සමුච්ඡේද ප්‍ර‍හාණය:

ශ්‍රෝතාපත්තිමාර්ග සකෘදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අර්හත් මාර්ගය යන ලෝකෝත්තර කුශලයන්ට කෙලෙස් නැසීමේ මහා බලයක් ඇත්තේ ය. ඔවුහු මතු කිසි කලෙක නැඟී නොඑන ලෙස සමූලඝාතනයෙන් කෙලෙසුන් නසති. මතු කිසි කලෙක මතු වී ආ නො හැකි වන පරිදි ලෝකෝත්තර මාර්ග කුශලයන් විසින් කරන ක්ලේශප්‍ර‍හාණය සමුච්ඡේද ප්‍ර‍හාණ නම් වේ. තදංගප්‍ර‍හාණයෙන් කෙලෙසුන් ප්‍ර‍හාණය කළ පුද්ගලයන්ට හා විෂ්කම්භණ ප්‍ර‍හාණයෙන් කෙලෙසුන් ප්‍ර‍හාණය කළ පුද්ගලයන්ට නැවත ඒ කෙලෙස් මතු වන්නාක් මෙන් සමුච්ඡේද වශයෙන් ප්‍ර‍හාණය කළ කෙලෙස් නැවත මතු වී සෝවාන් පුද්ලගයෙක් කිසි කලෙක පෘථග්ජන නො වන්නේ ය. සෝවාන් පුද්ගලයා භවාන්තරයට පැමිණ තමාගේ ආර්‍ය්‍යශ්‍රාවක භාවය නො දැන සිටිනා විටෙක වුව ද අපායෝත්පත්තියට හේතු වන පව්කම් නො කරන්නේ ය. සම්පත් දීමෙන් පොළඹවා හෝ මෙය නො කළහොත් නුඹට මේ මේ වැඩ කරමි යි බිය ගැන්වීමෙන් හෝ සෝවාන් පුද්ගලයකු ලවා කුහුඹුවකු ද නොමැරවිය හැකි බව මනෝරථ පූරණියේ දක්වා ඇත්තේ ය.

“භවන්තරේහිපි අරියසාවකෝ ජීවිතහේතුපි නෙව පාණං හනති, න සුරං පිවති, සචේපිස්ස සුරඤ්ච ඛීරඤ්ච මිස්සෙත්වා මුඛෙ පක්ඛිපන්ති, ඛීරමේව පවිසති න සුරා.”

(කූටදන්ත සුත්ත වණ්ණනා)

යනුවෙන් භවාන්තරයෙහි ද ආර්‍ය්‍යශ්‍රාවකයා ජීවිතය නිසා ද ප්‍රාණයක් නො නසන බවත් සුරා හා කිරි මිශ්‍ර‍ කොට ඔහුගේ මුඛයෙහි වත්කළ හොත් කිරි පමණක් පෙවෙන බවත් සුරාව නො පෙවෙන බවත් දක්වා ඇත්තේ ය. එසේ වන්නේ ලෝකෝත්තර මාර්ගයෙන් කෙරෙන ක්ලේශ ප්‍ර‍හාණයෙන් ස්ථිරත්වය නිසා ය.

ඒ ඒ මාර්ග ඥානවලින් ප්‍ර‍හාණය කරන ක්ලේශයෝ මෙසේ ය. අකුශල සිත් දොළොසෙන් ලෝභ මූල දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සිත් සතර ය, විචිකිච්ඡා සහගත සිත ය, ඒ සිත් හා යෙදෙන දෙවිසි චෛතසිකයෝ ය යන මේ ධර්මයෝ සෝවාන් මාර්ගයෙන් නිරවශේෂ වශයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්. අපායෝත්පත්තියට හේතුවන දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, ඒවා හා යෙදෙන චෛතසික පස්විස්සය යන මේ ධර්මයෝ තුනී කිරීම් වශයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

සකෘදාගාමී මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරන ධර්ම නැත. ඖදාරික වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතරය, ඖදාරික ද්වේෂ මූල සිත් දෙකය, තත්සම්ප්‍ර‍යුක්ත චෛතසිකයෝ ය යන මොවුහු සකෘදාගාමී මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

කාමරාග සම්ප්‍ර‍යුක්ත දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සිත් සතරය ද්වේෂ මූල සිත් දෙකය තත් සම්ප්‍ර‍යුක්ත චෛතසික පස් විස්සය යන මොහු අනාගාමී මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

රූපරාග අරූපරාග සහගත දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, උද්ධච්ච සහගත සිතය, තත් සම්ප්‍ර‍යුක්ත චෛතසික එක් විස්සය යන මේ ධර්මයෝ අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

ක්ලේශ ප්‍ර‍හාණය විසුද්ධි මග්ගයේ දැක්වෙන්නේ මෙසේ ය:- සඤ්ඤෝජනයන්ගෙන් සක්කායදිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බතපරාමාසය අපායගමනීය කාමරාගය පටිඝය යන මේ ධර්මයෝ පස්දෙනා සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්. ඖදාරික වූ කාමරාග පටිඝයෝ සකෘදාගාමී මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්. සියුම් වූ කාමරාග පටිඝයෝ අනාගාමී මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්. රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොහු අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

