ප්‍රත්‍යය විස්තරය

star_outline

මේ ප්‍රස්ථාන මහා ප්‍රකරණය වනාහි අතිශයින් ගැඹුරු වූ ද මහත් වූ ද ප්‍රකරණයෙකි. එබැවින් එය උගෙනීමට එයට බැස ගැනීමට එහි ආස්වාදයක් ලැබීමට අතිශයින් දුෂ්කර ය. අතිශයින් ගැඹුරු වූ ද පුළුල් වූ ද කෙළ ගණන් රළ පෙළ ඇත්තා වූ ද මහ සයුරෙහි සුන්දර නෞකාවක් ඇති තැනැත්තා හට අමාරුවක් නැතිව හැසිරිය හැකි ය. එහි ආස්වාදයක් ලැබිය හැකිය. එමෙන් මේ ප්‍රකරණයට බැස ගත හැකිවීමට කලින් දතමනා ධර්‍මයන් දැන ගත් තැනැත්තා හට වැඩි වෙහෙසක් නැතිව ප්‍රස්ථාන ප්‍රකරණ සඞ්ඛ්‍යාත ධර්‍ම සාගරයෙහි හැසිරිය හැකිය. ආස්වාදයක් ලැබිය හැකිය. කලින් දතමනා කරුණු නො දැන නො උගෙන පට්ඨාන ප්‍රකරණයට බස්නා තැනැත්තන් ගේ ව්‍යායාමය පොරොවෙන් කළ යුත්ත නියෙන් කරන්නට තැත්කරන්නවුන්ගේ ව්‍යායාමය සේ නිශ්ඵල වන්නේ ය. එබන්ඳන්ට පට්ඨාන ප්‍රකරණයෙන් වෙහෙස මිස ආස්වාදයක් නො ලැබෙන්නේ ය. එබැවින් පට්ඨානය උගෙනීමට බලාපොරොත්තු වන්නවුන් විසින් කලින් දතමනා ධර්‍මයන් දැන උගෙන ම පට්ඨානය උගෙනීම ආරම්භ කළ යුතු ය.

පට්ඨානය උගත හැකි වීමට පරමාර්‍ථ ධර්‍මයන් ගේ ස්වරූප විභාග ප්‍රගුණ කරගෙන තිබිය යුතු ය. හේත්‍වාදි ප්‍රත්‍යයන් ගේ ස්වභාවය දැන තිබිය යුතුය. ඉහත දැක්වූ ත්‍රිරාශිය ප්‍රගුණ කරගෙන තිබිය යුතු ය. මතු දැක්වෙන ප්‍රත්‍යය ඝටනාව ප්‍රගුණ කරගෙන තිබිය යුතුය. එබැවින් මෙහි ප්‍රත්‍යයන් පිළිබඳ විස්තරයක් කරනු ලැබේ. එය ඉහත දැක්වූ ත්‍රිරාශිය හා එකිනෙක සම්බන්‍ධ කොට බලා ප්‍රත්‍යයන් ගේ ස්වභාවය හා ත්‍රිරාශිය මැනවින් තේරුම් ගෙන ඉදිරියට පට්ඨානය උගෙනීම ආරම්භ කළ යුතු ය.

