15. ආහාර ප්‍රත්‍යය

star_outline

ආහාර යනු සාමාන්‍යයෙන් ප්‍රත්‍යය ය යන අර්‍ථය දෙන වචනයෙකි. කබලිංකාරාහාර ය ඵස්ස ය මනෝසඤ්චේතනා ය විඤ්ඤාණ ය යන මේ ධර්‍ම සතරට ඒ නාමය විශේෂයෙන් ආරූඪ කර තිබේ. එ සේ කර තිබෙන්නේ ප්‍රත්‍යය වන අනේක ධර්‍මයන් අතුරෙන් ඒ ධර්‍ම සතර අතිරේක වශයෙන් ප්‍රත්‍යය වන බැවිනි. මේ ආහාර ප්‍රත්‍යය සූත්‍රාභිධර්‍ම පිටක දෙක්හි දැක්වෙන්නේ ක්‍රම දෙකකට ය. වෙනස ඇත්තේ ප්‍රත්‍යය වන ආකාරය පිළිබඳව ය. සූත්‍රාභිධර්‍ම දෙක්හි ම ප්‍රත්‍යය වශයෙන් දැක්වෙන ධර්‍මවල වෙනසක් නැත. සෞත්‍රාන්තික ක්‍රමයෙන් ප්‍රත්‍යය වන ආකාරය කිය යුත්තේ මෙසෙ ්ය. කබලිංකාරාහාර සඞ්ඛ්‍යාත ඕජාරූපය ඕජාෂ්ටමක රූපකලාප උපදව යි. සම්පූර්‍ණ රූපකායයට උපස්තම්භකභාවයෙන් ද උපකාරක වේ. ඵස්සාහාරය වේදනාත්‍රය උපදවයි. මනෝසඤ්චෙතනාහාරය භවත්‍රය ඇතිකරයි. විඥානාහාරය ප්‍රතිසන්‍ධි නාමරූපයන් ඇතිකරයි. අරූපාහාර තුන මෙසේ වේදනාදිය ඇති කරමින් සත්ත්‍වයා පිළිබඳ වූ සකල නාමරූප ධර්‍මයන් ගේ පරම්පරා වශයෙන් පැවැත්මට උපස්තම්භනය කෙරේ. කබලිංකාරාහාරයේ අතිරේක කෘත්‍යය චතුජකායය පාලනය කිරීම ය. අරූපාහාරයන් ගේ අතිරේක කෘත්‍යය සත්ත්‍වයා පිළිබඳ වූ සකල රූපාරූප ධර්‍මසමූහය ම පාලනය කිරීමය.

සත්ත්‍වයා පිළිබඳ වූ රූපාරූපධර්‍මය් ගේ නැවත නැවත ඇති වීමට හා පරම්පරා වශයෙන් වැඩීමට ද නො සිඳී පැවැත්මට ද ආහාරයෝ සතර දෙන බලවත් ප්‍රත්‍යය සතරෙකි. බීජයකට සමත්කම ඇත්තේ පැළයක් ඇති කිරීමට පමණෙකි. පැළය මහ ගසක් කර වීමට සමත් කමක් බීජයට නැත. බීජයෙන් ඇති වූ පැළය පෘථිවිරස ආපෝරසයන් ගේ අනුග්‍රහයෙන් මහගසක් වී දීර්‍ඝ කාලයක් පවතී. එමෙන් කර්‍මයට විශේෂ වශයෙන් ශක්තිය ඇත්තේ ද පළමු කොට කර්‍මජරූප ඇති කිරීමට ය. ඒවායේ පරම්පරාව චිරකාලයක් පැවැත්වීමේ ශක්තිය කර්‍මයට නැත්තේ ය. එ බැවින් සෘතු ආහාරයන් ගේ අනුග්‍රහය නො ලද හොත් සත්ත්‍වයා මිය යන්නේ ය. කර්‍මජරූප පරම්පරාව සිඳෙන්නේ ය. කර්‍මජරූප පරම්පරාව චිරකාලයක් පවත්නේ සෘතු ආහාර දෙක්හි අනුග්‍රහයෙනි. සෘතුව ඒ කර්‍මජරූපයන් පාලනය කිරීමට සමත් වන්නේ ආහාරයා ගේ අනුග්‍රහය ලැබෙත හොත් පමණෙකි. ආහාරයා ගේ අනුග්‍රහය නොලද හොත් කර්‍මජරූප පරම්පරාව සිඳෙන්නේ ය. කර්‍මජරූප පරම්පරාව සිඳී සත්ත්‍වයා මළ හොත් ඉතිරි රූප ද නො පවත්නේ ය. එ බැවින් ආහාරයා ගේ උපස්ථම්භනය රූපකායයා ගේ පැවැත්මට මහත් වූ ප්‍රත්‍යයෙකි.

