1. හේතුප්‍රත්‍යය විභඞ්ගවාරය

star_outline

සම්ප්‍රයුක්තවාරයට අනතුරු ව පඤ්හාවාරය වදාළ සේක. එහි පච්චයානුලෝම වාරය ය, පච්චය පච්චනීය වාරය ය, පච්චයානුලෝම පච්චනීය වාරය ය, පච්චය පච්චනීයානුලෝම වාරයයයි වාර සතරක් ඇත්තේ ය. එයින් පච්චයානුලෝමවාරය පළමු කොට වදාළ සේක. එද විභඞ්ගවාර සඞ්ඛ්‍යාවාරවශයෙන් දෙවැදෑරුම් වේ. එයින් විභඞ්ගවාරය පළමු කොට වදාළ සේක. එද හේතුපච්චය විභඞ්ග වාරාදි වශයෙන් සූවිසි වැදෑරුම් වේ. එයින් හේතුපච්චය විභඞ්ග වාරය පළමු කොට වදාළ සේක. එහි ද කුසලපදය අකුසල පදය අබ්‍යාකතපදය යි පද තුනක් ඇත්තේ ය. එයින් කුශලපද වාරය පළමු කොට වදාළ සේක. එහි ද කුසලපදාවසානවාරයය, අකුසලපදාවසානවාරය ය, අබ්‍යාකත පදාවසාන වාර යයි වාර තුනක් ඇත්තේ ය. එයින් කුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. එය ද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමුකොට වදාළ සේක. කෙසේ ද? යත් “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො” යනුවෙනි. වීථියට අනතුරුව අනුවාදය වදාළ සේක. කෙසේද යත්, “කුසලා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං හෙතුපච්චයෙන පච්චයො” යනුවෙනි.

පදාර්‍ථ:

කුසලො, නිරවද්‍ය ඉෂ්ටවිපාක ලක්‍ෂණය ඇත්තා වූ: ධම්මො, නිඃසත්ත්‍ව නිර්ජීව ස්වභාවය: කුසලස්ස, නිරවද්‍ය ඉෂ්ටවිපාක ලක්‍ෂණය ඇත්තා වූ: ශක්තියෙන්: පච්චයො: උපකාරක වේ. කුසලො, කුසල් වූ: හෙතු, හේතූහු: සම්පයුත්තකානං. එකෝත්පාදාදිභාවයෙන් ඔවුනොවුන් මිශ්‍රත්‍වයට පැමිණෙන්නා වූ: ධම්මානං, කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිසය යන ධර්‍මයන්ට: හෙතුපච්චයෙන, හේතුප්‍රත්‍යය ශක්තියෙන්: පච්චයො, උපකාරක වේ.

අභිධෙයාර්‍ථ:

“කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො” යන වීථිපාලියෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන මොවුන් ගේ ද්විහේතුක චිත්තක්‍ෂණයන්හි ඇති අලෝභ අදෝස දෙක ය, ත්‍රිහේතුක චිත්තක්‍ෂණයන්හි ඇති අලෝභ අදෝස අමෝහ තුන ය යන ප්‍රත්‍ය ධර්‍මයෝ ලැබෙත්. “කුසලස්ස ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක් විස්ස ය චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ලැබෙත්. “හේතුපච්චයෙන” යන කරණ පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුශලහේතුත්‍රයයෙහි එක් වර ලැබෙන හේතු අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති දශයෙන් හේතුශක්තිය ලැබේ.

