9. උපනිඃශ්‍රය ප්‍රත්‍යය විභඞ්ගය

star_outline

උපනිඃශ්‍රය විභඞ්ගයෙහි කුසලෙන කුසලෙහි හේතුපදාභිධෙය ආරම්මණෝපනිඃශ්‍රය වශයෙන් ආරම්මණාධිපතියෙහි මෙන් ද අනන්තරෝපනිඃශ්‍රය වශයෙන් අනන්තර ප්‍රත්‍යයෙහි මෙන් ද ගන්නේ ය. ප්‍රකෘතෝපනිඃශ්‍රය වශයෙන් පශ්චිම පශ්චිම කුසල් සිත් එක් විස්සට ප්‍රත්‍යය වන අර්‍හන්මාර්‍ග අර්‍හත්ඵල වර්ජිත බලවත් වූ සිත් සත් අසූව ය චෛතසික දෙපනස ය, රූප අටවිස්සය, ප්‍රඥප්තියය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ ප්‍රකෘතෝපනිඃශ්‍රයශක්තිය හේතුපදයෙන් ලැබේ. (පරසන්නානයෙන් ප්‍රත්‍යය ලැබීමේදී සිත් එකුන් අනූව ම ගත යුතු ය.)

අකුසලෙන අකුසලෙහි හේතුපාඨාභිධෙය ආරම්මණෝපනිඃශ්‍රය වශයෙන් ආරම්මණාධිපතියෙහි මෙන් ද අනන්තරෝපනිඃශ්‍රය වශයෙන් අනන්තරයෙහි මෙන් ද ගන්නේ ය. ප්‍රකෘතෝපනිඃශ්‍රය වශයෙන් පශ්චිම පශ්චිම දොළොස් අකුසල චිත්තයන්ට ප්‍රත්‍යයවන බලවත් වූ ලෞකික සිත් එක්අසූව ය, අටවිසි රූපය ය, ප්‍රඥප්තිය ය, යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයෙහි හේතුපදාභිධෙය ආරම්මණෝපනිඃශ්‍රය වශයෙන් ආරම්මණාධිපතියෙහි මෙන් ද අනන්තරෝපනිඃශ්‍රය වශයෙන් අනන්තර ප්‍රත්‍යයෙහි මෙන් ද ගන්නේ ය. පශ්චිම පශ්චිම වූ විපාක සතිසට හා ක්‍රියා සිත් විස්සට ප්‍රත්‍යය වන බලවත් වූ එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ප්‍රඥප්තිය ය යන ප්‍රත්‍යය ධර්‍මයන් ගේ ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධි කාලයෙහි ආරම්මණයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. හේතුපාඨයෙන් අනන්තරෝප නිඃශ්‍රය වශයෙන් අභිධෙය අනන්තරයෙහි මෙන් ගන්නේ ය. ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සට ප්‍රත්‍යය වන බලවත් වූ ලෞකික සිත් එක් අසූව ය. චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ප්‍රඥප්තිය ය නානාක්‍ෂණික කුශලා කුශල චේතනා ය යන මොවුන් ගේ ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය හේතුපාඨයෙන් ලැබේ.

උපනිඃශ්‍රය විභඞ්ගය නිමි.