පුච්ඡාවාරයට අනතුරු ව විසජ්ජනා වාරය වදාළ සේක. එය ද ධම්මානුලෝමය ය. ධම්මපච්චනීය ය, ධම්මානුලෝම පච්චනීය ය, ධම්මපච්චනීයානු ලෝමය ය යන මොවුන්ගේ සිවු වැදෑරුම් වේ. එයින් ධම්මානුලෝම වාරය පළමු කොට වදාළ සේක. එය ද තිකපට්ඨානය ය, දුකපට්ඨානය ය, දුකතිකපට්ඨානය ය. තිකදුක පට්ඨානය ය. තිකතික පට්ඨානය ය, දුකදුක පට්ඨානය ය යන මොවුන්ගේ වශයෙන් සවැදෑරුම් වේ. එයින් තිකපට්ඨානය පළමු කොට වදාළ සේක. එද කුසලත්තිකාදි වශයෙන් දෙවිසි වැදෑරුම් වේ. එයින් කුසලත්තිකය පළමු කොට වදාළ සේක. එහි ද පටිච්චවාරය ය, සහජාත වාරය ය. පච්චය වාරය ය, නිස්සය වාරය ය, සංසට්ඨවාරය ය, සම්පයුත්ත වාරය ය, පඤ්හාවාරය ය යන වාරයන්ගේ වශයෙන් සත් වැදෑරුම් වේ. එයින් පටිච්ච වාරය පළමු කොට වදාළ සේක. එහි ද පච්චයානුලෝමය ය, පච්චය පච්චනීය ය, පච්චයානුලෝම පච්චනීය ය, පච්චය පච්චනීයානුලෝමය ය යි වාර සතරක් ඇත්තේ ය. එයින් පච්චයානුලෝම වාරය පළමු කොට වදාළ සේක. එය ද සඞ්ඛ්‍යාවාර විභඞ්ගවාරයන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් විභඞ්ග වාරය පළමු කොට වදාළ සේක. එහි ද හේතුපච්චය විභඞ්ගවාරාදි වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. එයින් හේතුපච්චය විභඞ්ග වාරය පළමු කොට වදාළ සේක. එහිද කුසල පදය, අකුසල පදය, අබ්‍යාකත පදය, කුසලාබ්‍යාකත පදය, අකුසලාබ්‍යාකත පදය යි පද පසක් ඇත්තේ ය. එයින් කුසල පද වාරය පළමු කොට වදාළ සේක. එ ද කුසලපදාවසාන වාරය ය, අක්‍යාකතපදාවසාන වාරයය, කුසලාබ්‍යාකත පදාවසාන වාරයය යන මොවුන් ගේ වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් කුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. එ ද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත් “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනුවෙනි. වීථියට අනතුරු ව අනුවාදය වදාළ සේක. කෙසේද? යත් “කුසලං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා, තයො ඛන්‍ධෙ පටිච්ච එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා” යනුවෙනි.
පදාර්‍ථ
කුසලං ධම්මං පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් කුශල ධර්‍මය නිසා: කුසලො ධම්මො, කුශල ධර්‍මය: හෙතුපච්චයා, හේතුප්‍රත්‍යයයෙන්: උප්පජ්ජති, උපදී: කුසලං එකං ඛන්‍ධං පටිච්ච, එක්ව ඉපදීම් වශයෙන් වේදනාදි එක් කුශලස්කන්‍ධයක් නිසා: තයො ඛන්‍ධා: සංඥාස්කන්‍ධාදි ස්කන්‍ධයෝ තිදෙන උපදිති. තයො ඛන්‍ධෙ පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් සංඥාචි ස්කන්‍ධ තුන නිසා: එකො ඛන්‍ධො, වේදනාදි එක් ස්කන්‍ධයක් උපදී: ද්වෙ ඛන්‍ධෙ පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් වේදනා සංඥාදි ස්කන්‍ධ දෙකක් නිසා: ද්වෙ ඛන්‍ධා, සංස්කාර විඥානාදි ස්කන්‍ධ දෙකක් උපදිති:
අභිධෙයාර්‍ථ
“කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යන වීථිපාලියෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක් විස්ස ය. චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා කුසල් සිත එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයේ ලැබෙත්. “හෙතු පච්චයා” යන පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන මොවුන් ගේ එක් එක් චිත්තක්‍ෂණයක ඇති අලෝභ අදෝසය, අලෝභ, අදෝස, අමෝහ ය යන හේතු දෙක්හි හා තුනෙහි ඇති හේතු ශක්තිය ලැබේ.
ස්කන්‍ධවාර
අනුවාද පාලියෙහි ස්කන්‍ධවාර තුදුසෙකි.
- “එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා” යන අනුවාද පාලියෙහි “එකං ඛන්‍ධං” යනුවෙන් වේදනා ස්කන්‍ධය ගෙන “තයො ඛන්‍ධා” යනුවෙන් සංඥා සංස්කාර විඥානස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
- එකං ඛන්‍ධං යනුවෙන් සංඥාස්කන්‍ධය ගෙන, තයො ඛන්‍ධා යනුවෙන් සංස්කාර විඥාන වේදනාස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
- “එකං ඛන්‍ධං යනුවෙන් සංස්කාරස්කන්‍ධය ගෙන තයො ඛන්‍ධා යනුවෙන් විඥාන වේදනා සංඥා ස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
- “එකං ඛන්‍ධං” යනුවෙන් විඥානස්කන්‍ධය ගෙන තයො ඛන්‍ධා යනුවෙන් වේදනා සංඥා සංස්කාරස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
මෙසේ ඒකක වාර සතරක් වේ.
- “තයො ඛන්‍ධෙ පටිච්ච එකො ඛන්‍ධො” යන අනුවාද පාලියෙහි “තයො ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සංඥා සංස්කාර ස්කන්‍ධයන් ගෙන “එකො ඛන්‍ධො” යනුවෙන් විඥානස්කන්‍ධය ගන්නා එක් වාරයකෙි.