ස්කන්‍ධවාර:

“කුසලා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං” යන අනුවාද පාලියෙහි ද්විහේතුක චිත්තයන් ගේ වශයෙන් කියන කල්හි “කුශලා හෙතු” යනුවෙන් අලෝභය හා “සම්පයුත්තකානං ඛන්‍ධානං” යනුවෙන් සම්පයුක්ත ස්කන්‍ධයන් ගන්නා එක්වාරයක් ද, එසේම අදෝසය හා සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් ගන්නා එක්වාරයක් ද, අලෝභ අදෝස දෙක හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද වේ. ත්‍රිහේතුක චිත්තවිෂයෙහි අලෝභය හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද, අදෝසය හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද, අමෝහය හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද, අලෝභ අදෝසයන් හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක්වාරයක් ද අලෝභ අමෝහයන් හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් එක්වාරයක් ද, අදෝස අමෝහයන් හා සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද අලෝභ අදෝස අමෝහයන් හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක්වාරයක් ද වේ. මෙසේ ද්විහේතුක චිත්තවිෂයෙහි තිදෙනකු වූ ස්කන්‍ධවාරයන්ගේ වශයෙන් ද ත්‍රිහේතුක චිත්ත විෂයෙහි සත්දෙනෙකු වූ ස්කන්‍ධවාරයන් ගේ වශයෙන් ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වීම “හෙතුපච්චයෙන” යන පාඨයෙන් දැක්වූ සේක.

ප්‍රත්‍යය වන ආකාරය:

ලෞකික සිත් එක් අසූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණයන් අතුරෙන් යම්කිසිවක් අරමුණු කොට ඥානවිප්‍රයුක්ත කාමාවචර කුශලය උපදනා කල්හි තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තය හා භූමිජාති සම්ප්‍රයුක්තධර්‍ම සංස්කාර ආරම්මණයන් ගේ වශයෙන් සමාන වූ එකුන් විසි භවාඞ්ගචිත්තයන් අතුරෙන් එක් සිතක් කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තයන් අතුරෙන් යම්කිසිවක් අරමුණු කොට භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේද වශයෙන් දෙවරක් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව ලෞකික සිත් එක් අසූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණයන් අතුරෙන් යම් කිසිවක් අරමුණු කොට මනෝද්වාරාවර්ජන චිත්තය උපදී. අනතුරු ව මහාකුශල ඥානවිප්‍රයුක්ත සිත් සතර අතුරෙන් එක් සිත් සත්වරක් ජවන කෘත්‍යයෙන් උපදී. අනතුරුව විභූතාරම්මණ වීථියක් වේ නම් එකොළොස් තදාරම්මණ චිත්තයන් අතුරෙන් යම්කිසි සිතක් තදාරම්මණකෘත්‍යයෙන් දෙවරක් ඉපිද නිරුද්ධ වේ. අවිභූතාරම්මණ වීථියක් වේ නම් ජවනයට අනතුරුව එකුන්විසි භවාඞ්ගචිත්තයන්ගේ යම්කිසි සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදී. එසේ උපදනා කාමාවචර ඥානවිප්‍රයුක්ත කුශල ජවනයන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අලෝභය ද අදෝසය ද අලෝභාදෝස දෙක ද ප්‍රත්‍යයභාවයෙන් ගෙන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ප්‍රත්‍යයෝත්පන්න භාවයෙන් ගෙන එක එකක් වූ ද දෙකක් වූ ද හේතූන් සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට ප්‍රත්‍යයවීම “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො” යනුවෙන් වදාළ සේක.

අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත සිත් සත් අසූව ය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය නිර්‍වාණය ය ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණයන් අතුරෙන් යම්කිසිවක් අරමුණු කොට මහාකුශල ඥානසම්ප්‍රයුක්ත ජවනය උපදනා කල්හි භවාඞ්ගචලන භවාඞ්ගොපච්ඡෙදනයන්ට අනතුරුව ඉහත කී ෂඩාරම්මණ ධර්‍මයන් ගෙන් යම් කිසිවක් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතර අතුරෙන් යම්කිසිවක් ජවනකෘත්‍යයෙන් පිළිවෙලින් ත්වරක් ද ඉපද නිරුද්ධ වූ පසු විභූතාරම්මණ වීථියක් වේ නම් එකොළොස් තදාරම්මණයන් අතුරෙන් යම්කිසි තදාරම්මණයක් දෙවරක් ඉපද නිරුද්ධ වේ. අවිභූතාරම්මණවීථියක් වේ නම් ජවනයට අනතුරු ව භවාඞ්ග එකුන්විස්ස අතුරෙන් යම්කිසි සිතක් භවාඞ්ගකෘත්‍යයෙන් උපදී. එසේ උපදනා කල්හි මහාකුශල ඥානසම්ප්‍රයුක්ත චිත්තක්‍ෂණයන්හි ලැබෙන අලෝභය ද, අදෝසය ද, අමෝහය ද, අලෝභ අදෝස දෙක ද අදෝස අමෝහ දෙක ද, අලෝභ අදෝස අමෝහ තුන ද ප්‍රත්‍යය වශයෙන් ගෙන සම්ප්‍රයුක්තධර්‍මයන් ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් ගෙන “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො” යනු වදාළ සේක. මේ ක්‍රමයෙන් මහද්ගතලෝකෝත්තර කුශලයන් ද විස්තර කරනු.

කුසලපදාවසාන වාරයට අනතුරු ව අබ්‍යාකතපදාවසාන වාරය වදාළ සේක. එය වීථි අනුවාද වසයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත්, “කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස තෙුපච්චයෙන පච්චයො” යනුවෙනි. වීථියට අනතුරු ව අනුවාදය වදාළ සේක. කෙසේ ද? යත්, “කුසලා හෙතු චිත්තසමුට්ඨානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො” යනුවෙනි. පදාර්‍ථ කියනු.

අභිධෙයාර්‍ථ:

එහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් එක්විසිකුශල චිත්තයන් ගේ ද්විහේතුක චිත්තක්‍ෂණයන්හි ලැබෙන අලෝභ අදෝස දෙකය, ත්‍රිහේතුක චිත්තක්‍ෂණයන්හි ලැබෙන අලෝභ අදෝස අමෝහ තුන ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. “අබ්‍යාකතස්ස ධම්මස්ස” යන සම්ප්‍රදාන පාඨයෙන් කුශල චිත්තයන් විසින් උපදවන චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන කුසලහේතූන්හි සුදුසු පරිදි එක් වර ලැබෙන හේතු අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් හේතුශක්තිය ලැබේ. ප්‍රත්‍යය වන ආකාරය කුසලපදාවසාන වාරයෙහි කළ විස්තරය අනුව මෙහි ද විස්තර කරනු.

අබ්‍යාකතපදාවසාන වාරයට අනතුරු ව කුසලාබ්‍යාකතපදාවසාන වාරය වදාළ සේක. එය ද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. එනම් “කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස හෙතු පච්චයෙන පච්චයො” යනු යි. වීථියට අනතුරුව අනුවාදය වදාළ සේක. එනම් “කුසලා හෙතු සපයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං හෙතුපච්චයෙන පච්චයො” යනුයි.

වීථිපාලියෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විහේතුක චිත්තයන්ගේ අලෝභ අදෝස දෙක ය ත්‍රිහේතුක චිත්තයන් ගේ අලෝභ අදෝස අමෝහ තුන ය යන හේතු ධර්‍මයෝ ලැබෙත්. “කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. “හෙතුපච්චයෙන” යන කරණපාඨයෙන් සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහ් උපදනා අවස්ථාවෙහි වූ කුශලහේතු තුනෙහි සුදුසු පරිදි එක් වර ලැබෙන හේතු අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති අටෙන් හේතු සඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ. ප්‍රත්‍යය වන ආකාරය කුශලපදාවසානවාරයෙහි කියනලද්ද අනුව විස්තර කරනු.

කුසලපදවාරයට අනතුරු ව අකුසලපද වාරය වදාළ සේක. එහි ද අකුසලපදාවසාන, අබ්‍යාකතපදාවසාන, අකුසලාබ්‍යාකතපදාවසාන වශයෙන් වාර තුනක් ඇත්තේ ය. එයින් අකුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත්, “අකුසලො ධම්මො -පෙ- හෙතුපච්චයෙන පච්චයො” යනුවෙනි.

අකුසලො, සාවද්‍ය දුඃඛවිපාක ලක්‍ෂණ වූ: ධම්මො, ධර්‍මය තෙම: අකුසලස්ස, සාවද්‍ය දුඃඛවිපාක ලක්‍ෂණ වූ: ධම්මස්ස, ධර්‍මයට: හෙතුපච්චයෙන පච්චයො. අකුසලා, අකුසල වූ: හෙතු, හේතූහු: සම්පයුත්තකානං, සම්පයුක්ත වූ: ඛන්‍ධානං, අකුසල් සිත් දොළොස ය මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන නාමස්කන්‍ධයන්ට: හෙතුපච්චයෙන පච්චයො.

වීථිපාලියෙහි “අකුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ලෝභමූල චිත්තයන්හි ලෝභ මෝහ දෙක ය, ද්වේෂමූල චිත්තයන්හි ද්වේෂ මෝහ දෙක ය, මෝහමූල චිත්තයන්හි මෝහය ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. “අකුසලස්ස ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් අකුසල්සිත් දොළොස ය මෝහමූලද්වයෙහි මෝහවර්ජිත චෛතසික සත්විස්ස ය යන නාමස්කන්‍ධයෝ ලැබෙත්. ‘හෙතුපච්චයෙන’ යන කරණපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අකුශල හේතූන්හි එක් වර ලැබිය හැකි හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගත යන ශක්ති සත අතුරෙන් හේතුශක්තිය ලැබේ.

එහි ස්කන්‍ධවාර විභාගය මෙසේ ය. “අකුසලාහෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං” යන අනුවාද පාලියෙහි ලෝභමූලචිත්ත විෂයෙහි “අකුසලා හෙතු” යනුවෙන් ලෝභය හා “සම්පයුත්තකානං ඛන්‍ධානං” යනුවෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා වූ එක් ස්කන්‍ධවාරයක් ද, එසේම මෝහය හා සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද, ලෝභ මෝහ දෙක හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද වේ. ද්වේෂමූලචිත්ත විෂයෙහි ද්වේෂය හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක්වාරයක් ද මෝහය හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක්වාරයක් ද, ද්වේෂ මෝහ දෙක හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක් වාරයක් ද වේ. මෝහමූල චිත්ත විෂයෙහි මෝහය හා සම්ප්‍රයුක්තස්කන්‍ධයන් ගන්නා එක්වාරයෙකි. මෙසේ ලෝභමූල චිත්තයා ගේ වශයෙන් ස්කන්‍ධවාර තුනක් ද ද්වේෂමූල චිත්තයා ගේ වශයෙන් ස්කන්‍ධවාර තුනක් ද මෝහමූල චිත්තයා ගේ වශයෙන් එක් ස්කන්‍ධවාරයක් ද වීමෙන් ස්කන්‍ධවාර සතක් වේ.

ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. ලෞකිකසිත් එක් අසූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණයන් අතුරෙන් යම්කිසිවක් අරමුණු කොට අකුසලජවනයන් උපදනා කල්හි එකුන්විසි භවාඞ්ගයන් අතුරෙන් යම්කිසි සිතක් භවාඞ්ගචලන භවාඞ්ගොපච්ඡෙද වශයෙන් ඉපිද නිරුද්ධ වීමෙන් පසු ලෞකික සිත් එක් අසූව ය -පෙ- යන ෂඩාරම්මණය අතුරෙන් යම්කිසිවක් අරමුණු කොට මනෝද්වාරාවර්ජනචිත්තය ඉපද නිරුද්ධ වේ. අනතුරු ව දොළොස් අකුසලචිත්තයන් අතුරෙන් යම්කිසි සිතක් ඒ ආරම්මණය ගනිමින් ජවනකෘත්‍යයෙන් සත්වරක් උපදී. විභූතාරම්මණවීථියක් වේ නම් එයට අනතුරු ව ඒ ආරම්මණය ම ගනිමින් එකොළොස් තදාරම්මණයන් අතුරෙන් යම්කිසි සිතක් තදාරම්මණකෘත්‍යයෙන් දෙවරක් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව කාමභවාඞ්ග චිත්තයක් උපදී. අවිභූතාරම්මණ වීථියක් වේ නම් භවාඞ්ගසිත් එකුන්විස්ස අතුරෙන් යම්කිසි සිතක් ජවනයට අනතුරු ව උපදී. එසේ උපදනා වූ ලෝභමූල අකුසල ජවනයන් ගේ ලෝභ මෝහ දෙක ද දෝසමූල අකුසලජවනයන් ගේ දෝස මෝහ දෙක ද මෝහමූල ජවනයන්හි මෝහය ද යන හේතුධර්‍මයන් ප්‍රත්‍යය වශයෙන් හා සම්ප්‍රයුක්ත අකුශලධර්‍මයන් ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් ද ගෙන “අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො” යනු වදාළ සේක.

