13. කර්‍ම ප්‍රත්‍යය

star_outline

අත් පා ආදි ශරීරාවයවයන් එසවීම් පහත් කිරීම් දිගු කිරීම් හැකිලවීම් ආදි වූ ද දීම් ගැනීම් පහර දීම් කථා කිරීම් විමසීම් ආදි වූ ද කායික වූ ද වාචසික වූ ද මානසික වූ ද සකල ක්‍රියාවන් සිදු කිරීමේ උත්සාහයක් සිත හා සම්බන්‍ධව ඇත්තේ ය. සෑම යන්ත්‍රයක් ම ක්‍රියා කරන්නේ ඒ යන්ත්‍රයෙහි යම්කිසි මූලස්ථානයක ඇති වායුවෙහි තල්ලු කිරීමේ වේගයෙනි. චිත්තය හා සම්බන්‍ධ වූ ක්‍රියා කිරීමේ උත්සාහය හෙවත් ක්‍රියා සිදු කිරීමේ වේගය, යන්ත්‍ර ක්‍රියා කරවන වායුවෙහි ඇති තල්ලු කිරීමේ වේගය මෙන් දත යුතු ය. එය සිත හා සම්බන්‍ධ වූ වේගයක් වන බැවින් එයට අටුවා ටීකාවල චිත්තප්පයෝග (චිත්තප්‍රයෝග) යන නම ව්‍යවහාර කර තිබේ. යන්ත්‍රයක සෑම අවයවයක ම ක්‍රියා කිරීමේ මූලය වේ. යන්ත්‍රයේ මූලස්ථානයෙහි වායුව තල්ලු කරන කල්හි එහි සියලු ම අවයව එයට අනුව සැලෙන්නාක් මෙන් චිත්තප්‍රයෝග සඞ්ඛ්‍යාත වේගය අනුව එය හා සම්බන්‍ධ වූ සකල චිත්තචෛතසිකයෝ ම ක්‍රියා කෙරෙති. චිත්තය හා සම්බන්‍ධ වූ ඒ මූලික වේගය උත්සාහයකැ යි කියන ලද නමුත් එය වීර්‍ය්‍ය චෛතසිකය නො වන බව ද දත යුතු ය. ඒ චිත්තප්‍රයෝග සඞ්ඛ්‍යාත වේගයට චේතනාව ය යි ද කර්‍මය ය යි ද කියනු ලැබේ. එය සාමාන්‍යයෙන් එකක් වුව ද ආකාර නානත්‍වයෙන් අනේක ප්‍රභේද වේ. සමාන චෛතසික ගණනකින් යුක්ත වන එක් සිතකින් අනේක ක්‍රියා සිදු කළ හැකි වන්නේ චේතනා නානත්‍වයෙනි.

සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කාමාවචර කුශල චිත්තය චෛතසික තෙතිසක් හා උපදනේ ය. ධර්‍ම සූතිසක් ඇති ඒ ධර්‍මරාශියට අයත් චේතනාව දීම සිදු කිරීමේ උත්සාහයක් වී නම් එයින් දානක්‍රියාවක් සිදුවේ. එහි චේතනාව වැඳීමේ උත්සාහයක් වී නම් එයින් වැඳීම සිදු වේ. එහි චේතනාව ගරු කළ යුත්තකුට ගරු කිරීමේ උත්සාහයක් වී නම් එයින් ගරු කිරීමක් සිදු වේ. එහි චේතනාව වතක් පිළිවෙතක් කිරීමේ උත්සාහය වී නම් එයින් වත් පිළිවෙත් කිරීම සිදු වේ. එහි චේතනාව බණ ඇසීමේ උත්සාහයක් වී නම් එයින් බණ ඇසීම සිදු වේ. එහි චේතනාව බණ කීමේ උත්සාහයක් වී නම් එයින් බණ කීමක් සිදු වේ. මෙ සේ සමාන චෛතසික ගණනකින් යුක්ත එක සිතකින් අනේක ක්‍රියා සිදු වන්නේ චේතනා චෛතසිකයේ නානත්‍වයෙනි. චේතනාව දාන චේතනා අභිවාදන චේතනාදි වශයෙන් අනේක ප්‍රභේද වේ.