- “තයො ඛන්‍ධෙ” යනුවෙන් සංඥා සංස්කාර විඥානස්කන්‍ධයන් ගෙන “එකො ඛන්‍ධො” යනුවෙන් වේදනාස්කන්‍ධය ගන්නා එක් වාරයෙකි.
- “තයො ඛන්‍ධෙ” යනුවෙන් සංස්කාර විඥාන වේදනා ස්කන්‍ධයන් ගෙන “එකො ඛන්‍ධො” යනුවෙන් සංඥා ස්කන්‍ධය ගන්නා එක් වාරයෙකි.
- “තයො ඛන්‍ධෙ” යනුවෙන් විඥාන වේදනා සංඥා ස්කන්‍ධයන් ගෙන “එකො ඛන්‍ධො” යනුවෙන් සංස්කාරස්කන්‍ධය ගන්නා එක් වාරයෙකි.
මෙසේ තිකවාර සතරක් වේ.
- “ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා”යන අනුවාද පාලියෙහි “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සංඥා ස්කන්‍ධ දෙක ගෙන “ද්වෙ ඛන්‍ධා” යනුවෙන් සංස්කාර විඥානස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සංස්කාරස්කන්‍ධයන් ගෙන “ද්වෙ ඛන්‍ධා” යනුවෙන් සංඥා විඥාන ස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් වේදනා විඥානස්කන්‍ධයන් ගෙන “ද්වෙ ඛන්‍ධා” යනුවෙන් සංඥා සංස්කාරස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් සංඥා සංස්කාරස්කන්‍ධයන් ගෙන “ද්වෙ ඛන්‍ධා” යනුවෙන් විඥාන වේදනා ස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් සංඥා විඥානස්කන්‍ධයන් ගෙන “ද්වෙ ඛන්‍ධා” යනුවෙන් වේදනා සංස්කාරස්කන්‍ධයන් ගන්නා එක්වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් සංස්කාර විඥානස්කන්‍ධයන් ගෙන, “ද්වෙ ඛන්‍ධා” යනුවෙන් වේදනා සංඥාස්කන්‍ධයන් ගන්නා එක් වාරයෙකි.
මෙසේ දුකවාර සයක් වේ. මෙසේ ඒකක වාර සතරක් ද තිකවාර සතරක් ද දුකවාර සයක් ද වීමෙන් ස්කන්‍ධවාර තුදුසක් වේ.
කුසලපදාවසාන වාරයට අනතුරුව අබ්‍යාකත පදාවසාන වාරය වදාළ සේක. එ ද වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමුකොට වදාළ සේක. කෙසේද? යත්, “කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනුවෙනි. වීථියට අනතුරුව අනුවාදය වදාළ සේක. කෙසේ ද? යත්, “කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” යනුවෙනි.
පදාර්‍ථ
කුසලං ධම්මං පටිච්ච, එක්ව ඉපදීම් වශයෙන් කුශල ධර්‍මය නිසා: අබ්‍යාකතො ධම්මො, අව්‍යාකෘත ධර්‍මය: හෙතුපච්චයා, හේතු ප්‍රත්‍යයෙන්: උප්පජ්ජති, උපදී.
අභිධෙයාර්‍ථ
“කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යන අනුවාද පාලියෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූප සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. “හෙතු පච්චයා” යන පාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භවයෙහි උපදනා එක්විසි කුශල චිත්තයන් ගෙන් ද්විහේතුක සිත්වල ඇති අලෝභ අදෝස දෙක ය, ත්‍රිහේතුක සිත්වල ඇති අලෝභ අදෝස අමෝහ තුනය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ හේතු ශක්තිය ලැබේ.
ස්කන්‍ධ වාර
අනුවාදපාලියෙහි ස්කන්‍ධවාර දෙසියවිසිපසෙකි. ඒ මෙසේ ය. පඨවීමහාභූතචිත්තජරූපයන්හි වාර පසළොසෙකි. ආපෝමහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසකි. තේජෝමහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසකි. වායෝමහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසකි. පඨවි ආපෝ තේජෝ මහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසකි. ආපෝ තේජෝ වායෝ මහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසකි. තේජෝ වායෝ පඨවි මහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසකි. වායෝ පඨවි ආපෝ මහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසකි. පඨවි ආපෝ මහාභූත -පෙ- වාර පසළොසකි. පඨවි තේජෝ මහාභූත -පෙ- වාර පසළොසකි. පඨවි වායෝ -පෙ- වාර පසළොසකි. ආපෝ තේජෝ -පෙ- වාර පසළොසකි. ආපෝ වායෝ -පෙ- වාර පසළොසකි. තේජෝ වායෝ -පෙ- වාර පසළොසකි. පඨවි ආපෝ තේජෝ වායෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර පසළොසකි. මෙසේ ස්කන්‍ධවාර දෙසිය විසිපහක් වේ.
පඨවිමහාභූත චිත්තජරූපයන්හි වාර පසළොස මෙසේ ය. එහි ඒකකවාර සතරෙකි. තිකවාර සතරෙකි. දුකවාර සයෙකි. චතුෂ්කවාර එකකි. මෙසේ පඨවිමහාභූත චිත්තජරූපයන්හි වාර පසළොසෙක් වේ.
එහි ඒකක වාර සතර මෙසේ ය. “කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්ත සමුට්ඨාන රූපං” යන අනුවාද පාලියෙහි කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් වේදනාස්කන්‍ධය ගෙන, චිත්ත සමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා එක්වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් සංඥාස්කන්‍ධය ගෙන චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවි මහාභූත චිත්තජ රූපයන් ගන්නා එක්වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් සංස්කාරස්කන්‍ධය ගෙන, චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් විඥානස්කන්‍ධය ගෙන, චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා ඒකවාරයෙකි. මෙ සේ ඒකකවාර සතරක් වේ.
තිකවාර සතර මෙසේය. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් වේදනා සඤ්ඤා සංඛාරයන් ගෙන, චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා එක්වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා එක්වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණ වේදනාවන් ගෙන චිත්ත සමුට්ඨානං රූපං යනුවෙන් පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් විඤ්ඤාණ වේදනා සඤ්ඤාවන් ගෙන චිත්ත සමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා එක්වාරයෙකි. මෙසේ තිකවාර සතරක් වේ.
