ඝටනා

star_outline

සභාගයන්ට අනතුරු ව ඝටනාවන් වදාළ සේක. එහි අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙකොටසකි. සබ්බට්ඨානික ඝටනාවය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාවය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාවය, සවිප්පයුත්ත ඝටනාවය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාවය යි

අවිපාක ඝටනා පසෙකි

(1) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ද ප්‍රත්‍යය වන මහාභූත සතර ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන මොවුහු “සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති නව”

(2) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන මහාභූත සතර ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන මොවුහු - සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගතන්ති තීණි”

(3) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - “සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(4) සවිප්පයුත්තඝටනාව මෙසේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තූහුය යන මොවුහු - “සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(5) සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්තඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ හෘදයවස්තූහු - සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මේ අවිපාක ඝටනා පස ය.

සවිපාක ඝටනා

සබ්බට්ඨානිකඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනාව ය, සවිප්පයුත්තඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාවය යි සවිපාක ඝටනා පසකි.

(1) එයින් සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු “සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”

(2) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොවුහු - “සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”

(3) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක නාමස්කන්‍ධයෝ - “සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(4) සවිප්පයුත්තඝටනාව මෙසේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු - “සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(5) සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව මෙසේ ය: හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මේ සවිපාකඝටනා පස ය.

සහජාත සභාග තුදුස හා ඝටනා දසය නිමි.