1. හේතුප්‍රත්‍යය මිශ්‍රකසඞ්ඛ්‍යාවාර සන්නය

star_outline

ශුද්ධ සඞ්ඛ්‍යාවාරයට අනතුරුව මිශ්‍රකසඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එහි හේතුප්‍රත්‍යය මිශ්‍රක සඞ්ඛ්‍යාවාරාදි වශයෙන් වාර සූවිස්සක් ඇත්තේ ය. එයින් හේතුප්‍රත්‍යය මිශ්‍රකසඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එද සභාගවාර ඝටනාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාගවාරය පළමු කොට වදාළ සේක. එහිද හේතුමූලක අධිපතිසභාගය හේතුමූලක සහජාතසභාගය අඤ්ඤමඤ්ඤසභාගය නිස්සයසභාගය විපාකසභාගය ඉන්‍ද්‍රියසභාගය මග්ගසභාගය සම්පයුත්තසභාගය විප්පයුත්තසභාගය අත්‍ථිසභාගය අවිගතසභාගය යි වාර එකොළොසක් ඇත්තේ ය. එයින් හේතුමූලක අධිපතිසභාගවාරය පළමු කොට වදාළ සේක.

එහි ගරු කොට අරමුණු කරන ලෝභමූලසිත් අට ය මහා කුසල් අට ය මහා ක්‍රියා ඥානසම්ප්‍රයුක්තසිත් සතර ය ලෝකෝත්තර සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්නරූප අටොළොස ය ද්වේෂමූල මෝහමූල දුඃඛසහගත කායවිඥාන වර්ජිත සිත් සූ අසූවය ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික සත්සාළිස ය නිර්‍වාණය ය යන ආරම්මණාධිපතිප්‍රත්‍යධර්‍මයෝ ය‍, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙන් අන්‍යවූ අධිපතිධර්‍ම තුනෙන් එක එකක් වූ සහජාතාධිපතිප්‍රත්‍යය ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය වී හේතුප්‍රත්‍යය නො වන බැවින් හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා අධිපතියා දස” යි වදාරන ලදහ. වාර දශය අධිපතියෙහි දැක්වුණු පරිදි විස්තර කරනු.

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුකචිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙන් අන්‍ය වූ හේතු ධර්‍මයෝ සදෙන හේතුප්‍රත්‍යය වී අධිපතිප්‍රත්‍යය නො වන බැවින් අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. (මෙහි ගනු ලබන්නේ අධිපති නො වන අවස්ථාවේ වීමංසය ය.) ඒ ධර්‍මයෝ අනුලෝම පච්චනීයයෙහි “හෙතු පච්චයා න අධිපතියා සත්ත” යි වදාරන ලදහ. විස්තර කරනු.

ගරු කොට අරමුණු නො කරන කාමසිත් සිවුපනස ය විඤ්ඤාණඤ්චායතනසිත් තුන ය නෙවසඤ්ඤානාසඤ්ඤායතනසිත් තුන ය, අභිඥා දෙසිතට ප්‍රත්‍යය වන ගරු නො කරනු ලබන එකුන් අනූ චිත්තය හා නිවනය යන ආරම්මණ ප්‍රත්‍යය ය, නාමස්කන්‍ධයන්ට ද නාමස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන හේතු සය වූ හේතුප්‍රත්‍යයෙන් ද අධිපතිධර්‍මයන්ගෙන් ද අන්‍ය වූ සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන මහාභූත සතර ය. ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන හේතු ධර්‍මයන් ගෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුවය යන සහජාත ප්‍රත්‍යය ය, අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අර්‍හන්තචුති වර්ජිත පූර්‍ව පූර්‍ව නාමස්කන්‍ධයන් වූ අනන්තරූප නිඃශ්‍රය ප්‍රත්‍යය ය, එකුන් අනූචිත්තය හා චෛතසික දෙපනස ය යන නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන බලවත් වූ එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය යන ප්‍රකෘතෝපනිඃශ්‍රයප්‍රත්‍යය ය යන නිඃශ්‍රය ප්‍රත්‍යය ය, පඤ්චවෝකාර භූමියෙහි අරූපවිපාකවර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තූන් වූ වස්තුපුරේජාතප්‍රත්‍යය ය, ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණි ඒකජ දිව්ජ තිජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත ප්‍රථමභවාඞ්ගාදි පශ්චිම පශ්චිම නාමස්කන්‍ධයන් වූ පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය, විපාකාස්කන්‍ධයන්ට හා කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නානාක්‍ෂණිකකර්‍මප්‍රත්‍යය ය, ආධ්‍යාත්මික චතුසමුට්ඨානික රූපයන්ට ප්‍රත්‍යය වන ආධ්‍යාත්මික බාහ්‍ය ඔජාව වූ ආහාර ප්‍රත්‍යය ය, කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන රූපජීවිතේන්‍ද්‍රිය ය වූ ඉන්‍ද්‍රියප්‍රත්‍යය ය යන මේ ප්‍රත්‍යය අට හේතු අධිපති ප්‍රත්‍යය දෙක ම නො වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයයෙහි ‘න හෙතුපච්චයා න අධිපතියා පන්නරස’ යි වදාරන ලදහ. (වාර පසළොස පච්චයුද්ධාර පච්චනීයයේ දී දත හැකිය.)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය හේතුප්‍රත්‍යය ද වේ. අධිපති ප්‍රත්‍යය ද වේ. එ බැවින් එය මේ අනුලෝමයෙහි නයයට අනුව ද වාරයට අනුවද තිකපදයට අනුව ද කර්‍තෘසම්ප්‍රදානයන්ට අනුව ද “හෙතුපච්චයා අධිපතියා චත්තාරි” යි වදාළ සේක. ‘චත්තාරි’ යනු කුසලො කුසලස්ස, කුසලො අබ්‍යාකතස්ස, කුසලො කුසලාබ්‍යාකතස්ස, අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන වාරයෝ ය.

කුසලො කුසලස්ස යන වාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුශල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුසල් තෙළෙස ය යන මොවුන් කෙරෙහි ඇති වීමංසාධිපති ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අධිපති ධර්‍මයෙන් අන්‍යසම්ප්‍රයුක්තස්කන්‍ධයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගයන් “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො, අධිපති පච්චයෙන පච්චයො, කුසලාවීමංසා සම්පයුත්තකානං ඛන්‍ධානං හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො” යි උදුළ යුතු ය.

කුසලො අබ්‍යාකතස්ස යන වාරයෙහි කර්‍තෘපාඨයෙන් සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුශලඥානසම්ප්‍රයුක්තසිත් සතරෙහි හා සැමකල්හි අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශලයන්හි ද ඇති වීමංසාධිපතිය ලැබේ. සම්ප්‍රදාන පාඨයෙන් සාධිපතිචිත්තජරූපයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො, කුසලා වීමංසා චිත්තසමුට්ඨානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො’ යි උදුළ යුතු ය.

කුසලො කුසලාබ්‍යාකතස්ස යන වාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි -පෙ- වීමංසාධිපතිය ලැබේ, සම්ප්‍රදානපාඨයෙන් වීමංසාධිපතියෙන් අන්‍ය කුශලනාමස්කන්‍ධයන් හා සාධිපතිචිත්තජරූපයෝ ලැබෙත්. “කුසලා වීමංසා සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො” යි උදුළ යුතු ය.

අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන වාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන මහාක්‍රියාඥානසම්ප්‍රයුක්ත සිත් සතරෙහි හා මහද්ගතක්‍රියා නවයෙහි ද ඵල සිත් සතරෙහි ද ඇති වීමංසාධිපතිය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. ‘අබ්‍යාකතො -පෙ- විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා වීමංසාධිපති සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානානං ච රූපානං හේතුපච්චනෙ පච්චයො අධිපතිපච්චයෙන පච්චයො”

අනු මාතෘකා