21. අත්‍ථි පච්චය විභඞ්ගය

star_outline

අත්‍ථිවිභඞ්ගයෙහි කුශලාකුශල දෙපදයේ වාර සය සහජාතය මෙන් විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි සහජාතත්‍ථිය සහජාතය මෙන් ද පුරේජාතත්‍ථිය පුරේජාතය මෙන් ද පච්ඡාජාතත්‍ථිය පච්ඡාජාතය මෙන් ද ආහාරත්‍ථිය රූපාහාරය මෙන් ද ඉන්‍ද්‍රියත්‍ථිය රූපජීවිතින්‍ද්‍රිය මෙන් ද විස්තර කරනු. අබ්‍යාකතෙන කුසලවාරය හා අබ්‍යාකතෙන අකුසලවාරය පුරේජාතය මෙන් විස්තර කරනු. කුසලාබ්‍යාකතෙන කුසලවාරය සහජාතපුරෙජාතමිශ්‍රකනිඃශ්‍රය ප්‍රත්‍යය අනුව විස්තර කරනු, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි සහජාතය ය, පශ්චාජ්ජාත ආහාරමිශ්‍රක ය, පශ්චාජ්ජාත ඉන්‍ද්‍රිය මිශ්‍රකය යන තුනෙන් සහජාතත්‍ථිය සහජාතය මෙන් විස්තර කරනු. පශ්චාජ්ජාත ආහාරමිශ්‍රකයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණෙන තිජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පශ්චිම පශ්චිම වූ කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණෙන ඕජාවය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණි තිජ චතුජ කායයන් වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. පශ්චාජ්ජාත ඉන්‍ද්‍රිය මිශ්‍රකයා ගේ වශයෙන් කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණි කර්‍මජකායයට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම වූ කුසල් සිත් එක්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණි රූපජීවිතේන්‍ද්‍රිය ය යන ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ස්ථිතියට පැමිණි රූපජීවිතේන්‍ද්‍රිය වර්ජිත කර්‍මජකාය ය ලැබේ. කරණ පාඨයෙන් එක්වර ලැබෙන අත්‍ථි අවිගත යන ශක්ති දෙකින් අස්තිශක්තිය ලැබේ. අකුසලාබ්‍යාකතපද වාරයද කියන ලද්ද අනුව විස්තර කරනු.

අත්‍ථිපච්චය විභඞ්ගය නිමි.

නත්‍ථි විගත විභඞ්ග දෙක අනන්තර විභඞ්ගය මෙනි. අවිගත විභඞ්ගය නත්‍ථි පච්චය විභඞ්ගය මෙනි.

පඤ්හාවාර විභඞ්ගය නිමි.