පක්‍ෂීහු තුඩින් ආහාර ගනිමින් ඔවුන් ගේ ආත්මභාවය පවත්වති. ඉදින් තුඩ නැත්තේ නම් ආහාරය නැති ව වියලී ඔව්හු මැරෙති. එ මෙන් මේ සත්ත්‍වයෝ ස්පර්‍ශයෙන් ආරම්මණයන්හි රසය ගෙන වේදනා නමැති උපභෝග පරිභෝග රසය ගෙන එය ආස්වාදනය කෙරෙමින් එයට සතුටු වෙමින් සංසාරයෙහි නො කලකිරී සිටිති. ඉදින් ඵස්සය නැත්තේ නම් තෘෂ්ණාව ඇති වීමට වැඩීමට හේතුවක් නැති වී සංසාරය නැති වන්නේ ය. එ බැවින් සංසාර ප්‍රවෘත්තියට හෙවත් ස්කන්‍ධයන් ගේ අවිච්ඡින්න ප්‍රවෘත්තියට ඵස්සය මහත් වූ ප්‍රත්‍යයක් වේ. පක්‍ෂීහු පියාපත්වලින් වනයෙන් වනයට ගසින් ගසට යෙමින් ආහාර සපයා ගනිමින් තමන් ගේ ආත්මභාවයන් පවත්වති. ඉදින් පියාපත් නැත්තේ නම් නො යා හැකි ව ආහාරය නො ලබා ඒ ඒ තැන්වල ම මියයෙති. එමෙන් මේ සත්ත්‍වයෝ ද චේතනා සඞ්ඛ්‍යාත කර්‍මයෙන් භවයෙන් භවයට යෙමින් අද දක්වා මේ සංසාරයෙහි හැසිරෙති. ඉදින් චේතනා සඞ්ඛ්‍යාත කර්‍මය නැත්තේ නම් ජාතියෙන් ජාතිය නැවත නැවත ඉපදීමක් නො වීමෙන් ස්කන්‍ධපරම්පරාව සිඳෙන්නේ ය. එ බැවින් ආධ්‍යාත්මික ස්කන්‍ධසන්තතියේ අවිච්ඡින්න ප්‍රවෘත්තියට මේ චේතනාව ද මහත් වූ ප්‍රත්‍යයක් වේ. පක්‍ෂීහු ඇස් වලින් යා යුතු දිශාවන් හා අනුභව කළ යුතු ආහාරයන් ද බලා ගනිමින් ඒ ඒ දිශාවන්ට පියාසර කරමින් ගොස් ආහාර සපයා ගනිමින් ජීවත් වෙති. ඉදින් ඇස නැත්තේ නම් යා යුතු දිශාවන් නො ලැබ ගත යුතු ආහාරයක් නො ලැබ ඔව්හු ඒ ඒ තැන්වල ම මිය යන්නාහ. එ මෙන් මේ සත්ත්‍වයෝ විඥානයේ උපකාරයෙන් අරමුණු ලැබ ඒ අරමුණු වල ස්පර්‍ශ වේදනා චේතනා දීන් උපදවා ත්‍රිවිධ වෘතය සම්පූර්‍ණ කරමින් අද දක්වා සසර හැසිරෙති. එ බැවින් විඥානය ද ස්කන්‍ධයන්ගේ අවිච්ඡින්න ප්‍රවෘත්තියට මහත් වූ ප්‍රත්‍යයක් වේ.

සත්ත්‍වසන්තානයට අයත් වූ හේත්‍වාරම්මණාදි සකලප්‍රත්‍යයන්ට හා ප්‍රත්‍යයෝත්පන්නයන්ට ද ප්‍රත්‍යය වන මේ ආහාර ප්‍රත්‍යයා ගේ මහත්‍වය දක්වන සේක් තථාගතයන් වහන්සේ “චත්තාරො මෙ භික්ඛවෙ ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය” යනුවෙන් “මහණෙනි! උපන් සත්ත්‍වයන් ගේ පැවැත්මට ද උපදින්නට සිටින සත්ත්‍වයන්ට අනුග්‍රහය පිණිස ද මේ ආහාරයෝ සතර දෙනෙක් වන්නාහ” යි වදාළ සේක.