අකුසලපදාවසාන වාරයට අනතුරු ව අබ්‍යාකතපදාවසාන වාරය වදාළ සේක. “අකුසලො ධම්මො අබ්‍යාකතස්ස -පෙ- පච්චයො” යනුයි. වීථිපාලියෙහි “අකුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුශලචිත්තයන්හි ඇති ලෝභ මෝහ, දෝස මෝහ, මෝහ යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. “අබ්‍යාකතස්ස ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් අකුශලචිත්තයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. “හෙතුපච්චයෙන” යන කරණපාඨයෙන් දොළොස් අකුසලචිත්තයන්හි ඇති ලෝභාදි හේතූන්හි එක් වර ලැබිය හැකි හේතු සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් හේතු සඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ. ස්කන්‍ධවාර විභාගය වුක්තානුසාරයෙන් දත යුතු ය.

අබ්‍යාකතපදාවසාන වාරයට අනතුරුව අකුසලාබ්‍යාකතපදාවසාන වාරය වදාළ සේක. “අකුසලොධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස -පෙ- පච්චයො” වීථිපාලියෙහි “අකුසලො ධම්මො” යන කර්‍තෘපෘඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල චිත්තයන්හි ඇති ලෝභාදි හේතූහු ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් අකුසල් සිත් දොළොස ය මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්සය අකුසලචිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. “හෙතුපච්චයෙන” යන කරණපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අකුශල හේතූන්හි එක්වර ලැබිය හැකි හේතු සහජාත නිස්සය අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් හේතුසඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ. ස්කන්‍ධවාර විභාගය හා ප්‍රත්‍යය වන ආකාරය විස්තර කරනු.

අකුසලපද වාරයට අනතුරු ව අබ්‍යාකතපද වාරය වදාළ සේක. එය අබ්‍යාකතපදාවසාන වාර වශයෙන් එකකි. එහි වීථිය “අබ්‍යාකතොධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයෙන පච්චයො” යනුයි. අනුවාදය “විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං හේතුපච්චයෙන පච්චයො, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා හෙතු සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තාච රූපානං හෙතුපච්චයෙන පච්චයො” යනුයි. එහි වීථි පාලියෙහි අබ්‍යාකතය ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි වශයෙන් දෙවැදෑරුම් වේ. ප්‍රවෘත්ති කාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන සහේතුක විපාක සිත් එක් විස්ස ය සහේතුක ක්‍රියාසිත් සතොළොසය ය චෛතසික අටතිසය යන මොවුන්ගේ ද්විහේතුක චිත්තක්‍ෂණයන්හි ලැබෙන අලෝභ අදෝස දෙකය. ත්‍රිහේතුක චිත්තක්‍ෂණයන්හි ලැබෙන අලෝභ අදෝස අමෝහ තුනය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. “අබ්‍යාකතස්ස ධම්මස්ස” යන සම්ප්‍රදානපාඨයෙන් සහේතුක විපාක සිත් එක් විස්සය, සහේතුක ක්‍රියා සිත් සතොළොසය චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. “හෙතුපච්චයෙන” යන කරණපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක ක්‍රියා හේතූන්හි එක් වර සුදුසු පරිදි ලැබෙන හේතු අධිපති සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති අතුරෙන් හේතු සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂය ලැබේ. ස්කන්‍ධවාර විභාගය කරනු.