චෛතසික ධර්‍මයක් වූ චේතනාව තවත් ධර්‍මයන් ගේ සහයෝගය නොලැබ දානාදි ක්‍රියා සිදු කිරීමට සමත් නො වේ. ඇතැම් ක්‍රියාවක සිද්ධියට චේතනාවට චිත්ත චෛතසිකයන් ගේ සහයෝගය ලැබිය යුතු ය. ඇතැම් ක්‍රියාවක සිද්ධියට චේතනාවට චිත්ත ඤෛතසිකයන් ගේ හා රූපයන් ගේ ද සහයෝගය ලැබිය යුතු ය. ඒ ඒ ක්‍රියා සම්බන්‍ධයෙන් උපදනා චේතනාවන්ට වුවමනා රූපාරූප ධර්‍මයන් තමන් සමගම ඉපදවීමේ ශක්තියක් ඇත්තේ ය. එබැවින් චේතනාව ක්‍රියා සිද්ධියට වුවමනා රූපාරූප ධර්‍මයන් උපදවා ගෙන ම ඒ රූපාරූප ධර්‍මයන් සමඟම උපදී. බලවත් වූ ඇතැම් චේතනාවන්ට අනාගතයෙහි රූපාරූප ධර්‍මයන් ඉපදවීමේ ශක්තිය ද ඇත්තේ ය. කුශලාකුශල විපාක ක්‍රියා වශයෙන් චේතනාව සිවු වැදෑරුම් වේ. පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ පඤ්චවිඥාන චේතනාවන්ගෙන් අන්‍ය වූ සකල කුශලාකුශල විපාක ක්‍රියා චේතනාවෝ ම තමන් හා රූපාරූප ධර්‍මයන් ඉපදවීමෙහි සමත් වෙති. පඤ්චවිඥාන චේතනාවන් හා චතුවෝකාර භවයේ උපදනා චේතනාවෝ තමන් හා අරූප ධර්‍ම පමණක් උපදවති. චතුර්විධ චේතනාවන් අතුරෙන් කුශලාකුශල චේතනාවෝ අන්‍ය ප්‍රත්‍යයන් ගේ ද සහයෝගය ලදහොත් අනාගතයෙහිදු රූපාරූප ධර්‍මයෝ උපදවති. තමන් උපදනා කෙණෙහි හා අනාගතයෙහි ද රූපාරූප ධර්‍මයන් උපදවන්නා වූ කුශලා කුශල විපාක ක්‍රියා වශයෙන් සිවු වැදෑරුම් වූ චේතනාව කර්‍මප්‍රත්‍යය ය.

කර්‍ම ප්‍රත්‍යය වනාහි සහජාත කර්‍ම ප්‍රත්‍යය ය, නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යය ය යි දෙවැදෑරුම් වේ. තමා උපදනා කෙණෙහිම රූපා රූප ධර්‍මයන් උපදවන චේතනාව සහජාත කර්‍ම ප්‍රත්‍යය නම් වේ. තමා උපදනා අවස්ථාවෙන් අන්‍ය වූ අවස්ථාවක අනාගතයෙහි රූපාරූප ධර්‍මයන් උපදවන චේතනාව නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යය නම් වේ.