දුකවාර සය මෙසේ ය. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් වේදනා සඤ්ඤාවන් ගෙන, චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජ රූපයන් ගන්නා එක්වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් වේදනා සඞ්ඛාරයන් ගෙන චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජ රූපයන් ගන්නා එක් වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් වේදනා විඤ්ඤාණයන් ගෙන, චිත්ත සමුට්ඨානං රූපං යනුවෙන් පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් සඤ්ඤා සඞ්ඛාරයන් ගෙන, චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් සංඥා විඤ්ඤාණයන් ගෙන, චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා එක්වාරයෙකි. කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් සංඛාර විඤ්ඤාණයන් ගෙන චිත්ත සමුට්ඨානං රූපං යනුවෙන් පඨවි මහාභූත චිත්තජ රූපයන් ගන්නා එක් වාරයෙකි. මෙසේ දුකවාර සයක් වේ.
කුසලෙ ඛන්‍ධෙ යනුවෙන් වේදනා සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන චිත්තසමුට්ඨානං රූපං යනුවෙන් පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා වාරය චතුෂ්කවාරය ය. මෙ සේ පඨවිමහාභූත චිත්තජ රූපයන්හි ස්කන්‍ධවාර පසළොසක් වේ. ආපෝ මහාභූත චිත්තජ රූපාදීන් ගේ ස්කන්‍ධවාර විභාගය උක්තානුසාරයෙන් දත යුතු.
අබ්‍යාකතපදාවසාන වාරයට අනතුරු ව කුසලාබ්‍යාකත පදාවසාන වාරය වදාළ සේක. වීථි අනුවාද විභාගය කරනු. කුසලං ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා, කුසලං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං -පෙ- චිත්තසමුට්ඨානඤ්ච රූපං.
පදාර්‍ථ
කුසලං ධම්මං පටිච්ච, එක්ව ඉපදීම් වශයෙන් කුශල ධර්‍මය නිසා: කුසලො ච, කුසල වූ ද: අබ්‍යාකතො ච, අබ්‍යාකත වූ ද: ධම්මා, ධර්‍මයෝ: හෙතුපච්චයා, හේතුප්‍රත්‍යයයෙන්: උප්පජ්ජන්ති, උපදිත්: කුසලං, කුසල වූ: එකං ඛන්‍ධං, ඒකස්කන්‍ධයක්: පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් නිසා: තයො ඛන්‍ධා, ස්කන්‍ධයෝ තිදෙනෙක් ද: චිත්තසමුට්ඨානං, සිතින් උපදනා වූ: රූපඤ්ච, රූපය ද, උපදී: සෙස්ස දත යුතු ය.
අභිධෙයාර්‍ථ
කුසලං ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා යන අනුවාද පාලියෙහි “කුසලො ච අබ්‍යාකතො ච ධම්මා” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ කුසල්සිත් එක් විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ධර්‍මයෝ ලැබෙත්. ‘හෙතුපච්චයා’ යන පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුශල චිත්තයන්ගෙන් ද්විහේතුක චිත්තයන් හි ඇති අලෝභ අදෝස යන හේතු දෙක්හිද, ත්‍රිහේතුක චිත්තයන්හි ඇති අලෝභ අදෝස අමෝහ යන හේතු තුනෙහි ද ඇති හේතු ශක්තිය ලැබේ.
ස්කන්‍ධ වාර
එහි අනුවාද පාලියෙහි ස්කන්‍ධවාර දෙසිය දසයකි. ඔවුහු නම් පඨවි මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුසය, ආපෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුස ය, තේජෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුස ය, වායෝ මහා භූත චිත්තජ රූපයන්හි වාර තුදුස ය, පඨවි ආපෝ තේජෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුස ය, ආපෝ තේජෝ වායෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුස ය, තේජෝ වායෝ පඨවි මහාභූත චිත්තජරූපයන්හි වාර තුදුස ය, වායෝ පඨවි ආපෝ මහාභූත චිත්තජරූපයන්හි වාර තුදුස ය, පඨවි ආපෝ මහාභූත චිත්තජරූපයන්හි වාර තුදුස ය. පඨවි තේජෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුස ය, පඨවි වායෝ මහාභූත චිත්තජරූපයන්හි වාර තුදුස ය, ආපෝ තේජෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුස ය, ආපෝ වයෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුසය. තේජෝ වායෝ මහාභූත චිත්තජ රූපයන්හි වාර තුදුසය. පඨවි ආපෝ තේජෝ වායෝ මහාභූත චිත්තජරූපයන්හි වාර තුදුස ය යන මොහු ය.
ඒකකවාර සතරය, තිකවාර සතර ය, දුකවාර සය යයි පඨවි මහාභූත චිත්තජරූපයන්හි වාර තුදුසක් වේ.
- “එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යන අනුවාද පාලියෙහි එකං ඛන්‍ධං යනුවෙන් වේදනාස්කන්‍ධය ගෙන “තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණ පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “එකං ඛන්‍ධං” යනුවෙන් සංඥාස්කන්‍ධය ගෙන “තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණ වේදනා පඨවි මහාභූත චිත්තජ රූපයන් ගන්නා එක් වාරයෙකි.
- “එකං ඛන්‍ධං” යනුවෙන් සංස්කාරස්කන්‍ධය ගෙන, “තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් විඤ්ඤාණ වේදනා සඤ්ඤා පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “එකං ඛන්‍ධං” යනුවෙන් විඥානස්කන්‍ධය ගෙන, “තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” වේදනා සඤ්ඤා සඞ්ඛාර පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
මෙසේ පඨවි මහාභූත චිත්තජරූපයෙහි වාර සතරක් වේ.