ප්‍රත්‍යය වන ආකාරය මෙසේය:- කාමසිත් සිවුපනසය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය යන ෂඩාරම්මණයන් අතුරෙන් එක් ආරම්මණයක් ගෙන මහාවිපාකය භවාඞ්ග තදාරම්මණ වශයෙන් උපදනා කල්හි මහා විපාක අට අතුරෙන් තමන්ගේ ප්‍රතිසන්‍ධි චිත්තය හා සමාන වූ යම්කිසි සිතක් කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තයන් අතුරෙන් එක් ආරම්මණයක් ගනිමින් භවාඞ්ගචලන භවාංගුපච්ඡෙද වශයෙන් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව කාමසිත් සිවුපනසය, -පෙ- යන ෂඩාරම්මණයන්ගෙන් යම්කිසිවක් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද එකුන්තිස් කාමජවනයන්ගෙන් යම්කිසි සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක් ද ඉපද නිරුද්ධ වූ පසු සහේතුකකාමවිපාක අට අතුරෙන් යම්කිසි සිතක් තදාරම්මණකෘත්‍යයෙන් දෙවරක් ඉපද නිරුද්ධ වේ. අනතුරුව සහේතුකකාමවිපාක අට අතුරෙන් එක්සිතක් තදාරම්මණ කෘත්‍යයෙන් දෙවරක් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව සහේතුක කාමවිපාක සිතක් ම භවාඞ්ගකෘත්‍යයෙන් උපදනේ ය. එසේ උපදනා කල්හි ද්විහේතුක කාමවිපාකයන්හි ඇති අලෝභ අදෝස දෙක හා ත්‍රිහේතුක කාමවිපාක සතරෙහි ඇති අලෝභ අදෝස අමෝහ තුන ද ප්‍රත්‍යය වශයෙන් ගෙන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජ රූපයන් ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් ගෙන “අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො” යනු වදාළ සේක. ච්‍යුතිචිත්තයෙහි ප්‍රත්‍යය වන ආකාරය මරණාසන්නවීථියෙන් දැක්විය යුතුය. මහාක්‍රියා මහද්ගත විපාක ක්‍රියා ලෝකෝත්තරවිපාක චිත්තයන්හි ප්‍රත්‍යය වීමේ ආකාරය ද ඒ ඒ චිත්තවීථීන් අනුව විස්තර කළ යුතු ය.

ප්‍රතිසන්‍ධිකාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ටද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත්රූපයන්ට ද ප්‍රත්‍යය වන සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසය චෛතසික පන්තිස ය යන මොවුන්ගේ ද්විහේතුක චිත්තක්‍ෂණයන්හි ඇති අලෝභ අදෝස දෙකය ත්‍රිහේතුක චිත්තක්‍ෂණයන්හි ඇති අලෝභ අදෝස අමෝහ තුනය යන හේතුධර්‍මයෝ ලැබෙත්. “අබ්‍යාකතස්ස ධම්මස්ස, යන සම්ප්‍රදානපාඨයෙන් සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසය, චෛතසික පන්තිසය ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නධර්‍මයෝ ලැබෙත්. “හෙතුපච්චයෙන” යන කරණපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ටද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන සහේතුකප්‍රතිසන්‍ධි සතොළොසෙහි ඇති හේතු තුනෙහි සුදුසු පරිදි එක්වර ලැබෙන හේතුසහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති අතුරෙන් හේතුසඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ. ස්කන්‍ධවාර විභාගය සුගම ය.

