17. ධ්‍යාන ප්‍රත්‍යය නිර්‍දෙශය

star_outline

පදාර්‍ථ:

ඣානඞ්ගානි, ධ්‍යානාඞ්ගයෝ: ඣානසම්පයුත්තකානං, ධ්‍යානයන් හා සම්ප්‍රයුක්ත වූ: ධම්මානං, ද්විපඤ්චවිඥාන වර්ජිත සිත් එකුන් අසූව ය චෛතසික දෙපනස ය යන මොවුන්ට ද: තංසමුට්ඨානානං, ඒ ධ්‍යාන සම්ප්‍රයුක්ත චිත්තචෛතසිකයන් නිසා උපදනා වූ: රූපානඤ්ච, චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද: ඣාන පච්චයෙන පච්චයො.

අභිධෙයාර්‍ථ:

“ඣානඞ්ගානි” යන කර්‍තෘපාඨයෙන් ධ්‍යානාඞ්ගධර්‍ම පස වූ ප්‍රත්‍යය ධර්‍මය ද, සම්ප්‍රදානපාඨයෙන් ද්විපඤ්ච විඥාන වර්ජිත සිත් එකුන් අසූව ය, චෛතසික දෙපනස ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයන් ද දැක්වූ සේක.

කරණපාඨයෙන් සුදුසු පරිදි එක් වර ලැබෙන ඣාන, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් ධ්‍යාන සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.

නොහොත් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග ධර්‍මයෝ වෙත් නම්, ඣාන, සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති පස අතුරෙන් -පෙ- වීම ද, (අවිපාක ඝටනා සතර හා සවිපාක ඝටනා සතර අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන වේදනා ඒකග්තතා දෙක වේ නම්, ඣාන, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් -පෙ- වීම ද, (ඝටනා නවය අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක ඒකග්ගතා වේ නම් ඣාන, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන සය අතුරෙන් -පෙ- වීම ද, (ඝටනා නවය අනුව විස්තර කරනු.)

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ඒකග්ගතාව වේ නම්, ඣාන, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ශක්ති සත අතුරෙන් -පෙ- වීම ද, දැක්වූ සේක. (ඝටනා නවය අනුව විස්තර කරනු.)

විශේෂ කරුණු:

“පඤ්චන්නං පන විඤ්ඤාණ කායානං අභිනිපාත මත්තත්තා තෙසු විජ්ජමානා පි උපෙක්ඛා සුඛදුක්ඛානි උපනිජ්ඣානාකාරස්ස අභාවතො ඣානඞ්ග න උද්ධට මෙව” යනු අටුවා යි.