- “තයො ඛන්‍ධෙ පටිච්ච එකො ඛන්‍ධො චිත්තසමුට්ඨානඤ්ච රූපං” යන අනුවාද පාලියෙහි “තයො ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඤ්ඤා සඞ්ඛාරයන් ගෙන “එකො ඛන්‍ධො චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් විඤ්ඤාණ පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “තයො ඛන්‍ධෙ යනුවෙන් සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන “එකො ඛන්‍ධො චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් වේදනා පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “තයො ඛන්‍ධෙ” යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණ වේදනාවන් ගෙන, “එකො ඛන්‍ධො චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් සඤ්ඤා පඨවිමහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “තයො ඛන්‍ධෙ” යනුවෙන් විඤ්ඤාණ වේදනා සඤ්ඤාවන් ගෙන, ‘එකො ඛන්‍ධො චිත්තසමුට්ඨානඤ්ච රූපං’ යනුවෙන් සඞ්ඛාර පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
මෙසේ තිකවාර සතරක් වේ.
- “ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යන අනුවාද පාලියෙහි “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඤ්ඤා දෙක ගෙන, ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණ පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඞ්ඛාර දෙක ගෙන, “ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් විඤ්ඤාණ සඤ්ඤා පඨවි මහාභූත චිත්තජ රූපයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් වේදනා විඤ්ඤාණයන් ගෙන, “ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් සඤ්ඤා සඞ්ඛාර පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් සඤ්ඤා සඞ්ඛාර දෙක ගෙන, “ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් වේදනා විඤ්ඤාණ පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් සඤ්ඤා විඤ්ඤාණයන් ගෙන, “ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් වේදනා සඞ්ඛාර පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි.
- “ද්වෙ ඛන්‍ධෙ” යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන, “ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං” යනුවෙන් වේදනා සඤ්ඤා පඨවි මහාභූත චිත්තජරූපයන් ගන්නා එක් වාරයෙකි. මෙසේ දුකවාර සයක් වේ.
මෙසේ ඒකකවාර සතරක් ද තිකවාර සතරක් ද දුකවාර සයක් ද වීමෙන් පඨවි මහාභූත චිත්තජරූපයෙහි ස්කන්‍ධවාර තුදුසක් වේ. ආපෝ මහාභූත චිත්තජරූපාදියෙහි ස්කන්‍ධවාරයන් වුක්තානුසාරයෙන් යොදා විස්තර කරනු.
කුසල පද වාරයට අනතුරු ව අකුසල පද වාරය වදාළ සේක. එ ද අකුසලපදාවසාන වාර අබ්‍යාකතපදාවසාන වාර අකුසලාබ්‍යාකත පදාවසාන වාර වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් අකුසලපදාවසාන වාරය පළමු කොට වදාළ සේක. එ ද වීථි අනුවාද වශයෙන් තෙවදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. කෙසේ ද? යත් “අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනුවෙනි. වීථියට අනතුරු ව අනුවාදය වදාළ සේක. කෙසේ ද? යත්, “අකුසලං එකං ඛන්‍ධං -පෙ- ඛන්‍ධා” යනුවෙනි.
අභිධෙයාර්‍ථ
“අකුසලං -පෙ- හෙතුපච්චයා” යන අනුවාද පාලියෙහි “අකුසලො ධම්මො” යන කර්‍තෘ පාඨයෙන් අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අකුසල් සිත් දොළොස ය, මෝහමූලද්වයෙහි මෝහය හැර චෛතසික සත් විස්ස ය, යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපච්චයා යන පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුසල් චිත්තයන්ගෙන් ලෝභමූල චිත්තයෙහි ලෝභ මෝහ දෙක ය, දෝසමූල චිත්තයෙහි දෝස මෝහ දෙක ය, මෝහමූල චිත්තයෙහි මෝහය ය යන හේතු ධර්‍මයන් ගේ හේතු ශක්තිය ලැබේ. (අනුවාද පාලියෙහි ස්කන්‍ධවාර තුදුසෙකි. ඒවා කුසල පදයෙහි කී පරිදි දත යුතු ය.)
අකුසල පදාවසාන වාරයට අනතුරු ව අබ්‍යාකත පදාවසාන වාරය වදාළ සේක. වීථි අනුවාද විභාගය කරනු. “අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා, අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං”
අභිධෙයාර්‍ථ
අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා යන අනුවාද පාලියෙහි අබ්‍යාකතො ධම්මො යන කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්සය ය යන සමූහ නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. හෙතුපච්චයා යන පාඨයෙන් චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ දොළොස් අකුසල චිත්තයන් ගෙන් ලෝභමූල චිත්තයෙහි ලෝභ මෝහ දෙක ය, දෝසමූල චිත්තයෙහි දෝස මෝහ දෙක ය, මෝහමූල චිත්තයෙහි මෝහය යන හේතු ධර්‍මයන් ගේ හේතු ශක්තිය ලැබේ. (ස්කන්‍ධවාර දෙසිය විසිපසකි. ඒවා කුසලාබ්‍යාකත පද වාරයේ දැක්වූ පරිදි විස්තර කරනු.)
අබ්‍යාකතපදාවසාන වාරයට අනතුරුව අකුසලාබ්‍යාකත පදාවසාන වාරය වදාළ සේක. වීථි අනුවාද විභාගය කරනු. “අකුසලං ධම්මං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා චිත්ත සමුට්ඨානඤ්ච රූපං” පදාර්‍ථ කියනු.
අභිධෙයාර්‍ථ
වීථිපාලියෙහි “අකුසලො ච අබ්‍යාකතො ච ධම්මා” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අකුසල් සිත් දොළොස ය, මෝහ මූලද්වයයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන මොව්හු ලැබෙත්. හේතුපච්චයා යන පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල චිත්තයන්ගෙන් ලෝභමූල චිත්තයන්හි ඇති ලෝභ මෝහ දෙක ය, ද්වේෂමූල චිත්තයයන්හි ඇති දෝස මෝහ දෙක ය, මෝහමූල චිත්තයන්හි ඇති මෝහය ය යන හේතු ධර්‍මයන්ගේ හේතුශක්තිය ලැබේ. (ස්කන්‍ධවාර දෙසිය දසයකි. ඒවා කුසල පදයෙහි මෙන් දත යුතු ය.)