යමක් උපකාරයෙන් නූපන් චිත්ත චෛතසික රූපයෝ උපදිත් ද උපන් ධර්‍මයෝ පරම්පරා වශයෙන් පවතිත් ද පරම්පරා වශයෙන් වැඩෙත් ද ඒ උපකාරක ධර්‍මයට ප්‍රත්‍යය ය යි කියනු ලැබේ. චිත්තය චෛතසිකය රූපය නිර්‍වාණය ප්‍රඥප්තිය යන පඤ්චප්‍රකාර ධර්‍මයෝම ප්‍රත්‍යයෝ වෙති. ප්‍රත්‍යය නො වන කිසි ධර්‍මයක් නැත්තේය. ප්‍රත්‍යයෙන් හටගන්නා පවත්නා ධර්‍මයට ප්‍රත්‍යයෝත්පන්න යයි කියනු ලැබේ. චිත්තචෛතසික රූපයෝ හටගැනීමක් ඇත්තාවූ ධර්‍මයෝ ය. නිර්‍වාණ ප්‍රඥප්ති දෙක හටගැනීමක් නැතිව ඇත්තා වූ ධර්‍මයෝ ය, හට ගැනීම ඇත්තා වූ ධර්‍මයන් අතර ප්‍රත්‍යයෙන් තොරව ස්වශක්තියෙන් ම හට ගන්නා ධර්‍මයෙක් නැත්තේ ය. හට ගන්නා ධර්‍ම සියල්ල ම ප්‍රත්‍යයන්ගේ ප්‍රතිලාභයෙන් ම හටගන්නා ධර්‍මයෝ ය. එබැවින් හටගන්නා ධර්‍ම සියල්ල ම අන්‍ය ධර්‍මයන්ගේ හටගැනීමට උපකාර වීමෙන් ප්‍රත්‍යයෝ ද වෙති. තමන් ප්‍රත්‍යයෙන් හටගන්නා බැවින් ප්‍රත්‍යයෝත්පන්නයෝ ද වෙති. නො හට ගන්නා වූ නිර්‍වාණ ප්‍රඥප්ති දෙක ප්‍රත්‍යය වනු මිස ප්‍රත්‍යයෝත්පන්න නො වේ.

යම්කිසි එක ප්‍රත්‍යය ධර්‍මයක් ම ද යම් කිසි ඵලයක් ඇති කිරීමෙහි සමත් නො වේ. එක් එක් ප්‍රත්‍යයක් තමන් විසින් ඇති කරන ඵල ධර්‍මය ඇති කිරීමට සමත් වන්නේ තවත් ප්‍රත්‍යයන් ඒ ඵලය ඇති කිරීමට සහාය වුවහොත් ය. එබැවින් යම්කිසි එක් ප්‍රත්‍යයකින් ම හට ගන්නා ධර්‍මයක් ද නැත්තේ ය. ප්‍රත්‍යයෙන් උපදනා කවර ධර්‍මයක වුව ද ඉපදීම වනුයේ ප්‍රත්‍යය ධර්‍ම බොහෝ ගණනක උපකාරය ලැබීමෙනි. අපේ දහම් පොත්වල මේ අසවල් පිනේ විපාකය ය, මේ අසවල් පාපයේ විපාකය ය යනාදීන් ඇතැම් තැනක එක් එක් ඵලයකට එක් එක් ප්‍රත්‍යයක් දක්වා තිබෙන්නේ ඒ ඒ ඵලයන් ඇතිවීමට එක්විය යුතු වූ බොහෝ ප්‍රත්‍යයන් ගෙන් ප්‍රධාන ප්‍රත්‍යයන් දැක්වීම් වශයෙනි.

ප්‍රත්‍යය ය යි කියනු ලබන උපකාරක ධර්‍මය උපකාරකත්‍වයෙන් එකක් වුව ද උපකාරකත්‍වයේ බොහෝ ප්‍රභේද ඇත්තේ ය. බොහෝ ආකාර ඇත්තේ ය. ඒ උපකාර වන්නා වූ ආකාරයන්ට උපකාරක ශක්තිහුය යි කියනු ලැබේ. උපකාරක ධර්‍මය අනෙකකි. උපකාරක ශක්තිය යි කියනු ලබන ප්‍රත්‍යය ශක්තිය අනෙකකි. ඒ උපකාරක ශක්තිය ප්‍රත්‍යය ය යි කියනු ලබන උපකාරක ධර්‍මයෙහි ඇතියකි. උපකාරක ධර්‍මය වූ ප්‍රත්‍යය තේරුම් ගැනීමට වඩා ඒ ඒ ප්‍රත්‍යයන්හි ශක්ති විශේෂ තේරුම් ගැනීම අපහසු ය. ප්‍රත්‍යය කථාවෙහි දත යුතු ප්‍රධාන දෙය ප්‍රත්‍ය ශක්තිය ය. එබැවින් එය තේරුම් ගැනීමට විශේෂයෙන් උත්සාහ කළ යුතු ය. ගසක ඇතිවීමට හා පැවැත්මට බීජය ද පොළොව ද ජලය ද වාතය ද හිරුඑළිය ද තවත් නොයෙක් දේ ද උපකාර වේ. ගසට බීජය උපකාර වන්නේ එක් ආකාරයකිනි. පොළොව උපකාර වන්නේ එයට වෙනස් වූ ආකාරයකිනි. ජලය උපකාර වන්නේ ඒ දෙකටම වෙනස් වූ අන් ආකාරයකිනි. වාතාදිය උපකාර වන්නේ ද එකිනෙකට වෙනස් වූ ආකාර වලිනි. මෙසේ ඒ ඒ දෙයට ඒ ඒ දෙය නොයෙක් අයුරින් උපකාර වන බව දත යුතු ය. ඒ ඒ දෙයට උපකාර ධර්‍ම අතුරෙන් ඇතැමෙක් මූල භාවයෙන් උපකාරක වෙති. සකල ධර්‍මයෝ ම ආරම්මණ භාවයෙන් උපකාර වෙති. ඇතැම් ධර්‍ම කෙනෙක් අධිපති භාවයෙන් උපකාරක වෙති. ඇතැම් ධර්‍ම කෙනෙක් අනන්තර භාවයෙන් උපකාරක වෙති. ඇතැම් ධර්‍ම කෙනෙක් සහජාත භාවයෙන් උපකාරක වෙති. එසේ ඇත්තා වූ උපකාරවීමේ අනේකාකාරයන් ගේ වශයෙන් තථාගතයන් වහන්සේ මේ ප්‍රස්ථාන ප්‍රකරණයෙහි ප්‍රත්‍යය සූවිස්සක් වදාළ සේක.

