12. ආසේවන ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

ආසේවන විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් මහා කුශල ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල නවයය, මාර්‍ගසිත් සතර ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ ද්විතීයාදි මහා කුශල ජවනයෝ ය, මහද්ගත කුශල නවය ය, මාර්‍ගසිත් සතර ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම එක්විසි කුශල ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව වූ ලෞකික කුසල් සතොළොස වූ ප්‍රත්‍යය ධර්‍මයන් ගේ ආසේවන ශක්තිය ලැබේ. නොහොත් මහා කුශල ද්විතීය ජවනයන්ට ප්‍රත්‍යය වන ප්‍රථම ජවනය ය, -පෙ- සත්තම ජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ට ජවනයය, සෝමනස්ස සහගත මහද්ගත කුශල සතරට හා මාර්‍ග සෝමනස්ස සහගත සිත් සොළොසට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ වෝදාන කෘත්‍ය්‍යන් ඇති මහාකුශල ප්‍රථමද්වය ය. මහද්ගත කුසල උපේක්‍ෂා සහගත සිත් පසට හා මර්‍ගෝපේක්‍ෂා සහගත සිත් සතරට ද ප්‍රත්‍යය වන ගෝත්‍රභූවෝදාන කෘත්‍යවත් මහා කුශල තෘතීයද්වය ය, සමාපජ්ජන වීථීන්හි පශ්චිම පශ්චිම මහද්ගත ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව මහද්ගත ජවනයෝ ය යන මොවුන් ගේ ආසේවන ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අකුසලෙන අකුසලයෙහි අකුසලො යන කර්‍තෘපාඨයෙන් දොළොස් අකුසලයන් ගේ ද්විතීයාදි ජවනයෝ ය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ දොළොස් අකුසලයන් ගේ ද්විතීයාදි ජවනයෝ ය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ප්‍රථම ජවන වර්ජිත පශ්චිම පශ්චිම අකුශල ජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිම ජවන වර්ජිත පූර්‍ව පූර්‍ව අකුශල ජවනයන්ගේ ආසේවන ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් හසිතෝත්පාද මහා ක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත ක්‍රියා නවය ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත ක්‍රියා නවය ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම ක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිම ජවන වර්ජිත පූර්‍ව පූර්‍ව අටොළොස් ක්‍රියා ජවනයන්ගේ ආසේවන ශක්තිය ලැබේ. නොහොත් හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථම ජවනය ය, -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ට ජවනය ය, මහද්ගත සෝමනස්ස සහගත ක්‍රියා සතරට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ කෘත්‍යවත් මහාක්‍රියා ප්‍රථමද්වය ය, මහද්ගත උපේක්‍ෂා සහගත ක්‍රියා පසට ප්‍රත්‍යය වන ගෝත්‍රභූ කෘත්‍යවත් මහාක්‍රියා තෘතීය ද්වය ය, සමාපජ්ජන වීථියෙහි පශ්චිම පශ්චිම මහද්ගත ක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්‍ව මහද්ගත ජවනයෝ ය යන මොවුන් ගේ ආසේවන ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

ආසේවන විභඞ්ගය නිමි.