චේතනාව හෙවත් කර්‍මය එක්තරා වේගයක් බව ඉහත දක්වන ලදි. චේතනා සඞ්ඛ්‍යාත ඒ වේගය උපදනා කල්හි එයට අනුකූලව එය හා තවත් රූපාරූප ධර්‍මයෝ උපදිති. දාන චේතනාවක් උපදනා කල්හි ඒ දාන චේතනාව අනුව ඒ වේගය නිසා සිතක් ද එය හා බැඳී උපදනේ ය. චේතනාවෙන් අන්‍ය වූ අන්‍ය සමාන චෛතසික දොළොස හා සෝභන සාධාරණ චෛතසික එකුන් විස්ස ද සමහර විට ප්‍රඥා චෛතසිකය ද ඒ දාන චේතනාව අනුව එය හා බැඳී උපදනේ ය. දාන චේතනාව සහිත වූ ඒ අරූප ධර්‍ම පිණ්ඩය හා බැඳී දීම සඳහා ශරීරය ක්‍රියා කරවීමට වුවමනා චිත්තජ රූපයෝ ද උපදිති. එයින් දාන ක්‍රියාව සිදු වේ. මෙසේ හැම චේතනාවක් සමග ම චිත්තචෛතසිකයෝ ද ඇතැම් චේතනාවක් හා චිත්ත චෛතසික රූපයෝ ද උපදිති. සෑම කල්හි ම චිත්තචෛතසිකයන් උපදින්නේ යම්කිසි චේතනාවකට අනුව ම ය. චේතනාවක් හා නොබැඳී චිත්ත චෛතසිකයන් ගේ ඉපදීමක් නැත. චේතනාවකින් තොරව චිත්ත චෛතසිකයන් උපන හොත් ඒවා කිසි වැඩක් නැති ධර්‍ම කොටසක් වන්නේ ය. චිත්තචෛතසිකයන් චේතනාවට අනුව ම ඉපදිය යුතු බැවින් කර්‍ම ප්‍රත්‍යය සෑම චිත්තචෛතසිකයට ම ප්‍රත්‍යයෙකි.

තමා ගේ උත්පත්ති ක්‍ෂණයෙහි දී චිත්ත චෛතසික චිත්තජ රූපයන් ගේ උත්පත්තියට උපකාරක වූ ඉහත කී දානචේතනාව අනාගතයෙහි ද සුදුසු පරිදි රූපාරූප ධර්‍මයන් ඇතිවීමට උපකාර වන ශක්ති විශේෂයක් ශේෂකොට නිරුද්ධ වන්නේ ය. නිරුද්ධවීමෙන් පසු ඒ චේතනාව නැත ද අනාගතයෙහි යම්කිසි අවස්ථාවක දී අන්‍ය ප්‍රත්‍යයන් ගේ සහයෝගය ලද හොත් එය තවත් රූපාරූප ධර්‍මයන් ද උපදවයි. ඒ දාන චේතනාව උපන්නේ යම් සන්තානයක නම් ඒ තැනැත්තා ගේ ඒ භවයේ අවසානයෙහි හෝ අනාගත භවයක අවසානයෙහි හෝ ච්‍යුතිචිත්තයකට අනතුරුව ඒ දාන චේතනාව විසින් අන්‍ය ප්‍රත්‍යයන්ගේ ද සහයෝගය ලදහොත් ප්‍රතිසන්‍ධි චිත්තයක් හා කර්‍මජ රූප සමූහයක් ද ඇති කරනු ලැබේ. ප්‍රතිසන්‍ධියෙන් පසු ඒ භවය මුලුල්ලෙහි භවාඞ්ග සිත් ඇති කරනු ලැබේ. තව ද ඒ දාන චේතනා සංඛ්‍යාත කර්‍මයෙන් පිළිසිඳ ගත් තැනැත්තා හට ඉෂ්ට රූපයන් හමු වූ කල්හි චක්‍ෂුර්විඥාන සම්ප්‍රත්‍යේෂණ සන්තීරණ තදාරම්මණයන් ඇති වීමට ද ඉෂ්ට ශබ්ද ගන්‍ධ රස ස්පර්‍ශයන් හමුවීමෙහි දී ශ්‍රෝත්‍රවිඥාන ඝ්‍රාණවිඥාන ජිහ්වාවිඥාන කාය විඥාන සම්ප්‍රත්‍යේෂණ සන්තීරණ තදාරම්මණයන් ඇතිවීමට ද මනෝද්වාරයෙහි තදාරම්මණයන් ඇති වීමට ද ඒ අතීත දාන චේතනාව ප්‍රත්‍යය වේ. චක්‍ෂුර්විඥානාදි ඒ චිත්තයෝ අතීත කර්‍ම හේතුවෙන් උපදනා චිත්තයෝ ය. මෙසේ එක් කුශල චේතනාවකින් අනාගතයෙහි බොහෝ කර්‍මජ රූපයන් හා චිත්තචෛතසික ධර්‍මයෝ ඇති කරනු ලැබෙත්.

ප්‍රත්‍යය ධර්‍මයා ගේ නිරෝධයෙන් පසු ප්‍රත්‍යය ධර්‍මය නැතිව අනාගතයේ දී යම්කිසි ඵලයක් ඇති කරන බව තේරුම් ගැනීමට දුෂ්කර වූ ගැඹුරු කරුණෙකි. අඹ ඇටයක් රෝපණය කළ කල්හි එයින් අඹ පැලයක් ඇති වේ. අඹ පැලය අඹ ඇටය තිබියදී ම හට ගත් බැවින් එය අඹ ඇටයෙන් හටගත් බව ප්‍රකට ය. අඹ පැලය ක්‍රමයෙන් වැඩී වර්‍ෂ ගණනකින් මහ අඹ ගසක් වේ. අඹ ඇටය දිරා නොබෝ කලකින් අභාවප්‍රාප්ත වේ. ඒ ගසෙහි අඹ ඵල හටගන්නා කාලය වනවිට රෝපණය කළ අඹ ඇටයෙන් කිසිවක් ඉතිරිවී නැත්තේ ය. එහෙත් ඒ ගසෙහි අන්‍යඵල වර්ගයක් නො හට ගෙන අඹ ඵල ම හටගන්නේ එවකට නැත්තා වූ රෝපණය කළ අඹ ඇටය නිසාම ය. ඒ ගසෙහි වර්‍ෂයෙන් වර්‍ෂය යම් පමණ අඹ ඵල හටගන්නේ නම් ඒ සියල්ලම හටගන්නේ රෝපණය කළ අඹ ඇටය නිසාම ය. ඵලය හටගන්නා කාලයෙහි නැත්තා වූ අතීත චේතනාව ප්‍රතිසන්‍ධි භවාඞ්ගාදි චිත්තයන් හා කර්‍මජ රූපයන් හටගැනීමට හේතුවන බව නැත්තා වූ අතීත අඹ ඇටය බොහෝ අඹ ඵලවලට හේතු වන්නාක් මෙන් දත යුතු ය.

කුශලාකුශල කර්‍මය වනාහි එකෙණෙහිම ඵලය උපදවන්නේ හෝ නිරන්තරයෙන් ඵලය උපදවන්නේ හෝ නොවේ. එය කවදා හෝ අවකාශය ලත් විටෙක සුදුසු අවස්ථාවෙහි ම ඵලය උපදවන්නේ ය. විපාක චිත්ත චෛතසිකයෝ නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යය සංඛ්‍යාත අතීත කර්‍ම ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ද විපාක චිත්ත සම්පයුක්ත වර්‍තමාන චේතනා වූ සහජාත කර්‍ම ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ද වෙති. කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ඒ ඒ චිත්තයන් හා සම්ප්‍රයුක්ත චේතනාව ගේ වශයෙන් සහජාත කර්‍මප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති.

කරොති පටිසඞ්ඛරොතී ති කම්මං කර්‍තෘසාධන විග්‍රහ යි. කර ධාතුව කෙරෙන් රම්ම ප්‍රත්‍යය ව අනුබද්ධ රකාරය හා ධාත්‍වන්ත රකාරය ද ලොප් ව කම්ම කියා වේ. යම් ධර්‍මයක් තෙමේ සහජාත ධර්‍මයන් පිළියෙල කෙරේ ද ඒ ධර්‍මය කම්ම නම් වේ. චේතනාව උපදනා කල්හි එයට අනුව එය නිසා එය හා බැඳී උපදනා බොහෝ චිත්ත චෛතසිකයන් උපදනා බැවින් එය සහජාත ධර්‍මයන් පිළියෙල කරන්නක් වැනි ය. පච්චයුප්පන්නෙන සහජායතී ති සහජාතං, සහජාතං ච තං කම්මඤ්චාති සහජාත කම්මං, විපාකක්ඛණතො අඤ්ඤස්මිං ඛණෙ නිබ්බත්තං නානාක්ඛණිකං තද්ධිත විග්‍රහයයි. නානාක්ඛණිකං ච තං කම්මං චාති නානාක්ඛණික කම්මං.