යම් කිසි ධර්‍මයක ඉපදීමට උපකාර වන එක් ප්‍රත්‍යය ධර්‍මයක් ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයට සමහර විට එක් ආකාරයකින් උපකාර වේ. සමහර විට ආකාර කීපයකින් ද උපකාරක වේ. එක් දෙයක් වූ වස්ත්‍රය ශරීරයෙහි අශෝභන තැන් වැසීම ය, ශරීරය හොබ වීම ය, උණුසුම් කිරීම ය, මැසි මදුරු ආදීන්ගෙන් ආරක්‍ෂා කිරීමය යනාදි ආකාර කීපයකින් එක වරම මිනිසාට උපකාරක වන්නාක් මෙනි. එක් ධර්‍මයක් යම් කිසිවකට කීප ආකාරයකින් උපකාරක වන කල්හි ඒ එකම ධර්‍මය ප්‍රත්‍යය කීපයක් සැටියට ගණන් ගනු ලැබේ. සමහර විට එක් ධර්‍මයක් යම්කිසි ධර්‍මයකට යම්කිසි ආකාරයකින් උපකාර වන අතර ම ඒ ධර්‍මය තවත් ධර්‍මයකට අන් ආකාරයකින් ද උපකාර වේ. එක් දෙයක් වූ වස්ත්‍රය හැඳ සිටින තැනැත්තා ගේ ශරීරය හොබවමින් ද දක්නවුන් ගේ සිත්හි ලෝභය ඇති කරන්නාක් මෙනි. මේ ප්‍රකරණයෙහි එක් ප්‍රත්‍යයක් හැටියට දක්වන්නේ එක් ධර්‍මයක් ම වේ. එක් ආකාරයකින් එක් ශක්ති විශේෂයකින් අන්‍ය ධර්‍මයනට උපකාර වන ධර්‍ම කොතෙක් ඇත ද ඒ සියල්ල ම එක් ප්‍රත්‍යයක් සැටියට මෙහි දක්වනු ලැබේ. මූල භාවයෙන් උපකාරවන ධර්‍ම සියල්ල ම හේතු ප්‍රත්‍යය ය, ආරම්මණ භාවයෙන් උපකාර වන ධර්‍ම සියල්ල ම ආරම්මණ ප්‍රත්‍යය ය. ඉතිරි ප්‍රත්‍යයෝ ද එසේ දත යුත්තා හ.

