මග්ගමූලකයෙහි ඣාන දුකය දක්වා ඇති දුකයෝ උක්තානුසාරයෙන් දතයුත්තාහ. මග්ගමූලක සම්ප්‍රයුත්තදුකය ආරම්මණදුකය මෙනි. මග්ගමූලක විප්පයුත්ත දුකයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘එකං’ හේතුමූලක අනුව විස්තර කරනු.
අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය යන මොවුහු විප්‍රයුක්තය බැහැර කෙරෙති. ‘තීණි’ මෝහමූලද්වයෙහි මෝහය නො හැර හේතුමූලකය අනුව විස්තර කරනු.
අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මනෝද්වාරාවජ්ජනයය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝය යන මොවුහු පච්චනීයයෙහි ‘එකං’ හේතුමූලකය අනුව විස්තර කරනු.
අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර සහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, අනුලෝමයෙහි ‘නව’ අරූපවිපාක හැර මාර්‍ග ප්‍රත්‍යය අනුව විස්තර කරනු. අත්‍ථිදුකාදිය වුක්තානුසාරයෙන් දත යුතුය. සම්පයුත්තමූලකය ආරම්මණමූලකය මෙනි.
විප්පයුත්තමූලකයෙහි සම්පයුත්තදුකය දක්වා ඇති දුකයෝ වුක්තානුසාරයෙන් දතයුත්තාහ. විප්පයුත්තමූලක අත්‍ථිදුකය සහජාත මූලක විප්පයුත්තදුකය මෙනි. නත්‍ථිවිගතදුකයෝ ආරම්මණදුකය වැනියහ. අත්‍ථිඅවිගත මූලකයෝ සහජාතමූලකය වැනිය හ. නත්‍ථිවිගත මූලකයෝ ආරම්මණමූලකය වැනිය හ. මෙතෙකින් දුකවාරවිභාගය නිමියේ ය.
විශේෂ කරුණු
මෙතෙකින් දැක්වුණු ප්‍රත්‍යයන් ගේ දුකවාර විභාගය පාලි නය අනුව කරන ලද්දක් නොවේ. පාලික්‍රමය නො වතු දු පළමුකොට දුකවාරය පමණක් ප්‍රගුණ කරගෙන මේ ප්‍රකරණය උගෙනීම පහසු වන බැවින් පූවාචාර්‍ය්‍යවරයෝ පළමු කොට දුකවාර සමූහය පමණක් ශිෂ්‍යයනට ප්‍රගුණ කරවති. මෙහි දුකවාර පමණක් පළමුකොට දක්වන ලදුයේ එහෙයිනි. දක්වන ලද දුකවාර විභාගය තේරුම් ගෙන හොඳින් ප්‍රගුණ කරගත යුතු ය. එසේ කළ කල්හි ත්‍රිකචතුෂ්කාදි වාරයන්හි පහසු වන්නේ ය.