පුරේජාතමූලකය

star_outline

පුරේජාතමූලකයෙහි හේතුදුකයේ පටන් උපනිස්සය දුකය දක්වා ඇති දුකයෝ කියන ලද නය අනුව විස්තර කළ යුත්තාහු ය. පුරේජාත මූලක ආසේවන දුකයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, අරූපකුසල අරූපක්‍රියාවෝ ය, උපරිමමාර්‍ග තුන ය යන නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහා කුශල ද්විතීයාදි ජවනයෝ ය, අරූප කුසල් සතර ය, උපරිම මාර්‍ග තුන ය, චෛතසික සතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය “අරූපෙකුසලං” යනු යොදා උදුරනු. අකුසලෙන අකුසලයෙහි ලෝභමූල ද්විතීයාදි ජවනයෝ ය චෛතසික තෙවිස්සය යන -පෙ- ලැබෙත්. “අරූපෙ අකුසලං” යනු යොදා විභඞ්ගය උදුරනු. අබ්‍යාකතයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, අරූපක්‍රියා සතර ය, චෛතසික පන්තිස ය, -පෙ- ලැබෙත්. විභඞ්ගයට “අරූපෙ ක්‍රියාබ්‍යාකතං” යනු යොදනු.

පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශල හසිතෝත්පාද මහා කුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනදෙක ය, පඤ්චවෝකාර විපාකප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාකුශල ප්‍රථමජවනයන් ගන්නේ ය. අකුසලෙන අකුසලයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශලප්‍රථමජවනයන් ගන්නේ ය. අකුසලෙන අකුසලයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශලප්‍රථමජවනයන් ගන්නේ ය, අබ්‍යාකතවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වය ය, අරූප විපාක වර්ජිත විපාක සිත් දෙතිස ය, චෛතසික අටතිස ය යන මොවුන් ගන්නේ ය, විභඞ්ගය පුරේජාතය අනුව උදුරනු.

අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, මනෝද්වාරාවජ්ජනය ය, ඵලසිත් සතරය යන නාමස්කන්‍ධයෝ ය, චිත්තජප්‍රතිසන්‍ධි කර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි “සත්ත” කුසලෙන කුසලයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාකුශල ප්‍රථම ජවනයන් හා චෛතසික තෙතිස ගන්නේ ය. (අරූපභූමියෙහි උපදනා ලෞකික සිත්වල විරති අප්‍රමාණයෝ නො ලැබෙති.) කුසලෙන අබ්‍යාකතයෙහි හේතුමූලයෙහි චිත්තජරූප ගන්නේ ය.

අකුසලෙන අකුසලයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල ප්‍රථමජවනයන් ගන්නේ ය. අකුසලෙන අබ්‍යාකතයෙහි අකුසල චිත්තජරූප ගන්නේ ය,

අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූප විපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මහා ක්‍රියා ප්‍රථමජවනය ය, මනෝද්වාරාවර්ජනය ය, ඵල සතර ය, චෛතසික සතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාකසිත් දෙවිස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි හා රූපවාරයෙහි අභිධෙය සහජාතයෙහි මෙනි. “අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” ප්‍රතිසන්‍ධිවාරය හා රූපවාරය සහජාතය මෙනි.

පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල ක්‍රියා ය, මාර්‍ගසිත් සතර ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” ආසේවනය ලැබෙන පඤ්චවෝකාරනාමස්කන්‍ධයන් අභිධෙය වශයෙන් ගන්නේ ය. විභඞ්ගය ඉදිරීමේ දී “වත්‍ථුං පුරේජාතපච්චයා” යනු යොදනු.

පුරේජාතමූලක කම්මදුකයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවහෙි කුශලාකුශලක්‍රියා චේතනා වර්ජිත ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූප ක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය, යන මොවුහු පුරේජාතය බැහැර කෙරෙති. ‘සත්ත’

කුසලෙන කුසලයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මහාකුසල් අට ය, අරූපකුසල් සතර ය, උපරිමමාර්‍ග තුන ය, චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- චේතනා වර්ජිත චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. “අරූපෙ කුසලං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා” කුසලෙන අබ්‍යාකතය කර්‍මප්‍රත්‍යය මෙනි.

