(හේතුමූලක අඤ්ඤමඤ්ඤ සභාගය)

star_outline

හේතුමූලක අඤ්ඤමඤ්ඤ සභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන හේතු සයෙන් අන්‍ය වූ සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන මහාභූත සරත ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන හේතූන් ගෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තූහු ය යන මොවුහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යය වී හේතුප්‍රත්‍යය නොවීමෙන් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි” යි වදාරන ලදහ. හේතූන් බැහැර කොට අන්‍යෝන්‍ය විභඞ්ගයෙහි මෙන් විස්තර කරනු.

සහේතුකචිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුන්ට ප්‍රත්‍යය වන හේතුධර්‍මයෝ හේතුප්‍රත්‍යය වී අන්‍යෝන්‍ය ප්‍රත්‍යය නොවීමෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ තීණි” යි වදාරන ලදහ. “තීනි” යනු කුසලෙන අබ්‍යාකත ය, අකුසලෙන අබ්‍යාකත ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය. විස්තර කරනු.

සකල ආරම්මණප්‍රත්‍යය ධර්‍මයෝ ය, චිත්තජරූපයන්ට හා හෘදයවස්තුවෙන් අන්‍ය ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ටද ප්‍රත්‍යය වන හේතුධර්‍මයන්ගෙන් අන්‍ය වූ සකල පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන මහා භූත සතරය යන සහජාත ප්‍රත්‍යය ය, අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය, ප්‍රකෘතෝපනිඃශ්‍රයප්‍රත්‍යය, වස්තුපුරේජාත ප්‍රත්‍යය ය, පශ්චාජ්ජාතප්‍රත්‍යය ය, නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය ය, රූපාහාර ප්‍රත්‍යය ය, රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය යන මේ ප්‍රත්‍යයෝ නවදෙන හේතු අන්‍යෝන්‍ය දෙක ම නොවන්නාහු ය. ඒ ධර්‍මයෝ පච්චනීයයෙහි “න හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ එකාදස” යි වදාරන ලදහ.

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන හේතු ධර්‍මයෝ හේතුප්‍රත්‍යය ද වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යය ද වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලේමවාරයෙහි “හෙතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි” යි වදාරන ලදහ. “තීණි” යනු කුසලො කුසලස්ස, අකුසලො අකුසලස්ස, අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන වාර තුන ය.

අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන වාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන විපාකක්‍රියා හේතූන් ගන්නේ ය. ප්‍රතිසන්‍ධිකාලයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍ය ය වන සහේතුකප්‍රතිසන්‍ධි සතොළොසෙහි හේතු තුන ගන්නේ ය. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා හෘදයවස්තුව ලැබේ. විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං හෙතුපච්චයෙන පච්චයො, අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා හෙතුසම්පයුත්තකානං ඛන්‍ධානං වත්‍ථුස්ස ච හෙතුපච්චයෙන පච්චයො, අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො” යි විභඞ්ගය උදුරනු.