12. ආසේවන ප්‍රත්‍ය්‍ය නිර්‍දෙශය

star_outline

පදාර්‍ථ:

පුරිමාපුරිමා කුසලා ධම්මා, අන්තිමජවන වර්ජිත සතොළොස් ලෞකික කුශල නාමස්කන්‍ධයෝ: පච්ඡිමානංපච්ඡිමානං කුසලානං ධම්මානං, ප්‍රථමජවන වර්ජිත එක්විසි කුශල නාමස්කන්‍ධයන්ට -පෙ- පුරිමාපුරිමා අකුසලා ධම්මා, අන්තිමජවන වර්ජිත දොළොස් අකුශල නාමස්කන්‍ධයෝ: පච්ඡිමානංපච්ඡිමානං අකුසලානං ධම්මානං, ප්‍රථමජවන වර්ජිත දොළොස් අකුශල නාමස්කන්‍ධයන්ට: -පෙ- පුරිමාපුරිමා ක්‍රියාබ්‍යාකතා ධම්මා, අන්තිම වර්ජිත අටොළොස් ක්‍රියා ජවන නාමස්කන්‍ධයෝ: පච්ඡිමානංපච්ඡිමානං ක්‍රියාබ්‍යාකතානං ධම්මානං, ප්‍රථමජවන වර්ජිත අටොළොස් ක්‍රියාජවන නාමස්කන්‍ධයන්ට: ආසෙවනපච්චයෙන පච්චයො.

අභිධෙයාර්‍ථ:

“පුරිමාපුරිමා කුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් අන්තිම ජවන වර්ජිත සතොළොස් ලෞකිකකුශල නාමස්කන්‍ධයන් ද, සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රථමජවන වර්ජිත එක්විසි කුශලනාමස්කන්‍ධයන් ද, කරණ පාඨයෙන් එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, නත්‍ථි, විගත යන ප්‍රත්‍යයශක්ති සය අතුරෙන් ආසේවන සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම ද දැක්වූ සේක.

“පුරිමාපුරිමා අකුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් අන්තිම ජවන වර්ජිත දොළොස් අකුශලනාමස්කන්‍ධයන් ද ප්‍රත්‍යය ද, සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රථමජවන වර්ජිත දොළොස් අකුශල නාමස්කන්‍ධයන් වූ ප්‍රත්‍යයෝත්පන්නයන් ද, කරණපාඨයෙන් -පෙ- ප්‍රත්‍යයශක්ති සය අතුරෙන් ආසේවන ශක්තිවිශේෂයෙන් උපකාරවීම ද දැක්වූ සේක. (මේ දෙක්හි විස්තරය අනන්තරප්‍රත්‍යය නිර්‍දෙශයෙන් ගත යුතු.)

“පුරිමාපුරිමා ක්‍රියාබ්‍යාකතා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් අන්තිම ජවන වර්ජිත පූර්‍වපූර්‍ව වූ අටොළොස් ක්‍රියාජවනයන් වූ ප්‍රත්‍යය දැක්වූ සේක. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රථම ජවන වර්ජිත ක්‍රියා ජවන අටොළොස වූ ප්‍රත්‍යයෝත්පන්නයන් දැක්වූ සේක. නොහොත් හසිතෝත්පාද මහා ක්‍රියා ද්විතීයජවනයට ප්‍රත්‍යය වන ප්‍රථමජවනය -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යය වන ෂෂ්ටම ජවනය ය, මහද්ගතක්‍රියා සෝමනස්ස සහගත ජවන සතරට ප්‍රත්‍යවන ගෝත්‍රභූ කෘත්‍යවත් මහාක්‍රියා ප්‍රථමද්වය ය, මහද්ගතක්‍රියා උපේක්‍ෂාසහගත සිත් පසට ප්‍රත්‍යය වන මහාක්‍රියා තෘතීයද්වය ය, සමාපජ්ජන වීථීන්හි පශ්චිමපශ්චිම මහද්ගත ක්‍රියාවන්ට ප්‍රත්‍යය වන පූර්‍වපූර්‍ව වූ මහද්ගත ක්‍රියාවෝ ය යන ප්‍රත්‍යය ධර්‍ම දැක්වූ සේක. සම්ප්‍රදානපාඨයෙන් හසිතෝත්පාදන මහාක්‍රියා ද්විතීයාදී ජවනයෝ ය, මහද්ගතක්‍රියා ජවනයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක. කරණ පාඨයෙන් එක්වර ලැබෙන ආසේවන, අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ශක්ති සය අතුරෙන් ආසේවන ශක්තියෙන් උපකාර වීම දැක්වූ සේක.

විශේෂකරුණු:

“පුරිමාපුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං, අබ්‍යාකතානං ධම්මානං” යනාදීන් වදාරා නැත්තේ කුශලය අකුශලයට හා විපාකක්‍රියාවන්ටත් අකුශලය කුශලය හා විපාක ක්‍රියාවන්ටත් තමන්ගේ ස්වභාවය ගැන්වීමට සමත් නොවන බැවිනි. “භින්නජාතිකා හි බින්නජාතිකානං අරූපධම්මානං ආසේවන ගුණෙන පගුණබලවහාවං සාධයමානා අත්තනො කුසලාදිභාවසඞ්ඛාතං ගතිං ගාහාපෙතුං න සක්කොන්තී” යනු අටුවායි. විපාකය කර්‍මබලයෙන් ඇතිවන්නක් බැවින් කර්‍මානුරූප ව ම දුබල හෝ සබල හෝ වනු මිස පූර්‍වචිත්තයා ගේ ස්වභාවය ගෙන දුබල හෝ සබල හෝ නොවේ. එබැවින් විපාකය විපාකයකට ද ආසේවන ප්‍රත්‍යය නොවේ. “අථ විපාකාබ්‍යාකතං කස්මා” න ගහිතන්ති, ආසෙවනාභාවෙන විපාකං හි කම්මවසෙන විපාභාවපත්තං, කම්මපරිණාමිතං හුත්‍වා වත්තති නිරුස්සාහං දුබ්බලන්ති ආසෙවන ගුණෙන අත්තනො සභාවං ගාහාපෙත්‍වා, නෙව අඤ්ඤං විපාකං උප්පාදෙතුං සක්කොති, න පුරිම විපාකානුභාවං ගහෙත්‍වා උප්පජ්ජිතුන්ති. කම්මවෙගුක්ඛිත්තං පන පතිත විය හුත්‍වා, උප්පජ්ජතී ති, සබ්බථා පි විපාකෙ ආසෙවනං නත්‍ථි ති ආසෙවනා භාවෙන විපාකං න ගහිතං” යනු අටුවා යි.