දශ ක්ලේශයන් අතුරෙන් දිට්ඨි විචිකිච්ඡා දෙක ප්‍ර‍ථම මාර්ගයෙන් ද ද්වේෂය අනාගාමි මාර්ගයෙන් ද ලෝභ මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්පයෝ අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

මිච්ඡත්තයන් අතුරෙන් මිච්ඡාදිට්ඨි මුසාවාද මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව යන මොහු සෝවාන් මාර්ගයෙන් ද මිච්ඡා සංකප්ප පිසුණාවාචා ඵරුසාවාචා යන මොහු අනාගාමී මාර්ගයෙන් ද සම්ඵප්පලාප මිච්ඡාවායාම මිච්ඡාසති මිච්ඡාසමාධි මිච්ඡාවිමුක්ති මිච්ඡා ඤාණ යන මොවුහු අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

අෂ්ටලෝක ධර්මයන්හි ප්‍ර‍තිඝය අනාගාමී මාර්ගයෙන් ද අනූනය අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ. යශයෙහි ප්‍ර‍ශංසාවෙහි අනූනය (ඇලීම) අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේය යනු එක් ආචාර්‍ය්‍යවාදයෙකි. මාත්සර්ය්‍යයෝ සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

විපල්ලාසයන් අතුරෙන් අනිත්‍ය දෙය නිත්‍යය යි ද ආත්ම නොවන දෙය ආත්මය යි ද ඇති වන සඤ්ඤා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨිවිපල්ලාසයෝ ද දුක්ඛය සුඛය අසුභය කියා ඇති වන දිට්ඨිවිපල්ලාසය ද යන මොහු සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්. අසුභය සුභය කියා ඇති වන සඤ්ඤා විපල්ලාස චිත්ත විපල්ලාසයයෝ අනාගාමී මාර්ගයෙන් ද දුක්ඛය සුඛය කියා ඇති වන සඤ්ඤාවිපල්ලාසය අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

ගන්ථයන් අතුරෙන් සීලබ්බතපරාමාසකායගන්ථ ඉදංසච්ඡාභිනි-වේසකායගන්ථ යන දෙක සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. ව්‍යාපාදකායගන්ථය අනාගාමී මාර්ගයෙන් ද අභිජ්ඣාකායගන්ථය අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ. අගතීහු සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

ආසවයන්ගෙන් දිට්ඨාසවය සෝවාන් මාර්ගයෙන් ද කාමාසවය අනාගාමී මාර්ගයෙන් ද භවාසවය හා අවිජ්ජාසවය අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ. ඕඝ යෝගයන්ගේ ප්‍ර‍හාණය ද එසේ ම ය.

නීවරණයන් අතුරෙන් විචිකිච්ඡා නීවරණය සෝවාන් මාර්ගයෙන් ද කාමච්ඡන්ද ව්‍යාපාද කුක්කුච්ච යන තුන අනාගාමී මාර්ගයෙන් ද ථීන උද්ධච්ච යන දෙක අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ. පරාමාසය සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ.

උපාදානයන්ගෙන් කාමුපාදානය අර්හත් මාර්ගයෙන් ද ඉතිරි තුන සෝවාන් මාර්ගයෙන් ද ප්‍රහාණය කරනු ලැබේ. රූපරාග අරූපරාග දෙක ද කාමුපාදානයට අයත් බැවින් එය ප්‍ර‍හාණය වන්නේ අර්හත් මාර්ගයෙනි.

අනුසයයන් අතුරෙන් දිට්ඨානුසය හා විචිකිච්ඡානුසය සෝවාන් මාර්ගයෙන් ද කාමරාගානුසය පටිඝානුසය යන දෙක අනාගාමි මාර්ගයෙන් ද මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය යන තුන අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ.

මලයන්ගෙන් දෝසමලය අනාගාමී මාර්ගයෙන් ද රාගමලය හා මෝහමලය අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ.

අකුශල කර්මපථයන් අතුරෙන් පාණාතිපාත අදින්නාදාන මිච්ඡාචාර මුසාවාද මිච්ඡාදිට්ඨි යන පස සෝවාන් මාර්ගයෙන් ද පිසුණාවාචා ඵරුසාවාචා ව්‍යාපාද යන තුන අනාගාමි මාර්ගයෙන් ද සම්ඵප්පලාප අභිජ්ඣා යන දෙක අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ.

අකුශල චිත්තයන් අතුරෙන් ලෝභ මූල දිට්ඨිගත සම්පයුත්ත සිත් සතරය විචිකිච්ඡා සහගත සිතය යන මේ පස සෝවාන් මාර්ගයෙන් ද පටිඝසම්පයුත්ත සිත් දෙක අනාගාමී මාර්ගයෙන් ද ඉතිරි සිත් පස අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ.