නිස්සය වාර සන්නය

star_outline

පච්චයවාරයට අනතුරු ව නිස්සය වාරය වදාළ සේක. එහි ද පච්චයානුලෝමය ය, පච්චය පච්චනීය ය, පච්චයානුලෝම පච්චනීය ය, පච්චයපච්චනියානුලෝමයයි වාර සතරක් ඇත්තේ ය. එයින් පච්චයානුලෝම වාරය පළමු කොට වදාළ සේක. ව්‍යවස්ථා විභාගය කරනු. කුසලං ධම්මං නිස්සාය කුසලො ධම්මො උප්පජ්ජති හෙතුප්චචයා, කුසලං එකං ඛන්‍ධං නිස්සාය තයො ඛන්‍ධා, තයො ඛන්‍ධෙ නිස්සාය එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධෙ නිස්සාය ද්වෙ ඛන්‍ධා.

පදාර්‍ථ

කුසලං, කුසල් වූ, ධම්මං, ධර්‍මය: නිස්සාය ප්‍රතිෂ්ඨා භාවයෙන් ප්‍රත්‍යයකොට, කුසලො, -පෙ- වාර ව්‍යවස්ථා අභිධෙයාදි සියල්ල ම පච්චයවාරය අනුව විස්තර කරනු. පච්චය වාර නිස්සය වාර දෙක්හි වෙනසක් නැති බැවින් පට්ඨානපකරණය ලියූ ආචාර්‍ය්‍යවරයෝ අවසානයෙහි “පච්චයට්ඨං නාම නිස්සයට්ඨං නිස්සයට්ඨං නාම පච්චයට්ඨං” යනු ලියා තැබූහ. පච්චය නිස්සය යන දෙපදයෙන් ම කියවෙන අර්‍ථය එකම බව එයින් දැක්වූහ.

“අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදියෙහි නිඃශ්‍රය භාවයක් නැත්තා වූ නානාක්‍ෂණික වූ ධර්‍මයන් ද පච්චය නාමයෙන් කියැවේ. ඔවුනොවුන් ඇලී ගැටී පවත්නා වූ ඇතැම් ධර්‍මයෝ නිඃශ්‍රය ප්‍රත්‍යය නොවෙති. මහාභූතයන් හා ගැටී ඇලී පවත්නා වූ ද උපාදාය රූපයෝ මහාභූතයනට නිඃශ්‍රය ප්‍රත්‍යය නො වෙති. එබැවින් නිස්සයවාරයෙහි කියැවෙන ධර්‍මයන්ගේ නිඃශ්‍රය ප්‍රත්‍යය භාවය දැක්වීම සඳහා පච්චයවාරය දේශිත ය, පච්චනීයවාරයෙහි කියැවෙන ධර්‍මයන් ගේ සහජාත පුරේජාත නිඃශ්‍රය භාවය නියම කරනු පිණිස නිස්සය වාරය ද දේශිත ය, ඒ ඒ ආකාරයෙන් දේශනය කරන කල්හි කාරණය තේරුම් ගන්නා වූ පුද්ගලයන් ගේ වශයෙන් හෝ දේශනාවිලාශ වශයෙන් හෝ ප්‍රතිසම්භිදා ප්‍රභේද ජානනය සඳහා හෝ අර්‍ථ වශයෙන් වෙනසක් නැති මේ නය දෙක වදාළහ යි අර්‍ථකථාවෙහි දැක්වූහ.

නිස්සය වාරය නිමි.