ආහාර සතර අතුරෙන් කබලිංකාරාහාරයා ගේ මහත් වූ කෘත්‍යය රූප කය උපස්තම්භනය කිරීම ය. එ බැවින් පට්ඨාන ප්‍රකරණයෙහි කබලිංකාරාහාරය ආහාරජරූපයන්ට ප්‍රත්‍යය වීම ගැන සඳහන් නො කොට “කබලිංකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාර පච්චයෙන පච්චයො” යි ක බලිංකාරාහාරය චතුසමුට්ඨාණික රූප කයට ප්‍රත්‍යය වන බව වදාරා තිබේ. අරූපාහාරයන් ගේ වේදනාදි ඒ ඒ ධර්‍මයන්ට වෙන් වශයෙන් ප්‍රත්‍යය වීමක් පට්ඨානයෙහි වදාරා නැත. එසේ ම අරූපාහාරයන් අසහජාත ධර්‍මයන්ට ප්‍රත්‍යය වන බවකුත් එහි වදාරා නැත. “අරූපිනො ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානඤ්ච රූපානං ආහාර පච්චයෙන පච්චයො” යි අරූපාහාරයන් සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන බව පමණක් පට්ඨාන පච්චය නිද්දෙසයෙහි වදාරා තිබේ. “පටිසන්ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ආහාරා සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තා ච රූපානං ආහාර පච්චයෙන පච්චයො” යි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපාහාරයන් සම්ප්‍රයුක්තධර්‍මයන්ට හා තමන් හා උපදනා කර්‍මජරූපයන්ට ද ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වන බව වදාරා තිබේ. එක් එක් සම්ප්‍රයුක්ත ධර්‍ම රාශියක ඇති ධර්‍මයන් සහජාත සම්ප්‍රයුක්ත අන්‍යෝන්‍ය නිඃශ්‍රය අස්ති අවිගතාදි ශක්තිවලින් යෙදෙන පරිදි සහජාත නාමරූපයන්ට ප්‍රත්‍යය වෙමින් ම සහජාත ධර්‍මයන් ගේ ඉපදීමට හා බලවත් වීමට ද විශේෂයෙන් ප්‍රත්‍යය වෙති. ඵස්සාදි ධර්‍ම තුනෙහි ම නො වෙනස් ව පවත්නා වූ ආහාර ශක්තිය නම් වූ විශේෂ ශක්තියක් නැත. ඵස්සයෙහි ආහාර ප්‍රත්‍යය ශක්තිය හැටියට කිය යුත්තේ ද එහි ඇති ආරම්මණය හා සැපෙන ස්වභාවය ම ය. චේතනාවෙහි ආහාර ප්‍රත්‍යය ශක්තිය සැටියට කිය යුත්තේ ද එහි ඇති උත්සාහ භාවය ම ය. විඤ්ඤාණයා ගේ ආහාර ප්‍රත්‍යය ශක්තිය සැටියට කිය යුත්තේ ද ඒහි ඇති ආරම්මණ විජානන ස්වභාවය ම ය. ඒ් ශක්තීහු සාමාන්‍යයෙන් සහජාත නාමරූපයන් හට ජනකත්‍වයෙන් ද විශේෂයෙන් උපස්ථම්භකත්‍වයෙන් ද උපකාර වෙති. ආහාරයන්ගේ ජනක ශක්තිය නිසා සහජාත නාමරූපයෝ උපදිති. ආහාරයන් ගේ උපස්ථම්භක ශක්තිය නිසා උපදින සහජාත ධර්‍මයෝ ස්කන්‍ධයන් ගේ අවිච්ඡෙද ප්‍රවෘත්තියට උපකාර විය හැකි ලෙසට බලවත් වී උපදිති.

