද්විහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ත්‍රිහේතුකෝමක ද්විහේතුකෝත්කෘෂ්ට මහාකුශල චේතනා ය, සුගති අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ද්විහේතුකෝමක මහාකුශල චේතනා ය, ප්‍රථමධ්‍යාන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ප්‍රථමධ්‍යාන කුශල චේතනාව ය, -පෙ- පඤ්චමධ්‍යාන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට හා කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චමධ්‍යාන කුශල චේතනාව ය, ආකාසානඤ්චායතන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසල චේතනාව ය, -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලචේතනාව ය යන මේ ප්‍රත්‍යය ධර්‍මයන් ගේ නානාක්‍ෂණික කර්‍ම ශක්තිය ලැබේ.

ශුද්ධරූපවාරයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය, යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ උපාදාය රූපයෝ ලැබෙත්. “කම්මපච්චයා” යන හේතුපාඨයෙන් චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්හි වූ චේතනාවන් ගේ සහජාත කර්‍ම ශක්තිය ද, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ඖද්ධත්‍ය චේතනා වර්ජිත අකුශල චේතනා එකොළොස ය, මහාකුශල චේතනා අටය, රූප කුශල චේතනා පසය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අකුසල චේතනා දොළොස ය, මහාකුසල චේතනා අටය, රූප කුශල චේතනා පසය, අසංඥ සත්ත්‍ව කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන රූපාවචර පඤ්චමධ්‍යාන කුශල චේතනාව ය යන මොවුන් ගේ නානාක්‍ෂණික කර්‍ම ශක්තිය ද ලැබේ. ඉතිරි වාර දෙක උක්තානු සාරයෙන් දන්නේ ය.

කර්‍ම ප්‍රත්‍යය විභඞ්ගය නිමි.