ප්‍රත්‍යය වන්නා වූ එක් ධර්‍මයක නොයෙක් ශක්තීන් ඇති බැවින් එක් එක් ධර්‍මයක් ද ප්‍රත්‍යය බොහෝ ගණනකට අයත් වේ. එක් ධර්‍මයක් වූ ලෝභය මූල භාවයෙන් උපකාරක වීම් වශයෙන් හේතු ප්‍රත්‍යය වේ. චිත්තචෛතසිකයනට ආරම්මණ භාවයෙන් උපකාරවීම් වශයෙන් ආරම්මණ ප්‍රත්‍යය වේ. ගරුකොට අරමුණු කළ යුතු ස්වභාවයෙන් ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. අනතුරුව උපදනා චිත්ත චෛතසිකයනට උපකාර වීම් වශයෙන් අනන්තර ප්‍රත්‍යය ද සමනන්තර ප්‍රත්‍යය ද වේ. එක් ව ඉපදීම් වශයෙන් උපකාරක වීමෙන් සහජාත ප්‍රත්‍යය වේ. අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වීමෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යය වේ. එක් ව උපදනා චිත්ත චෛතසිකයන්ට ආධාරවීම් වශයෙන් නිඃශ්‍රය ප්‍රත්‍යය වේ. කුශලාදි ධර්‍මයන්ට බලවත් හේතු වීමෙන් උපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. පසුව ඉපද පූර්‍වයෙහි උපන් රූපයනට උපකාර වීම් වශයෙන් පශ්චාජ්ජාත ප්‍රත්‍යය වේ. අනතුරුව උපදනා ලෝභයට තමා ගේ ස්වභාවය ගැන්වීම් වශයෙන් ආසේවන ප්‍රත්‍යය වේ. එක්ව උපදනා චිත්ත චෛතසිකයන් හා මිශ්‍ර වීම් වශයෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය වේ. රූපයනට අමිශ්‍ර භාවයෙන් උපකාර වීම් වශයෙන් විප්‍රයුක්ත ප්‍රත්‍යය වේ. විද්‍යමානත්‍වයෙන් උපකාර වීම් වශයෙන් අස්ති ප්‍රත්‍යය ද අවිගත ප්‍රත්‍යයද වේ. අවිද්‍යමානත්‍වයෙන් උපකාරීවීම් වශයෙන් නාස්ති ප්‍රත්‍යය ද විගත ප්‍රත්‍යය ද වේ. අන්‍යධර්‍මයන් ද එසේ ඒ ඒ ධර්‍මයන්හි ඇති අනේක ශක්තීන්ගේ වශයෙන් අනේක ප්‍රත්‍ය භාවයට පැමිණෙන සැටි තේරුම් ගත යුතු ය.

එක් එක් ප්‍රත්‍යයක් පිළිබඳ ව ප්‍රත්‍යය ය, ප්‍රත්‍යයෝත්පන්නය ය, ප්‍රත්‍යනීක ය කියා ධර්‍ම කොටස් තුනක් දත යුතු ය. ත්‍රිරාශිය ය කියනුයේ ඒ ධර්‍ම කොටස් තුනට ය. එහි ප්‍රත්‍යය යනු යම්කිසි ශක්ති විශේෂයකින් අන්‍ය ධර්‍මයකට උපකාර වන ධර්‍මය ය. ප්‍රත්‍යයෝත්පන්නය යනු යම් කිසි ප්‍රත්‍යය ධර්‍මයක් නිසා ඇති වූ ධර්‍මය ය. ප්‍රත්‍යනීකය යනු යම්කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යයෝත්පන්න භාවයට නො පැමිණෙන ධර්‍මය ය. ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ප්‍රත්‍යනීක විභාගය පහසු වනු සඳහා ත්‍රිරාශියෙහි රූපධර්‍ම සමූහය චිත්තජ රූප ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූප ය, බාහිර රූප ය, ආහාරජ රූප ය, සෘතුජ රූප ය, අසංඥසත්ත්‍ව කර්‍මජරූපය ප්‍රවෘත්ති කර්‍මජ රූපය යි සත් කොටසකට බෙදා දක්වා තිබේ.

අනු මාතෘකා
keyboard_arrow_right1. හේතු ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right2. ආරම්මණ ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right3. අධිපති ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right6. සහජාත ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right8. නිඃශ්‍රය ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right10. පුරේජාත ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right12. ආසේවන ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right13. කර්‍ම ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right14. විපාක ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right15. ආහාර ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right17. ධ්‍යාන ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right18. මාර්‍ග ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right21. අස්ති ප්‍රත්‍යයstar_outline
keyboard_arrow_right22. නාස්ති ප්‍රත්‍යයstar_outline