අකුසලෙන අකුසලයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූලයෝ ය, චෛතසික තෙවිස්ස ය යන අවයව -පෙ- චේතනා වර්ජිත චෛතසික දෙවිස්ස ය යන අවයව, “අරූපෙ අකුසලං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා” අකුසලෙන අබ්‍යාකතය කර්‍මප්‍රත්‍යය අනුව විස්තර කරනු.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මනෝද්වාරාවජ්ජනය ය, මහා ක්‍රියා අට ය, අරූප ක්‍රියා සතර ය ඵල සතර ය, චෛතසික සතිස ය යන අවයව -පෙ- ක්‍රියාචේතනා වර්ජිත චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාක සිත් දෙවිස්ස ය, ක්‍රියාසිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාර රූපවාර දෙක්හි අභිධෙය කර්‍මප්‍රත්‍යයෙහි මෙනි. විභඞ්ගය උදුරනු.

පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලාකුශල ක්‍රියාචේතනාවෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ කුසල්සිත් එක් විස්ස ය, චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. “කුසලෙ ඛන්‍ධෙ පටිච්ච කුසලා චෙතනා, වත්‍ථුං පුරෙජාත පච්චයා” ඉතිරි දෙවාරය ද මේ නය අනුව විස්තර කරනු.

අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලා කුශල ක්‍රියා චේතනාවෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය, පච්චනීයයෙහි “තීණි” කුසලෙන කුසලයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය, අරූපකුසල් සතර ය, උපරිම මාර්‍ග තුනය, චේතනා වර්ජිත චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. “කුසලෙ ඛන්‍ධෙ පටිච්ච කුසලා චෙතනා” ඉතිරි දෙවාරය ද කියන ලද නය අනුව විස්තර කරනු. අබ්‍යාකතයෙහි බාහ්‍යාදි රූප ද ගන්නේ ය.

කුශලාකුශලක්‍රියාචේතනා ය, අරූපවිපාකයෝ ය යන මොවුන්ගෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” පුරේජාතයෙහි ලැබෙන අභිධෙයයන්ගෙන් කුශලාකුශල ක්‍රියා චේතනාවන් හැර අභිධෙය ගෙන විස්තර කරනු.

පුරේජාතමූලක විපාකදුකයෙහි අරූපවිපාක සතර ය අරූපභූමියෙහි උපදනා ඵලසිත් සතර ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ සතර ය, විපාක චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොවුහු පුරේජාතය බැහැර කෙරෙති. “එකං” කර්‍තෘපාඨයෙන් අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ඵලසිත් සතර ය, චෛතසික සතිස ය යන නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්ච විඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාකසිත් දෙවිස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරයෙහි හා රූපවාරයේ අභිධෙය විපාක ප්‍රත්‍යයෙහි මෙනි. “අරූපෙ විපාකාබ්‍යාකතං -පෙ- ද්වෙ ඛන්‍ධා විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” ප්‍රතිසන්‍ධිවාර රූපවාර දෙක්හි විපාක ප්‍රත්‍යයෙහි මෙන් විභඞ්ගය උදුරනු.

පඤ්චවෝකාර භූමියෙහි උපදවන අවස්ථාවෙහි වූ කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයෝ විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” කුශලාකුශල දෙපදය පුරේජාතය මෙන් විස්තර කරනු. අබ්‍යාකතවාරයෙහි අභිධෙය වශයෙන් ක්‍රියානාමස්කන්‍ධයන් ගෙන විභඞ්ගය උදුරනු.

අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, කුශලාකුශලක්‍රියාවන් විසින් උපදවන චිත්තජ රූපයෝ ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “සත්ත”

“කුසලො” යන කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය, අරූපකුසල් සතර ය, මාර්‍ගසිත් තුන ය, චෛතසික සතිස ය යන මොහු ලැබෙත්. අරූපෙ කුසලං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා.”

අකුසලපදයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා ලෝභමූල මෝහමූල සිත් හා චෛතසික තෙවිස්ස ද ගන්නේ ය. “අරූපෙ අකුසලං” යනාදීන් විභඞ්ගය උදුරනු. අබ්‍යාකතයෙහි අරූපභූමියෙහි උපදනා මනෝද්වාරාවජ්ජනය ය, මහා ක්‍රියා අටය, අරූප ක්‍රියා සතර ය, චෛතසික තෙතිස ය යන මොවුන් ගන්නේ ය. “අරූපෙ කිරියාබ්‍යාකතං” යනාදීන් විභඞ්ගය උදුරනු.