අකුසලපදයට අනතුරු ව අබ්‍යාකතපදය වදාළ සේක. එහි ඇත්තේ අබ්‍යාකතපදාවසානවාර වශයෙන් එක් වාරයෙකි. එය වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. එනම් “අබ්‍යාකතං ධම්මං අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනු යි. වීථියට අනතුරු ව අනුවාදය වදාළ සේක. එනම් “විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- කටත්තා රූපං උපාදායරූපං” යනු යි.
අභිධෙයාර්‍ථ
“අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො” යනාදි පාඨයෙන් දැක්වෙන අව්‍යාකෘත ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි ශුද්ධරූප වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් සහේතුක විපාක සිත් එක්විස්ස ය, සහේතුක ක්‍රියා සිත් සතොළොස ය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ සහේතුක විපාක සිත් එක් විස්ස ය සහේතුක ක්‍රියා සිත් සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් උපදවන චිත්තජරූපයෝ ය යන මොව්හු ලැබෙත්. “හේතුපච්චයා” යන පාඨයෙන් සම්පයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන සහේතුක විපාක සිත් එක්විස්ස ය සහේතුක ක්‍රියා සිත් සතොළොස ය යන මොවුන්ගෙන් ද්විහේතුක චිත්තයන්හි ඇති අලෝභ අදෝස දෙක ය ත්‍රිහේතුක චිත්තයන්හි ඇති අලෝභ අදෝස අමෝහ තුන ය යන හේතුධර්‍මයන් ගේ හේතු ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය දසයකි. (ඉහත කී පරිදි විස්තර කරනු.)
ප්‍රතිසන්‍ධිකාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් සහේතුක ප්‍රතිසන්‍ධි සිත් සතොළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ද නිසා උපදනා වූ සහේතුක ප්‍රතිසන්‍ධි සතළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, කර්‍මජ රූපයෝ ය යන මොව්හු ලැබෙත්. “හේතුපච්චයා” යන පාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසෙහි ද්විහේතුක චිත්තයන්හි ඇති අලෝභ අදෝස දෙක්හි ද ත්‍රිහේතුක චිත්තයන්හි ඇති අලෝභ අදෝස අමෝහයන් ගේ ද හේතු ශක්තිය ලැබේ.
ස්කන්‍ධවාර
ස්කන්‍ධවාර දෙසිය සතළිසකි. අවයව නාමස්කන්‍ධයන්හි වාරදෙසිය දසයෙකි, අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන්හි වාර පසළොසෙකි, හෘදය වස්තුවෙහි වාර පසළොසෙකි, මෙ සේ ස්කන්‍ධවාර දෙසිය සතළිසක් වේ. අවයව නාමස්කන්‍ධයන්හි වාර දෙසිය දසය පඨවි මහාභූත කටත්තාරූපයන්හි වාර තුදුස ය යනාදීන් උක්තානුසාරයෙන් විස්තර කරනු. පඨවි මහාභූත කටත්තාරූපයන්හි ඒකකවාර සතර ද තිකවාර සතර ද දුකවාර සය ද විස්තර කරනු. ආපෝ මහාභූත කටත්තාරූපාදියෙහි වාරයන් ද එසේ ම විස්තර කරනු. වාර දෙසිය දසය ලැබෙනු ඇත.
අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන්හි ඒකක වාර සතරක් ද තිකවාර සතරක් ද දුකවාර සයක් ද චතුක්කවාරයක් ද වීමෙන් වාර පසළොසක් වේ.
(1) “ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු” යන අනුවාද පාලියෙහි “ඛන්‍ධෙ” යනුවෙන් වේදනාව ගෙන “වත්‍ථු” යනුවෙන් හෘදය වස්තුව ගන්නා එක් වාරයෙකි. (2) “ඛන්‍ධෙ” යනුවෙන් සඤ්ඤාව ගෙන, “වත්‍ථු” යනුවෙන් හෘදය වස්තුව ගන්නා එක් වාරයෙකි. (3) “ඛන්‍ධෙ” යනුවෙන් සඞ්ඛාරය ගෙන, “වත්‍ථු” යනුවෙන් හෘදය වස්තුව ගන්නා එක් වාරයෙකි. (4) “ඛන්‍ධෙ” යනුවෙන් විඤ්ඤාණය ගෙන, “වත්‍ථු” යනුවෙන් හෘදය වස්තුව ගන්නා එක්වාරයෙකි. මෙ සේ ඒකක වාර සතරක් වේ.
(1) “ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඤ්ඤා සඞ්ඛාරයන් ගෙන, “වත්‍ථු” යනුවෙන් හෘදය වස්තුව ගන්නා එක් වාරයෙකි. (2) “ඛන්‍ධෙ” යනුවෙන් සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන, “වත්‍ථු” -පෙ- එක් වාරයෙකි. (3) “ඛන්‍ධෙ” යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණ වේදනාවන් ගෙන. “වත්‍ථු” -පෙ- එක් වාරයෙකි. (4) “ඛන්‍ධෙ” යනුවෙන් විඤ්ඤාණ වේදනා සඤ්ඤාවන් ගෙන, වත්‍ථු -පෙ- එක් වාරයෙකි. මෙසේ තිකවාර සතරක් වේ.
(1) “ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඤ්ඤාවන් ගෙන, “වත්‍ථු” එක් වාරයෙකි. (2) “ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඞ්ඛාරයන් ගෙන, “වත්‍ථු” එක් වාරයෙකි. (3) “ඛන්‍ධෙ” යනුවෙන් වේදනා විඤ්ඤාවන් ගෙන, “වත්‍ථු” එක් වාරයෙකි. (4) “ඛන්‍ධෙ” යනුවෙන් සඤ්ඤා සඞ්ඛාරයන් ගෙන, “වත්‍ථු” එක් වාරයෙකි. (5) “ඛන්‍ධෙ” යනුවෙන් සඤ්ඤා විඤ්ඤාණයන් ගෙන, “වත්‍ථු” එක් වාරයෙකි. (6) “ඛන්‍ධෙ” යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන, “වත්‍ථු” යනුවෙන් හෘදය වස්තුව ගන්නා එක් වාරයෙකි. මෙසේ දුකවාර සයක් වේ.
“ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන, “වත්‍ථු” යනුවෙන් හෘදය වස්තුව ගන්නා වාරය චතුක්ක වාරය ය. මෙසේ අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන්හි ස්කන්‍ධවාර පසළොස වේ.
ඒකකවාර සතරක් ද තිකවාර සතරක් ද දුකවාර සයක් ද චතුෂ්ක වාරයක් ද වීමෙන් හෘදය වස්තුවෙහි ස්කන්‍ධවාර පසළොසෙකි. “වත්‍ථුං පටිච්ච ඛන්‍ධා” යන අනුවාද පාලියෙහි “වත්‍ථුං” යනුවෙන් හෘදය වස්තුව ගෙන, “ඛන්‍ධා” යනුවෙන් පිළිවෙලින් වේදනාදි ස්කන්‍ධ සතර ගැනීමෙන් හෘදය වස්තුව පිළිබඳ ඒකක වාර වේ.
“වත්‍ථුං” යනුවෙන් හෘදය වස්තුව ගෙන, “ඛන්‍ධා” යනුවෙන් වේදනා සඤ්ඤා සඞ්ඛාර තුන ද, සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණ තුන ද, සඞ්ඛාර විඤ්ඤාණ වේදනා තුන ද විඤ්ඤාණ වේදනා සඤ්ඤා තුන ද, ගැනීමෙන් තිකවාර සතර වේ.
“වත්‍ථුං” යනුවෙන් හෘදය වස්තුව ගෙන “ඛන්‍ධා” යනුවෙන් වේදනා සඤ්ඤා දෙක ද, වේදනා සඞ්ඛාර දෙක ද, වේදනා විඤ්ඤාණ දෙක ද, සඤ්ඤා සඞ්ඛාර දෙක ද, සඤ්ඤා විඤ්ඤාණ දෙක ද, සඞ්ඛාර විඤ්ඤාණ දෙක ද පිළිවෙලින් ගැනීමෙන් හෘදය වස්තුවෙහි දුකවාර සය වේ.
“වත්‍ථුං” යනුවෙන් හෘදය වස්තුව ගෙන “ඛන්‍ධා” යනුවෙන් නාමස්කන්‍ධ සතර ම ගැනීමෙන් හෘදය වස්තුවෙහි චතුෂ්කවාරය වේ. මෙ සේ හෘදය වස්තුවෙහි ස්කන්‍ධවාර පසළොස වේ. මෙ සේ අවයව නාමස්කන්‍ධයන්හි වාර පසළොසක් ද, හෘදය වස්තුවෙහි වාර පසළොසක් ද වීමෙන් ප්‍රතිසන්‍ධිකාලයෙහි ස්කන්‍ධවාර දෙසිය සතළිසක් වේ.
ශුද්ධරූපවාරයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක අරහන්තච්‍යුති වර්ජිත කුශලාකුශල සහේතුක විපාක සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ සහේතුක චිත්තජ මහාභූතයෝ ය, සහේතුක පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි තෙළෙස හා උපදනා සහේතුක කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූත රූප සහිත වූ සහේතුක චිත්තජ උපාදායරූපයෝ ය. සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ලැබෙත්. “හේතු පච්චයා” යන පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලා කුශල සහේතුක විපාක සහේතුක ක්‍රියා චිත්තයන්හි ඇති ලෝභ මෝහ ය, දෝස මෝහය, මෝහය ය, අලෝභ අදෝස ය, අලෝභ අදෝස අමෝහ ය යන හේතූන් ගේ හේතු ශක්තිය ලැබේ.
චිත්තජමහාභූතයන්හි පසළොස් වාරයක් ද කර්‍මජමහාභූතයන්හි පසළොස් වාරයක් ද වීමෙන් එහි ස්කන්‍ධවාර තිසකි. ඒකක වාර සතරක් ද තිකවාර සතරක් ද දුකවාර සයක් ද චතුෂ්ක වාරයක් ද වීමෙන් චිත්තජමහාභූතයන්හි ස්කන්‍ධවාර පසළොසක් වේ.
“එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා” යන අනුවාද පාලියෙහි (1) “එකං මහාභූතං” යනුවෙන් පඨවි මහාභූතය ගෙන “තයො මහා භූතා” යනුවෙන් ආපෝ තේජෝ වායෝ මහාභූතයන් ගන්නා එක්වාරයෙකි. (2) “එකං මහාභූතං” යනුවෙන් ආපෝමහාභූතය ගෙන “තයොමහාභූතා” යනුවෙන් තේජෝ වායෝ පඨවි මහාභූතයන් ගන්නා එක් වාරයෙකි. (3) “එකං මහාභූතං” යනුවෙන් තේජෝ මහාභූතය ගෙන, “තයෝ මහාභූතා” යනුවෙන් වායෝ පඨවි ආපෝ මහාභූතයන් ගන්නා එක් වාරයෙකි. (4) “එකං මහාභූතං” යනුවෙන් වායෝ මහාභූතය ගෙන, “තයෝ මහාභූතා” යනුවෙන් පඨවි ආපෝ තේජෝ මහා භූතයන් ගන්නා එක් වාරයෙකි. මෙසේ ඒකකවාර සතරක් වේ.
“තයෝ මහාභූතෙ පටිච්ච එකං මහාභූතං” යන අනුවාද පාලියෙහි (1) “තයො මහාභූතෙ” යනුවෙන් පඨවි ආපෝ තේජෝ මහාභූතයන් ගෙන “එකං මහා භූතං” යනුවෙන් වායෝ මහාභූතය ගන්නා එක් වාරයෙකි. (2) “තයෝ මහාභූතෙ” යනුවෙන් ආපෝ තේජෝ වායෝ මහාභූතයන් ගෙන එකං මහාභූතං යනුවෙන් පඨවි මහාභූතය ගන්නා එක් වාරයෙකි. (3) “තයො මහාභූතෙ” යනුවෙන් තේජෝ වායෝ පඨවි මහාභූතයන් ගෙන, “එකං මහාභූතං” යනුවෙන් ආපෝ මහාභූතය ගන්නා එක්වාරයෙකි. (4) තයො මහාභූතෙ යනුවෙන් වායෝ පඨවි ආපෝ මහාභූතයන් ගෙන, එකං මහාභූතං යනුවෙන් තේජෝ මහාභූතය ගන්නා එක් වාරයෙකි. මෙසේ තිකවාර සතරක් වේ.