රූපාහාර ප්‍රත්‍යයා ගේ ත්‍රිරාශියෙහි දැක්වෙන ක්‍රම දෙකින් පළමුවන ක්‍රමය ඕජාරූපයෙහි ඇති ජනකත්‍වයා ගේ වශයෙන් දක්වන ලද්දකි. ප්‍රත්‍යය වන බාහිර ඕජාව වශයෙන් ගතයුත්තේ ද සෘතුජ ඕජාව ය. කර්‍මජ චිත්තජ ආහාරජ රූපයන් හි ඇත්තා වූ ඕජාව ගිලින්නට ලැබෙන්නේ සර්‍පාදීන්ට පමණෙකි. සර්‍පයකු විසින් පණ ඇති මැඬියකු ගිලි කල්හි ඒ මැඬියා සර්‍පකුක්‍ෂියෙහි ජීවත් වන තෙක් උගේ ශරීරයෙහි කර්‍මාදි ප්‍රත්‍යය සතරෙන් ම හටගන්නා වූ රූප ඇත්තේ ය. එහෙත් මැඩියා ජීවත් ව සිටින තෙක් උගේ ශරීරයෙහි ඇති ඕජාවෙන් සර්‍පශරීරයේ ආහාරජ රූපයෝ නූපදිති. මැඩියා ගේ ශරීරයෙහි ඇති ඕජාව සර්‍පශරීරයේ පැතිර ආහාර සමුට්ඨානික රූප උපදින්නේ මැඩියා මැරී උගේ ශරීරය සුණු වී ගිය පසුව ය. මැඩියා ගේ ශරීරයෙන් ඒ අවස්ථාව වන තෙක් ඉතිරි වන්නේ සෘතුජ රූප පමණෙකි. එ බැවින් කර්‍මාදි ප්‍රත්‍ය තුනෙන් හටගත් ඕජාව ගිලින ලදුයේ ද ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වන අවස්ථාවක් නො එළඹෙන බව දත යුතු ය.

රූපාහාර ප්‍රත්‍යයේ ත්‍රිරාශිය දක්වා තිබෙන දෙවන ක්‍රමය ඕජා රූපයා ගේ උපස්තම්භකත්‍වය අනුව දක්වන ලද්දකි. කර්‍මාදි ප්‍රත්‍යය සතරෙන් ම හටගත්තා වූ රූපයන්හි ඇත්තා වූ ද අනුභව කළ ආහාරයෙහි ඇත්තා වූ ද සකල ඕජා රූපයෝ ම ශාරීරික සකල රූපයන්ට ම උපස්තම්භනය කිරීම් වශයෙන් ප්‍රත්‍යය වෙති. බාහිර ඕජාව සත්ත්‍වයා ගේ ශරීරයට පැමිණෙන්නට මත්තෙන් කර්‍මාදි ප්‍රත්‍යය තුනෙන් හටගත් ඕජාවන් ගෙන් සත්ත්‍ව ශරීරය පාලනය කරනු ලැබේ. බාහිර ඕජාව ශරීරයට පැමිණි තැන් පටන් ඒ බාහිර ඕජාව ය, චතුසමුට්ඨානික වූ ආධ්‍යාත්මික ඕජාව ය යන සියල්ලෙන් ම ශරීරය පාලනය වේ. ශාරීරික රූපකලාපයන් ගෙන් එක් එක් කලාපයක ඇති ඕජා රූපය ඒ කලාපයේ ඉතිරි රූපයන්ට හා අන්‍ය සකල ශාරිරික රූපයන්ට ද ප්‍රත්‍යය වේ. චතුසමුට්ඨානික රූපකලාපයන්හි ඇති ඕජා රූපයෙන් අන්‍ය රූපයෝ රූපාහාර ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ පමණක් වෙති. ඒ කලාපවල ඇති ඕජාරූපයෝ තමන් ප්‍රත්‍යය වීමෙන් ආහාර ප්‍රත්‍යය ද වෙති. එක් කලාපයක ඕජාව අන්‍ය කලාපයක ඕජාවට ද උපස්තම්භක වන බැවින් ආහාර ප්‍රත්‍යයෝත්පන්නයෝ ද වෙති.

ඔජාට්ඨමකරූපාදයො ආහාරතී ති ආහාරො කර්‍තෘසාධන විග්‍රහ යි. ආ පූර්‍ව හර ධාතුව කෙරෙන් ණ ප්‍රත්‍යය ව ආහාර යි සිද්ධ ය. යම් ධර්‍මයක් තෙමේ ඕජාෂ්ටමක රූපාදිය උපදවා ද එය ආහාර නම් වේ.