අස්ති ප්‍රත්‍ය ඝටනා

star_outline

(1) සකල සහජාතාස්ති පුරේජාතාස්ති, පශ්චාජ්ජාතාස්ති, ආහාරාස්ති, ඉන්‍ද්‍රියාස්ති ප්‍රත්‍යයන්හි අවිගතප්‍රත්‍යය ශක්තිය පමණක් ගැටේ.

(2) සකල සහජාතනිඃශ්‍රය පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යයන්හි නිඃශ්‍රය, අවිගත ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(3) සකල සහජාතාධිපතිප්‍රත්‍යයෙහි ද ගරු කොට අරමුණු කරන ලෝභමූලසිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ වර්‍තමාන නිෂ්පන්න රූප අටළොස වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ද අධිපති අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(4) සකල සහජාතාධිපති ප්‍රත්‍යයෙහි ද, ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදය වස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණාධිපතියෙහි ද අධිපති, නිස්සය, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(5) සකල නාමාහාර රූපාහාර ප්‍රත්‍යයන්හි ආහාර, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(6) සකල සහජාතින්‍ද්‍රිය පුරේජාතින්‍ද්‍රිය රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යයන්හි ඉන්‍ද්‍රිය, අවිගත යන ප්‍රත්‍ය ශක්ති දෙක ගැටේ.

(7) සකල සහජාතින්‍ද්‍රිය පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයන්හි නිස්සය, ඉන්‍ද්‍රිය, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(8) සකල සහජාතවිප්‍රයුක්ත පුරේජාතවිප්‍රයුක්ත පශ්චාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයන්හි විප්පයුත්ත, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(9) සකල සහජාතවිප්‍රයුක්ත පුරේජාතවිප්‍රයුක්ත ප්‍රත්‍යයන්හි නිස්සය, විප්පයුත්ත, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(10) සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන හෝ සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යයෙහි ද, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා ගරු කළ යුතු හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ද අධිපති, නිස්සය, විප්පයුත්ත, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(11) චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද, පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද නිස්සය, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

මේ මිශ්‍රක ඝටනා එකොළොස ය.

(12) සකල පශ්චාජ්ජාතප්‍රත්‍යයෙහි පච්ඡාජාත, විප්පයුත්ත, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(13) “කාමසිත් සිවුපනසයට හා අභිඥාදෙසිතට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි” යනාදීන් පුරේජාත ප්‍රත්‍යය ඝටනා සත සම්පූර්‍ණකොට යොදනු

මේ ප්‍රකීර්‍ණක ඝටනා අට ය.

(21-38) ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද යනාදි ක්‍රමයෙන් සහජාතඝටනා අටොළොස යොදා ගත යුතු ය.

නත්‍ථි, විගත ප්‍රත්‍යය ඝටනා අනන්තර ප්‍රත්‍යයෙහි මෙන් ද, අවිගත ඝටනා අස්ති ප්‍රත්‍යයෙහි මෙන් ද විස්තර කළ යුතු ය.

-ප්‍රත්‍යය ඝටනාව නිමියේ ය.-