ද්වෙ මහාභූතෙ පටිච්ච ද්වෙ මහාභූතා යන අනුවාද පාලියෙහි (1) “ද්වෙ මහාභූතෙ” යනුවෙන් පඨවි ආපෝ මහා භූතයන් ගෙන ද්වෙ මහාභූතා යනුවෙන් තේජෝ වායෝ මහාභූතයන් ගන්නා එක් වාරයෙකි. (2) “ද්වෙ මහාභූතෙ” යනුවෙන් පඨවි තේජෝ මහාභූතයන් ගෙන, “ද්වෙ මහාභූතා” යනුවෙන් ආපෝ වායෝ මහාභූතයන් ගන්නා එක් වාරයෙකි. (3) “ද්වෙ මහාභූතෙ” යනුවෙන් පඨවි වායෝ මහාභූතයන් ගෙන, ද්වෙ මහාභූතා යනුවෙන් ආපෝ වායෝ මහාභූතයන් ගන්නා එක් වාරයෙකි. (4) “ද්වෙ මහාභූතෙ” යනුවෙන් ආපෝ තේජෝ මහාභූතයන් ගෙන, ද්වෙ මහාභූතා යනුවෙන් පඨවි වායෝ මහාභූතයන් ගන්නා එක්වාරයෙකි. (5) “ද්වෙ මහාභූතෙ” යනුවෙන් ආපෝ වායෝ මහාභුතයන් ගෙන, “ද්වෙ මහාභූතා” යනුවෙන් පඨවි තේජෝ මහාභූතයන් ගන්නා එක්වාරයෙකි. (6) ‘ද්වෙ මහාභුතෙ’ යනුවෙන් තේජෝ වායෝ මහාභූතයන් ගෙන ‘ද්වෙ මහාභූතා’ යනුවෙන් පඨවි ආපෝ මහාභූතයන් ගන්නා එක්වාරයෙකි. මෙසේ දුකවාර සයක් වේ.
“මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං උපාදාය රූපං” යන අනුවාද පාලියෙහි “මහාභූතෙ” යනුවෙන් මහාභූත සතර ගෙන, “චිත්තසමුට්ඨානං රූපං” යනුවෙන් උපාදායරූප ගන්නා වාරය චතුෂ්කවාරය ය. මෙසේ ඒකකවාර සතරක් ද තිකවාර සතරක් ද දුකවාර සයක් ද චතුෂ්කවාරයක් ද වීමෙන් චිත්තජමහාභූතයන්හි ස්කන්‍ධවාර පසළොසක් වේ. කර්‍මජමහාභූතයන්හි ද එ සේම පසළොස්වාරයක් වීමෙන් ශුද්ධරූපයන්හි ස්කන්‍ධ වාර තිසක් වේ. මෙසේ ප්‍රවෘත්ති කාලයෙහි වාර දෙසිය දසයක් ද ප්‍රතිසන්‍ධි කාලයෙහි වාර දෙසිය සතලිසක් ද ශුද්ධ රූපයෙහි වාර තිසක් ද වීමෙන් අබ්‍යාකත වාරයෙහි ස්කන්‍ධවාර සාරසිය අසූවක් වේ.
අබ්‍යාකතපදවාරයට අනතුරු ව කුසලාබ්‍යාකත පද වාරය වදාළ සේක. එය අබ්‍යාකතපදාවසානවාර වශයෙන් එක් වාරයෙකි. එය වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. එනම්- “කුසලඤ්ච අබ්‍යාකතඤ්ච ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා” යනුයි. වීථියට අනතුරු ව අනුවාදය වදාළ සේක. එනම් “කුසලෙ ඛන්‍ධෙ ච මහාභූතෙ ච පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං” යනු යි. කුසලෙ ඛන්‍ධෙ ච මහාභූතෙච පටිච්ච, එක්ව ඉපදීම් වශයෙන් කුසලස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා: චිත්ත සමුට්ඨානං රූපං, චිත්තසමුට්ඨානරූපය උපදී, යනු අර්‍ථ යි.
අභිධෙයාර්‍ථ
කුසලඤ්ච -පෙ- හෙතුපච්චයා යන අනුවාද පාලියෙහි ‘අබ්‍යාකතො ධම්මො’ යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අට තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්. හේතු පච්චයා යන පාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුසල චිත්තයන් ගේ අලෝභ අදෝස යන හේතු දෙකය අලෝභ අදෝස අමෝහ යන හේතු තුනය යන මොවුන් ගේ හේතුශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසිපසෙකි. (කුසලපදයේ අබ්‍යාකත පදාවසාන වාරයෙහි මෙන් ස්කන්‍ධවාර විභාගය දත යුතු ය. කර්‍මපදයෙන් ස්කන්‍ධයන් හා මහාභූතයන් ගැනීම පමණක් එහි වෙනස ය.)
කුසලාබ්‍යාකතපදවාරයට අනතුරු ව අකුසලාබ්‍යාකත පද වාරය වදාළ සේක. “-පෙ- අකුසලඤ්ච අබ්‍යාකතඤ්ච ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යනුයි. “-පෙ- අකුසලෙ -පෙ- චිත්තසමුට්ඨානං රූපං” යනුයි.
අභිධෙයාර්‍ථ
“අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් අකුසල් සිත් දොළොසය චෛතසික සිත්විස්සය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්. ‘හෙතුපච්චයා’ යන පාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසලචිත්තයන්හි ඇති ලෝභාදි හේතූන්ගේ හේතු ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර දෙසිය විසි පසෙකි.