පඤ්චවෝකාරවිපාක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “එකං” කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා විපාක සිත් දෙතිස හා චෛතසික අටතිස ගන්නේ ය. “විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, වත්‍ථුං පුරෙජාත පච්චයා

පුරේජාතමූලක ආහාර දුකයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා චිත්තයෝ ය, උපරිම මාර්‍ග තුන ය, ඵල සතර ය, ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ රූපයෝ ය යන මොවුහු පුරේජාතය බැහැර කෙරෙති. “සත්ත” ඉහත කී නය අනුව විස්තර කරනු. ආහාර ප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. බාහ්‍යරූපයෝ ය, සෘතුජරූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘එකං’ විස්තර කරනු. අනුලෝමවාරය ශුද්ධ පුරේජාතය අනුව විස්තර කරනු.

පුරේජාත මූලක ඉන්‍ද්‍රිය දුකයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය. ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ රූප හා ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, ජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පුරේජාතප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘සත්ත’ කියන ලද නය අනුව විස්තර කරනු. ඉන්‍ද්‍රියප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව රූපජීවිතේන්‍ද්‍රිය ය යන මොවුහු, පච්චනීයයෙහි “එකං” විස්තර කරනු. අනුලෝමය ශුද්ධ පුරේජාතය අනුව විස්තර කරනු.

පුරෙජාත මූලක ඣාන දුකයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්‍ජන මහා කුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොහු පුරේජාතය බැහැර කෙරෙති. “සත්ත” විස්තර කරනු. ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ධ්‍යානප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” පඤ්චවිඤ්ඤාණ සහගතං” යනු යොදා විභඞ්ගය උදුරනු. “වත්‍ථුං පුරේජාත පච්චයා” යි අගයට යොදනු. බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි ‘එකං’ විස්තර කරනු. අරූපවිපාක සතර ය, ද්විපඤ්චවිඥාන වර්ජිත පඤ්චවෝකාර විපාක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ ය යන මොහු “එකං” ‘වත්‍ථුං පුරෙජාත පච්චයා’ යි යොදා විභඞ්ගය උදුරනු.

පුරෙජාතමූලක මග්ගදුකයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහා කුශල මහා ක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිත්තජ සහේතුප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පුරේජාතය බැහැර කෙරෙති. “සත්ත” හේතුමූලක පුරේජාත දුකය අනුව විස්තර කරනු. පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ මාර්‍ග ප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මනෝද්වාරාවර්ජනය ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු පච්චනීයයෙහි “එකං” අරූපවිපාක වර්ජිත සහේතුක පඤ්චවෝකාර ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” පුරේජාතප්‍රත්‍යයෝත්පන්නයන්ගෙන් සහේතුක විපාකක්‍රියා අභිධෙය වශයෙන් ගන්නේ ය. විභඞ්ගය ද පුරේජාතයෙහි මෙනි.

පුරෙජාත මූලක සම්පයුත්ත දුකය ආරම්මණ දුකය මෙනි. පුරේජාතමූලක විප්පයුත්තදුකයෙහි පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ සතර ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොහු පුරේජාතය බැහැර කෙරෙති. “පඤ්ච” අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි විපාක ක්‍රියා චිත්තයන් නිසා උපදනා චිත්තජරූපයන් ගන්නේ ය. ප්‍රතිසන්‍ධිවාරය හා රූපවාරය විප්පයුත්තය මෙනි. අන්‍යවාරයන් වුක්තානුසාරයෙන් විස්තර කළ හැකි ය. විප්‍රයුත්තය බැහැර කිරීමක් නැත. අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහා කුශල මහා ක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු පච්චනීයයෙහි “එකං” විස්තර කරනු. අනුලෝමය ශුද්ධපුරේජාතය අනුව විස්තර කරනු. පුරේජාතමූලක අත්‍ථි අවිගත දුකයන් සහජාත දුකය මෙන් ද නත්‍ථිවිගත දුකයන් අනන්තර දුකය මෙන් ද විස්තර කරනු.