කෙලෙස් එක්දහස් පන්සියය
රේරුකානේ චන්දවිමල හිමි
පොත ගැන
කෙලෙස් එක්දහස් පන්සියය
(නව වන මුද්රණය)
මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්ය චක්රවර්ති, පණ්ඩිත, ප්රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්යාය ශාසන ශෝභන, ශ්රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.
ලේකම්ගේ සටහන්....
අපෙන් සිදු වන පව් බොහොමයක් කරන-කියන පව්කම්වලට වඩා හිතන-පතන පව්ය. හිත ගැනත් හිතෙහි ඇති වන සිතුවිලිවල විවිධාකාර ස්වරූප ගැනත් අප නොදන්නා තරමට මේ පව්වල ප්රමාණය ද වැඩිවිය හැකිය. ලෝභ දෝස මෝහ යන අකුසල් මුල් තුන පදනම් කරගෙන පාපකාරී චෛතසික කීපයක් විවිධ ආකාරවලින් මත වී එන හැටි තේරුම් ගැනීමට මේ පොත උපකාරී වෙයි.
එකම වස්තුවක් එක් එක් පැත්තෙන් සිට බලන විට එහි පෙනීම වනෙස් ය. එකම වස්තුවක් දෙස එක තැනක සිට පුද්ගලයන් දෙදෙනකු බලන විට ද වෙස් පෙනීමක් ඇතිවිය හැකි ය. එසේ ම එක් එක් ස්ථානය අනුව, අවස්ථාව අනුව හා පුද්ගලයා අනුව එකම සිතිවිල්ලක ස්වරූයේ ද නොයෙක් වෙනස්කම් ඇතිවිය හැකි ය. කෙලෙස් එක්දහස් පන්සියයක් වශයෙන් ගණන් බලන්නට හැකිව ඇත්තේ එම විවිධාකාරය නිසා ය. මේ තත්ත්වය යම්තම් මතුපිටින් හෝ තේරුම් ගන්නට අප සමත් වේ නම් ලෝකයේ නො ගැලී- නො ගැටී ජීවත් වීමට එයම ප්රමාණවත් වේ.
හික්මුණු (සමාහිත) සිතක් ඇතිකර ගැනීමට සිත පිළිබඳ මේ ඉගෙනීම ප්රයෝජනවත් වෙයි. විදසුන් මගට පිවිසීමට එය දොරටුවක් වෙයි. ධර්මදානය ඉතා උසස් වන්නේ පුද්ගලයාටත්, සමාජයටත් විමුක්තිය උදාකර ගැනීමට අණට වඩා බණ අවබෝධයට තැන දෙන නිසා ය. අණ නොතකා යන්නට බොහෝ දෙනකු උත්සාහ කරතත් බණ දැනගතහොත් එවැනි පව් නො කරන බව පැහැදිලිය.
2500 බුද්ධ ජයන්තිය වන විට බෞද්ධයන් තුළ තිබූ දුර්වල ආගමික දැනුම පොහොසත් කිරීම අරමුණු කර ගෙන ඇරඹුණු රේරුකානේ චන්දවිමල මහානාහිමි පාණන්ගේ “සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක වැඩපිළිවෙල” එකල වැඩවිසූ සමහර භික්ෂූන් වහන්සේලාගේ හා විවිධ උගතුන්ගේ විවේචන ජයගනිමින් දීර්ඝ මාවතක ගමන් කළ බව ඔබ දනී. මේ පොත් නිසා බුද්ධ විනය පිළිබඳවත්, භාවනා කිරීම පිළිබඳවත් ගිහියන් දැනුවත් කළවුන්ට පහසුවක් වූ බව පෙනේ. ගිහියන්ට නිවැරදි බෞද්ධයන් ලෙස සාර්ථක ගිහි ජීවිතයක් ගත කිරීමට මේ පොත් නිසා ලැබුණු අනුබලය විශේෂයෙන් අගය කළ යුත්තකි.
මුද්රණ තාක්ෂණයේ නව ශිල්ප ක්රම, පාඨක රුචිය ඇති කරන ආකෘතිමය අවශ්යතා, සේවක වැටුප්, වෙළඳ නියෝජිතයන් ආකර්ෂණය කර ගැනීම වැනි අභියෝග රැසක් ඉදිරියේ මේ පොත්වලින් වන සේවය නොකඩවා ලබා දෙන්නට “ශ්රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය” කටයුතු කරයි. ඒ අභියෝග ඉදිරියේ නොසැලී සිටීම සඳහා සැදැහැවතුන් දෙන අනුබලය මහත් පිටුවහලකි. තම තමනට ඒ ඒ අවස්ථාවල හැකි ඉහළ මුදල් ප්රමාණවලින් උදව් දෙමින් සැදැහැවත් අනුග්රාහක භවතුන් දක්වන සහයෝගය අප ලද භාග්යයකි.
මෙහි අනුක්රමණිකාව ලියූ පරලෝසැප්ත හර්බට් පතිරණ මහතාණන් ද, මඳ ඉසුඹුවක් පවා නොගෙන අවසන් වන පොතෙන් පොත මුද්රණය කරන්නට මා මෙහෙයවන ගරු සභාපති පූජ්ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් ද, කලින් මුද්රණ වාරයකදී සැදැහැබරව සෝදුපත් සැසඳූ ප්රජා පොල්පිටිය, දයාවතී අබේසිංහ මහත්මීන් ද, කලට වේලාවට මනා ලෙස මුද්රණ කටයුතු කළ සිකුරු පොත් ප්රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය්ය මණ්ඩලය ද සංශෝධිත පරිඝණක සටහන් යෙදූ හොරණ රූ-මායා ග්රැෆික්ස් හි සාලිය ජයකොඩි යුවල ද දයාවෙන් සිහිපත් කරමි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2008 නොවැම්බර් 12 වන දින,
පොකුණුවිටදී ය.