ප්‍රත්‍යය වන ආකාරය මෙසේ ය. එකොළොස් කාමභූමීන්ගෙන් චුත ව කාමසුගතිභූමි සතෙහි පිළිසිඳ ගන්නවුන් ගේ මරණාසන්නවීථිය තදාරම්මණයට අනතුරුව ච්‍යුතියවන්නාවූ වීථියය ජවනයට අනතුරුව ච්‍යුතිය වන්නා වූ වීථිය ය, භවාඞ්ගයට අනුතරුව ච්‍යුතිය වන්නාවූ වීථිය යයි තුන් වැදෑරුම් වේ. එයින් තදාරම්මණයට අනතුරුව ච්‍යුතිය වන්නා වූ වීථිය මෙසේ ය. වර්‍තමානභවයෙන් පහවීමට සමීප වූ කල්හි කාමභවාඞ්ග දශය අතුරෙන් තමා ගේ ප්‍රතිසන්‍ධිචිත්තය හා භූමිජාත්‍යදීන් ගේ වශයෙන් සමාන වූ යම්කිසි සිතක් භවාඞ්ගචලන භවාඞ්ගොපච්ඡෙද වශයෙන් ඉපිද නිරුද්ධ වීමෙන් පසු කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තයන් අතුරෙන් එක් දෙයක් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ද පස්වරක් මරණාසන්න ජවනය ද දෙවරක් තදාරම්මණය ද ඉපිද නිරුද්ධ වෙති. අනතුරුව කාමචුති සිත් දශය අතුරෙන් එක් සිතක් අතීතභවයේ මරණාසන්නජවනයෙන් ගන්නා ලද කර්‍ම කර්‍මනිමිත්ත ගතිනිමිත්තයන් අතුරෙන් එක් දෙයක් ගනිමින් ච්‍යුතිකෘත්‍යයෙන් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව මහාවිපාක සිත් අට අතුරෙන් එක්තරා සිතක් අවිද්‍යානුශයෙන් පරිවරන ලද තෘෂ්ණානුශය මුල් කොට ඇත්තා වූ කාමාවචර කුශල සඞ්ඛ්‍යාත ජනක කර්‍මයෙන් උපදවනු ලැබීම් වශයෙන් සම්ප්‍රයුක්තධර්‍මයන් විසින් පිරිවරන ලදු ව සහජාතධර්‍මයනට ප්‍රතිෂ්ඨාභාවයෙන් මරණාසන්න ජවනයෙන් ගන්නා ලද කර්‍මාදීන් ගෙන් එකක් වූ ආරම්මණය ගනිමින් පුරාණභවය හා අභිනව භවය සම්බන්‍ධ කිරීම වූ ප්‍රතිසන්‍ධිකෘත්‍යයෙන් එක් වරක් ඉපිද නිරුද්ධ වේ. අනතුරු ව ඒ චිත්තය ම භවාඞ්ගකෘත්‍යයෙන් පසළොස් වරක් හෝ සොළොස් වරක් ඉපිද නිරුද්ධවීමෙන් පසු අභිනවභවය වූ ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයන් අරමුණු කරමින් මනෝද්වාරාවර්ජනය ද අභිනවභවයට ඇලුම් කිරීම් වශයෙන් ලෝභමූලචිත්තයන් ගෙන් එක් සිතක් ජවනකෘත්‍යයෙන් සත්වරක් ද අනතුරුව භවාඞ්ගචිත්තය ද ඉපිද නිරුද්ධ වන්නාහ. එසේ උපදනා වූ ද්විහේතුක මහාවිපාක ප්‍රතිසන්‍ධි චිත්තයන්ගේ අලෝභ අදෝස හේතු දෙක ද ත්‍රිහේතුක මහා විපාක ප්‍රතිසන්‍ධි චිත්තයන් ගේ අලෝභ අදෝස අමෝහ යන හේතු තුන ද ප්‍රත්‍යය භාවයෙන් ගෙන සම්ප්‍රයුක්තධර්‍මයන් හා කෘතත්‍වාත් රූපයන් ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් ද ගෙන “අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො” යනු වදාළ සේක.

හේතුප්‍රත්‍යය විභඞ්ගවාරය නිමි.