හේතු ප්‍රත්‍යය විභඞ්ගවාරය නිමි.
විශේෂ කරුණු
පච්ඡාවාරයා ගේ ආදියෙහි හේතුප්‍රත්‍යය සම්බන්‍ධයෙන් දැක්වුණු ප්‍රශ්න එකුන්පනසෙන් මේ විස්සර්‍ජනවාරයේ විසඳා වදාරා තිබෙන්නේ ප්‍රශ්න නවයක් පමණය. ඉතිරි ප්‍රශ්න සතළිස විසඳා නැත. ඒවා විසඳත හොත් විසඳිය යුත්තේ “නුප්පජ්ජ ති” කියා ය. දැක්විය යුතු ධර්‍මයක් නො ලැබෙන ඒ ප්‍රශ්න විසඳීමෙන් දේශනය දික්වීම මිස විශේෂ ප්‍රයෝජනයක් නැති බැවින් දැක්විය යුතු ධර්‍ම ඇති ප්‍රශ්න නවය පමණක් විසඳා තිබේ. ඉදිරියෙහි විස්සර්ජනා වාරය ඇත්තේ මේ ක්‍රමයෙන් ම ය.
“කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා” යන්නෙහි තේරුම කුශලධර්‍මයන් හා එක්ව උපදනා වූ කුශල ධර්‍මය හේතුප්‍රත්‍යයෙන් උපදී ය යනු යි. සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික කුසල සිත උපදින්නේ චෛතසික තෙතිසක් ද සමග ය. අවයව සූතිසක් ඇත්තා වූ ඒ ධර්‍මරාශියට අයත් ධර්‍මසියල්ල ම අන්‍යෝන්‍ය වශයෙන් කුශලයන් සමගම උපදී. ඒවායේ උත්පත්තියට ඒ සමූහයට අයත් හේතූන් ප්‍රත්‍යය වන බැවින් ඒ ධර්‍මයෝ අන්‍යෝන්‍ය වශයෙන් කුශලධර්‍ම සමග ම හේතු ප්‍රත්‍යයෙන් උපදිති. ඒ කුශලධර්‍මයන් ගේ උත්පත්තියට තවත් උපකාරක ධර්‍ම තවත් නැත්තේ නොවේ. මේ දේශනය කරනුයේ ඒ අනේක ප්‍රත්‍යයන් ගෙන් හේතු ප්‍රත්‍යය පමණක් දැක්වීමටය. ඒ ධර්‍ම තවත් ප්‍රත්‍යයන් ගේ උපකාරයක් නැති ව හේතු ප්‍රත්‍යයෙන් ම උපදීය යි නො ගත යුතු ය.
“කුසලං ධම්මං පටිච්ච” යනාදි පාලියෙහි “පටිච්ච” යනු අටුවා වෙහි විස්තර කර තිබෙන්නේ එහි “පටි” යනු සදෘශාර්‍ථය දෙන පදයක් ය, “ඉච්ච” යනු ගමනාර්‍ථය දෙන පදයක් ද කියා ය. එසේ ගන්නා කල්හි පටිච්ච යන්නට අර්‍ථ කිය යුත්තේ ‘සමාන බවට පැමිණ’ ය කියා ය. අටුවාවේ සැටියට සම්පූර්‍ණ පාඨයට පදාර්‍ථ කියයුත්තේ මෙසේ ය.
කුසලං, කුසල් වූ: ධම්මං, ධර්‍මය හා: පටිච්ච, (එක්ව ඉපදීම් වශයෙන්) සමාන බවට පැමිණ: කුසලො, කුසල් වූ: ධම්මො, ධර්‍මය: උප්පජ්ජ ති, උපදී: හෙතුපච්චයා, (එසේ උපදනා ධර්‍මය) හේතුප්‍රත්‍යයෙන් (උපදී.)
“චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජ ති චක්ඛු විඤ්ඤාණං, හෙතුං පටිච්ච සම්භූතා හෙතු භඞ්ගා නිරුජ්ඣති” යනාදීන්හි “පටිච්ච” යනු වෙන් දැක්වෙන්නේ කාරණාර්‍ථය ය. බුරුම සන්නයෙහි ඒ අර්‍ථය ගෙන කුසලං ධම්මං පටිච්ච කුශල ධර්‍මය නිසා කියා ද අටුවාවෙහි දැක්වෙන ක්‍රමයට ද යන දෙයාකාරයෙන්ම අර්‍ථ කියා තිබේ. අටුවාවෙහි සමාන භාවයට පැමිණීමය යි කියා තිබෙන්නේ ද අන් ක්‍රමයකින් සමාන භාවයකට පැමිණීමකට නොව එක්ව ඉපදීමෙන් සමාන බවට පැමිණීමට ය. සමූහ වශයෙන් උපදනා රූපා රූප ධර්‍මයන් ගෙන් එක් එක් ධර්‍මයක ම ඉපදීම ඒ ඒ ධර්‍ම හා එක් ව උපදනා අන්‍ය රූපා රූප ධර්‍මයන් ගේ ඉපදීමට උපකාරයක් වේ. (පටිච්ච යනුවෙන් කියැවෙන අදහස ද ඒ උපකාරකත්‍වය ය, එබැවින් අර්‍ථකීමේ පහසුව ද සලකා අප විසින් “කුසලං ධම්මං පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් කුසලධර්‍මය නිසාය” යි පදාර්‍ථ දක්වන ලදි.
“කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයේ අභිධෙයාර්‍ථ දැක්වීමේදී අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අවයව නාමස්කන්‍ධයෝ ය යි කියනුයේ නාමස්කන්‍ධ සතර ම එකවර ප්‍රත්‍යය භාවයෙන් හා ප්‍රත්‍යයෝත්පන්න භාවයෙන් නො ගත හැකි බැවිනි. එකට බැඳී එකවර උපදින්නා වූ නාමස්කන්‍ධයන් ගෙන් එක් කොටසකට අනික් කොටස ද අනික් කොටසට ඒ කොටස ද ප්‍රත්‍යය වේ. එබැවින් ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න භාවය අවයව වශයෙන් කියනු ලැබේ.